Thursday, December 26, 2024

ශ්‍රී ලංකාව නුදුරේදීම ඉන්ධන හිඟයකට අත වනයිද ?

රටේ බොරතෙල් සංචිතය ප්‍රමාණවත් වන්නේ දෙසැම්බර් මාසය දක්වා පමණක් වන බැවින්, නුදුරේදීම ඉන්ධන හිඟයක් ඇති විය හැකි  බවට බොහෝ දෙනෙක් මත පළ කරති.

මෙරට තුළ දැනට  පවතින පෙට්‍රල් සංචිතය ජනවාරි මාසය දක්වා ප්‍රමාණවත් වන අතර ඩීසල් ගබඩාව නොවැම්බර් මාසය දක්වා පමණක් ප්‍රමාණවත් වනු ඇත.  බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා විසින්  සිය සංචාරයේදී එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙන් තෙල් මිලදී ගැනීමට උත්සාහ කළද එමිරේට්ස් බලධාරීන් එම ඉල්ලීම ප්‍රතික්ෂේප කර ඇති අතර, එම පසුබිම තුළ ශ්‍රී ලංකා රජය විසින්  (GoSL) තෙල් මිලදී ගැනීම සඳහා උපාය මාර්ග කිහිපයක් ක්‍රියාත්මක කළද  ඉන් කිසිදු  පියවරක් මෙතෙක්  සාර්ථක වී නොමැත.

මෙවැනි තත්වයක් තුළ, ලබන වසරේ මුල්   මාස අටක කාලයක් සඳහා පෙට්‍රල් හා ඩීසල් ආනයනය කිරීමට අදාල කොන්ත්‍රාත්තුව සිංගප්පූරුවේ M/SS Vitol Asia Pte.Ltd වෙත ලබාදීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව ඇත. 

2022 ජනවාරි මස පළමුවන දා සිට 2022 අගෝස්තු 31 දක්වා පෙට්‍රල් (92 Unl ) බැරල් 1,341000 + 10/- 5 % , පෙට්‍රල් (95 Unl) බැරල් 459,000 + 10/- 5% හා ඩීසල් (උපරිම සල්පර් ප්‍රතිශතය 0.05) බැරල් 1,137500 + 10/- 5% , ඩීසල් (උපරිම සල්පර් ප්‍රතිශතය 0.001) බැරල් 262,500 +10/ – 5% ආනයනය කිරීම සඳහා වන දිගු කාලය කොන්ත්‍රාත්තුවට අදාළව ඛනිජ තෙල් නීතිගත සංස්ථාවෙන් ලියාපදිංචි සැපයුම්කරුවන් වෙතින් ලංසු කැඳවා තිබුණු අතර, ඒ අතරින් කැබිනට් මණ්ඩලය අනුමැතිය මත එම කොන්ත්‍රාත්තුව හිමිවූයේ සිංගප්පූරුවේ M/SS Vitol Asia Pte.Ltd වෙතයි.

“ජනතාවට ඉන්ධන නිකුත් කරද්දි  මිල සූත්‍රයක් නොතිබුණාට පෙට්‍රල් සහ ඩීසල් ලීටරයක මිල ගණන් කරන එක  මිල සූත්‍රයකට අනුව තමයි වෙන්නේ.තෙල් මිල, සිදුවන  පාඩු වගේම  සහ ණය පොලියත්  ගණන් කරන්නේ යම් සූත්‍රයකට අනුව, මේ වෙද්දි සංස්ථාව මාසිකව රුපියල් බිලියනයක ණය පොලියක් ගෙවනවා.”

ඛනිජ තෙල් සංස්ථාවේ ප්‍රකාශකයෙක් සඳහන් කර සිටියේය.

ටෙන්ඩරය ප්‍රදානය කිරීමෙන් පසු ඉක්මනින් ඉන්ධන ආනයනය කළ හැකි බව රජය ප්‍රකාශ කළද, ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ (CPC) ප්‍රකාශකයෙකු පැවසුවේ, නැව්ගත කිරීමට යම් කාලයක් ගත වන බැවින් සැලසුම් කළ කාලය තුළ ඉන්ධන ආනයනය කිරීම පිළිබඳ ගැටළුවක් පවතින බවයි.

එමෙන්ම ඊට පෙර ණය ගිවිසුමකට එළඹිය යුතු අතර,  කැබිනට් අනුමැතියෙන් පමණක් ඩීසල් සහ පෙට්‍රල් ආනයනය කළ නොහැකි බවත් අදාළ ආයතන සමඟ ණය ගිවිසුමකට එළඹිය යුතු බවත් ඒ සඳහා කාලයක් ගතවන බවත්  නමුත් සංස්ථාව විසින් මෙතෙක් කිසිදු ආයතනයක් සමඟ ණය ලබා ගැනීම සඳහා ගිවිසුම්වලට එළැඹී නොමැති බව ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ වෘත්තීය සමිති කියා සිටියේය.

