Monday, January 13, 2025

ශ්‍රීලනිපයෙන් ආණ්ඩුවට යෝජනා 15ක්!

රට මුහුණ දෙන බහුවිධ අභියෝගවලට විසඳුම් සෙවීමට සර්ව පාක්ෂික සමුළුවක් කැදවන ලෙස ආණ්ඩු සන්ධානයේ ප්‍රධාන හවුල්කාර පාර්ශ්වකරු වන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය රජයෙන් ඉල්ලීමක් කොට ඇත.

ඒ අනුව රටේ පවතින වත්මන් අර්බුදයන්ට පිළියම් ලෙස විසදුම් යොජනාවලියක් රජයට ඉදිරිපත් කිරීමට සූදානම් බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

පක්ෂ නායක හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ රැස්වූ ශ්‍රීලනිප සමස්ත ලංකා කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී මෙම තීරණවලට එළඹ ඇත.

එහිදී පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය විසින් කරුණු 15කින් යුත් ලේඛනයක්ද සම්මත කරගෙන තිබේ.

ඒ සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සමස්ත ලංකා කාරක සභා අනුමැතිය හිමිවු බව ද පක්ෂ සභාපති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කළේය.

ජනතාවට තම ඡන්ද බලය භාවිත කිරීමේ අයිතිය තහවුරු කිරීම සඳහා පළාත් පාලන මැතිවරණය නොපමාව පැවැත්විය යුතු බව එහි එක් යෝජනාවකි.

දේශපාලන මතභේද සහ න්‍යාය පත්‍ර පසෙක දමා පත්කළ යුතු යෝජිත සර්ව පාක්ෂික සමුලුවේදී රට මුහුණ දී ඇති බහුවිධ අර්බුද සාකච්ඡා කර සාර්ථක ලෙස කළමනාකරණය කිරීම කෙරෙහි අවධානය යොමු කළ යුතුය. මෙම කමිටුවට නියමිත කාල රාමුවකට අනුව කටයුතු කළ හැකි අතර අර්බුද සඳහා කෙටි හා මධ්‍ය කාලීන විසඳුම් සකස් කළ හැකිය.

පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය තවදුරටත් ශක්තිමත් කරන නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් වසරක කාලයක් තුළ සම්පාදනය කරන ලෙස ද එම පක්ෂය ඉල්ලා තිබේ.

වත්මන් ආර්ථික අර්බුදය කොවිඩ් 19 වසංගතය නිසා ඇති වූවක් නොවන බවත් එය වහාම විසදිය යුතු බවත් ශ්‍රීලනිපයේ ස්ථාවරය වී තිබේ.

නීතියේ ආධිපත්‍යය පිළිබඳ මහජන විශ්වාසය ගොඩනැගීමට සහ ජාත්‍යන්තර ප්‍රජාව ඉදිරියේ ශ්‍රී ලංකාවේ ප්‍රතිරූපය ඉහළ නැංවීම සඳහා දිවයිනේ බොහෝ ප්‍රදේශවලින් වාර්තා වන වංචා, දූෂණ සහ අක්‍රමිකතා සම්බන්ධයෙන් වහා පියවර ගත යුතු බව ද එම පක්ෂය යෝජනා කර ඇත.

මෙි අතර විධායක ජනපති ධුරයේ බලතල සීමා කර ස්වාධීන කොමිෂන් සභා යළි පිහිටුවිය යුතු බවත් මෙම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ යෝජනා නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ඇතුළත් කළ යුතු යැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස පැවැසීය.

විධායක ජනාධිපති ධුරයේ සාහසික බවට සමාජයේ යළි සාකච්ඡාවක් ඇති වී ඇතැයි අවධාරණය කළ හෙතෙම මෛත්‍රිපාල සිරිසේන හිටපු ජනපතිවරයා ගෙනආ 19 වැනි සංශෝධනයේ වටිනාකමද මේ වන විට සමාජය තේරුම් ගෙන ඇතැයිද කීය.

වංචාවෙන්, දූෂණයෙන් තොර පාරදෘශ්‍යභාවයෙන් යුත් රාජ්‍ය සේවාවක්, පරිපාලන සේවාවක් හා ප්‍රසම්පාදන ක්‍රියාවලියක් සඳහා වන යෝජනා මාලාවක් ඉදිරියේදී ඉදිරිපත් කිරීමට සැලසුම් කොට ඇතැයිද ඔහු සඳහන් කළේය.

මේ යෝජනා මාලාව ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ එකොළහ ඒකාබද්ධව සකස් කෙරෙන බවද මේ වන විට ඒ සඳහා සාකච්ඡා කෙරෙමින් යන බවද හෙතෙම කීය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles