Friday, September 20, 2024

ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ පාඩුව කෝටි තිස් හත් දහස ඉක්මවයි

ශ්‍රී ලන්කන් එයාර් ලයින් ආයතනය රජයේ බාරයට ගැනීමෙන් පසු එම ආයතනය මේ දක්වා ලබා ඇති පාඩුව රුපියල් කෝටි තිස් හත් දහස් දෙසීය ඉක්මවා ඇතැයි පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ (කෝප්) වාර්තාවක සඳහන් වේ.

එම වාර්තාවේ දැක්වෙන අන්දමට ශ්‍රීලංකන් එයාර් ලයින් ආයතනය 2020-2021 අතර කාලයේදී පමණක් ලබා ඇති පාඩුව රුපියල් කෝටි හාර දහස් පන් සිය හැට හතකි.

ආයතනය දිනකදී ලබන පාඩුව රුපියල් අට කෝටි හතළිස් ලක්ෂයකි.

ශ්‍රී ලංකන් එයාර් ලයින් ආයතනයේ කටයුතු පවත්වාගෙන යෑම සඳහා කැබිනට් මණ්ඩලය 2020 වසරේදී රුපියල් ඩොලර් මිලියන 500 ක් ලබාදීමට අනුමැතිය ලබාදුන් අතර එම මුදලින් රුපියල් ඩොලර් මිලියන 242ක් දැනටමත් ලබාදී ඇතැයි කෝප් කමිටුවේ සභාපති මහාචාර්ය චරිත හේරත් මහතා පැවැසීය.

මේ අතර මේ සම්බන්ධයෙන් දීර්ඝ ලෙස සාකච්ඡා කිරීම සඳහා ශ්‍රී ලන්කන් එයාර් ලයින් ගුවන් සේවයේ ප්‍රධානීන් ලබන 9 වැනිදා කෝප් කමිටුව හමුවට කැඳවා ඇතැයිද සභාපතිවරයා ප්‍රකාශ කළේය.

ශ්‍රී ලංකන් ගුවන් සේවය අද රජයට විශාල බරක්වී ඇතැයිද හෙතෙම සඳහන් කළේය.

ශ්‍රීලංකන් ගුවන් සේවය සම්බන්ධයෙන් විශේෂ වාර්තා තුනක් ලබාගෙන ඇති බවත් එම වාර්තා තුන පදනම් කරගෙන මෙම විශේෂ සාකච්ඡාව පවත්වන බවත් මහාචාර්යවරයා සඳහන් කළේය.

මෙම වාර්තා තුන ලබාගෙන ඇත්තේ ශ්‍රීලංකන් ගුවන් සේවය, ගුවන් සේවා අමාත්‍යාංශය සහ මහා භාණ්ඩාගාර දෙපාර්තමේන්තුවෙනි.

ශ්‍රී ලන්කන් එයාර් ලයින් ආයතනය මිලදී ගත් ගුවන් යානා වෙනුවෙන් විශාල මුදලක් ගෙවීමට ඇති බවත් මේ සියලු කටයුතු සිදු කර ආයතනය ලාභ ලබන තත්ත්වයට පත්කර ගැනීම සඳහා නිර්දේශ ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බවත් මහාචාර්ය චරිත හේරත් මහතා පැවැසීය.

ශ්‍රී ලංකන් එයාර් ලයින් ආයතනය ගුවන් යානා විසි දෙකක් කුලී පදනම මත ලබාගෙන ඇති බවත් එම ගුවන් යානා වෙනුවෙන් වාර්ෂිකව විශාල කුලී මුදලක් ගෙවීමට ඇති බවත් කෝප් කමිටුව පවසයි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles