ශ්රී ලංකන් ගුවන් සමාගමේ කළමනාකරණ පුහුණු වැඩසටහන යටතේ බඳවාගත් අනාගත නායකයන් 21 දෙනෙකු පසුගියදා ජාතික ගුවන් සේවය සදහා හරසරින් යුතුව බඳවාගන්නා ලදී.
ගුවන් සේවා ඉතිහාසයේ වැඩිම පිරිසක් එනම් අයදුම්පත් තුන් දහසක් මෙවර මෙම කළමනාකරණ පුහුණු වැඩසටහන සඳහා අයදුම් කර තිබූ අතර ඒ අතරින් මෙම පිරිස විශේෂිත වූ තෝරා ගැනීම් ක්රමවේදයක් ඔස්සේ බඳවා ගන්නා ලදී.
කටුනායක ගුවන් තොටුපළ ශ්රී ලංකන් මූලස්ථාන පරිශ්රයේදී පැවත්වූ මෙම පිළිගැනීමේ උත්සවයේදී අදහස් දක්වමින් ශ්රී ලංකන් ගුවන් සමාගමේ සභාපති අජිත් ඩයස් මහතා සඳහන් කළේ ශ්රී ලංකාවේ විශිෂ්ටතම සන්නාම දහය අතරට ශ්රී ලංකන් ගුවන් සමාගම මේ වන විට පත්ව ඇති බවයි. එසේම අපගේ නව කළමනාකරණ පුහුණුව යටතේ ඉදිරියේදී ඉතා හොඳ ගුවන් සේවා නායකත්වයක් ලබා ගැනීමට හැකියාවක් ලැබෙන බවත් මෙම කළමනාකරණ පුහුණු වැඩසටහන සඳහා තෝරා ගැනීමේ ක්රියාවලියට භාජනය වූ මෙම පිරිස එය ඉතා හොඳින් සමත් වූ බවද හෙතෙම පැවසීය. එසේම වෙනත් රාජ්ය ආයතන ද මෙම ක්රමවේදය අනුගමනය කරනු ඇතැයි විශ්වාස කරන බවද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.