Saturday, September 21, 2024

ශ්‍රී ලංකන් ගුවන් සමාගම, පැරීසිය – ෆ්රැන්ක්ෆර්ට් වෙත කළ ගුවන් ගමන් අත්හිටුවයි…

ශ්‍රීලංකාවේ ජාතික ගුවන් සේවය වන ශ්‍රීලංකන් ගුවන් සමාගම පැරීසිය සහ ෆ්රැන්ක්ෆර්ට් වෙත සිදුකළ ගුවන් ගමන් මෙහෙයුම්  මෙම වසරේ සීත සෘතු සමයේ සිට අත්හිටුවීමට කටයුතු කර ඇත.

ඒ අනුව ෆ්රැන්ක්ෆර්ට් සහ කොළඹ අතර අවසන් ගුවන් මෙහෙයුම (යූ.එල් 553/554)  ඔක්තෝබර් 30 දා ක්‍රියාත්මක කිරීමට නියමිත අතර නොවැම්බර් මස 6 වන දින  (යූ.එල් 563/564) පැරිස් හා කොළඹ අතර ගුවන් මෙහෙයුම් කටයුතු අවසන් වනු ඇති බව සඳහන්ය.

දිගින් දිගටම සිදුවන මූල්‍ය අලාභය හේතුවෙන්  ශ්‍රී ලංකා රජය  තවදුරටත් ගුවන් සේවාව වෙනුවෙන් මුදල් ලබාදීම අත්හිටුවීමට තීරණය කර තිබේ .

ගුවන් සේවා මූලාශ්‍ර වලට අනුව ගුවන් ගමන් ජාලය නිරන්තරයෙන්ම ඇගයුමට ලක්කිරීම සහ එම වෙළඳපොළ වෙනස්වීම්  නිරතුරුව අධ්‍යයනය කිරීමෙන් අනතුරුව වඩා ලාභ ඉපයිය හැකි ගමන් මාර්ග තොරාගැනීම සඳහා මෙම පියවර ගෙන ඇති බව වාර්තා වෙයි.

ඉන්ධන මිල පහත වැටීම ගුවන් සමාගමේ වර්ධිත කාර්ය සාධනය (improved performance) සඳහා ධනාත්මකව බලපෑ ඇති අතර  ගුවන් සමාගමේ 2015/16 මූල්‍ය වසරේ ආදායම් පසුගිය වසර හා සැසඳීමේ දී පහත වැටීම නිසා මෙම ඉන්ධන මිල පහත වැටීමේ ප්‍රතිලාභය ගුවන් සමාගමට අහිමි වී ඇත.

මේ සඳහා මැද පෙරදිග ගුවන් සේවා හි කොළඹ වෙත සිදුකරන ගුවන් ගමන් ධාරිතාව වැඩිකිරීම ද යුරෝපීය  වෙළෙඳපොලේ  ගුවන් ගමන් ගාස්තු අඩු වීම ද  අනෙකුත් ගමන් මාර්ග හා සැසඳීමේ දී  යුරෝපීය ගුවන් ගමන් ජාලය අලාභදායි වීමට බලපා ඇති බවද සඳහන්ය.

ඩොලරයට සාපේක්ෂව යූරෝ අවප්‍රමාණය වීම හේතුවෙන් මෙම ගැටළුව තවදුරටත් උග්‍ර වී ඇත.

කෙටිකාලීන වශයෙන්  ආදායම් නැවත උත්පාදනය කරවීමේ හැකියාවක් මෙම යුරෝපා ගුවන් ගමන් ජාලය තුළ නොමැති බව ගුවන් සේවා මූලාශ්‍ර වලින් පෙන්වා දේ.

ශ්‍රීලංකන් ගුවන් සමාගම දෝහා සහ අබුඩාබි වෙත දෛනික ගුවන් ගමන් සිදුකරන අතර එටිහාඩ් සහ කටාර් එයාර්වේස් සමග ශක්තිමත් සංකේත හුවමාරු ගුවන් ගමන් සබඳතා පවත්වයි.

මෙමගින් යුරෝපීය ගමනාන්ත වෙත එනම් පැරිස් සහ ෆ්රැන්ක්ෆර්ට් වෙත වඩාත් පහසු ගුවන් ගමන් සබඳතා ලබාදීමට ගුවන් සමාගම කටයුතු කරනු ඇත.

මේ අනුව ලන්ඩන්, ශ්‍රීලංකන් යුරෝපා මෙහෙයුම්  සඳහා පිවිසුම් ගමනාන්තයක් ලෙස ඉදිරිටයත් රැදී සිටිනු ඇත.

ගුවන් සමාගමේ අති නවීන A330-300  ගුවන් යානා යොදාගනිමින් ලන්ඩන් වෙත නොනවත්වා දෛනික  ගුවන් ගමන් සිදුකිරීමට ගුවන් සමාගම කටයුතු කර ඇත.

මේ නවතම පුළුල් බඳ සහිත A330-300 ගුවන් යානා මගින් අභ්‍යන්තර පහසුකම් සහ සැප පහසුව ද ,උසස් තාක්ෂණික ලක්ෂණ ඇතුළත්ව  ගුවන් මගීන්ට විශේෂිත වූ පියාසර අත්දැකීමක් ලබාදෙනු ඇත.

ඉන්දීය උප මහාද්වීපයේ ද , මැද පෙරදිග හා ඈත පෙරදිග ගුවන් මෙහෙයුම්  තවදුරටත් පුළුල් කිරීම සඳහා එහි ශක්‍යතාවය ගවේෂණය කිරීමටද කටයුතු කර තිබේ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles