ආගමන විගමන පනත උල්ලංඝණය කිරීමේ චෝදනාව මත පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතාගේ බිරිය වන ශෂී වීරවංශ මහත්මියට එරෙහි නඩුව විභාගයට ගැනීමට තීරණය කළ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලාල් රණසිංහ බණ්ඩාර මහතා පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ හිටපු කොමසාරිස් ජනරාල්වරයා ඇතුළු තිදෙනෙකුට ඊයේ (08) සිතාසි නිකුත් කෙළේය.
මෙලෙස සිතාසි නිකුත් කෙරුණේ පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ හිටපු කොමසාරිස් ජනරාල් ජගත් ප්‍රේමලාල් විජේවීර, හිටපු පාලක ජනරාල් චූලානන්ද පෙරේරා හා එම්.එම්.අයි.කේ. හේරත් යන අයටය.
ලබන මැයි මස 25, 30 හා 31 වන දිනයන්ට නඩුව විභාගය සඳහා මහේස්ත්‍රාත්වරයා විසින් දින නියම කළේය. ශෂී වීරවංශ මහත්මියට එරෙහි නඩු දෙක ඊයේ (08) යළි කැඳ වූ අතර පැමිණිල්ල වෙනුවෙන් රජයේ නීතිඥ දිලිප පීරිස් මහතා සඳහන් කරනු ලැබුවේ පූර්වගාමි විනිසුරුවරයා විසින් ඇයට ලබා දී ඇති ඇප කොන්දේසි පිළිගත නොහැකි බවය. කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලාල් රණසිංහ බණ්ඩාර මහතා හමුවේ මෙම නඩුව ප්‍රථම වතාවට කැඳවන බව පැවසූ රජයේ නීතිඥවරයා නඩුව සම්බන්ධ කරුණු සම්පිණ්ඩනය කරමින් පැවසුවේ මෝසම් පත්‍රයක් මඟින් නඩුව කැඳවා ජනාධිපති නීතිඥවරයාගේ කරුණු අනුව පූර්වගාමී විනිසුරුවරයා ඇප ලබා දුන් බවය.
අදාළ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා ආගමන විගමන පාලකවරයාට අසත්‍ය තොරතුරු ඉදිරිපත් කර රාජ්‍යතාන්ත්‍රික විදේශ ගමන් බලපත්‍රයක් ලබාගැනීමේ චෝදනාව සම්බන්ධ නඩුව මැයි මස 25, 30, 31 දිනයන්හි විභාගයට ගැනීමට නියම කරමින් සාක්කිකරුවන් වෙත සිතාසි නිකුත් කළේය.
ශෂී වීරවංශ මහත්මියට ඇප ලබාදීමේදී පූර්වගාමී විනිසුරුවරයා ලබා දී ඇති ඇප කොන්දේසිය පිළිබඳ නියෝගය ද ලබන මැයි මස 25 වන දින ප්‍රකාශ කරන බවට මහේස්ත්‍රාත්වරයා සඳහන් කළේය.