පෙට්‍රල් ආනයනය කිරීමට පසුගිය වසරේ මැයි මාසයේදී අත්සන් කළ ගිවිසුමට අනුව ලබන ජනවාරි මාසය දක්වා එම තොග පවතිනු ඇති අතර,  පෙට්‍රල් නැවත ආනයනය කිරීමට රජය එම ටෙන්ඩරය අලුත් කර බැවින් ඉන්ධන හිඟයක් ඇති වන බවත්, මුදල් නොමැතිකම හේතුවෙන් එම අවස්ථාවේ ඩීසල් ආනයනය නොකළ බවත් ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ප්‍රකාශකවරයා තව දුරටත්  ප්‍රකාශ කර ඇත.

කෙසේ වෙතත් අමාත්‍ය ගම්මන්පිල මහතා පසුගියදා ප්‍රකාශ කළේ සංස්ථාවේ ඩීසල් තොග දෙසැම්බර් මාසය දක්වා පවතින බවයි. 

නයිජීරියානු සමාගමකට බොරතෙල් සැපයීමේ ටෙන්ඩරය ලැබී ඇති අතර,  ගිවිසුමට අනුව බොරතෙල් සැපයීමට සමාගම පොරොන්දු වුවද මැයි මාසයේ සිට එම සැපයුම අඛණ්ඩව සිදු වී නොමැත.

ඒ පිළිබඳව අදහස් දක්වමින් ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ප්‍රකාශකයා කියා සිටියේ, 

““සංස්ථාව දැන් කඩිනමින් බොරතෙල්  මිලදී ගනිමින් ඉන්නවා,  සැපයුම්කරු විසින් මෙතෙක් වාර්තා වූ වැඩිම මිලටට්යි තෙල් සපයන්නේ, බොරතෙල් බැරල් එකක මිල ඩොලර් 4 ක් වෙනවා. මේ නිසා රට තුළ බොරතෙල් අර්බුදයක් ඇතිවෙලා තියෙන්නේ, ඒ වගේම   බොරතෙල් පිරිපහදු කිරීමේ ක්‍රියාවලියත් සිද්ද වෙන්නේ මන්දගාමීව , කොහොම වුනත්  පිරිපහදු කිරීමේ ක්‍රියාවලිය උපරිම ධාරිතාවයකින් සිදු කළත්,  බොරතෙල් හිඟයට මුහුණ පාන්න වීම අනිවාර්‍‍යයි.”

යනුවෙනි.

එම තත්වය තුළ රාජ්‍ය බැංකුවලින් ලබාගත් ණය ආපසු ගෙවීම සඳහා ඇමෙරිකානු ඩොලර් බිලියනයක ණයක් ලබා ගැනීමට අමාත්‍යවරයා ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලය ගත් තීරණයකට අනුව කැබිනට් අනුමැතිය ඉල්ලා ඇති අතර, ඊට  අදාළ කැබිනට් පත්‍රිකාවක් ද සකස් කර ඇත.  නමුත් කැබිනට් අනුමැතිය සඳහා පත්‍රිකාව ඉදිරිපත් කරන විට එම ණය මුදල ඇමෙරිකානු ඩොලර් බිලියන 2.5  ලෙස දක්වා ඇත.

ඒ පිළිබඳව දක්වමින්, ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ජාතික සේවක සංගමයේ (JSS) අංශයේ ලේකම් ආනන්ද පාලිත මහතා ප්‍රකාශ කර ඇත්තේ,  මෙම ණය මුදල වැඩි කළේ කෙසේද සහ කාගේ අරමුණක් මතද යන්න පිළිබඳව තමා නොදන්නා බවයි.

“මෙම ක්‍රියා පටිපාටිය සම්පූර්ණයෙන්ම නීති විරෝධීයි. අමාත්‍යවරයා ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලය අනුමත කළේ ඩොලර් බිලියනයක ණය මුදලක් පවිතරයි. ඒත්  කැබිනට් මණ්ඩලය ඩොලර් බිලියන 2.5ක් අනුමත කරලා තියෙනවා. ඒක ණය ලබා ගැනීමේ මුදල් ප්‍රතිපත්තියට පටහැනියි.”

ආනන්ද පාලිත මහතා  කියා සිටියේය.

එමෙන්ම ඒ පිළිබඳව අදහස් දක්වමින්, ඛනිජ තෙල් සංස්ථාවේ කළමනාකාර අධ්‍යක්ෂ බුද්ධික මඩිහහේවා කියා සිටියේ, 

 “ඇමරිකානු ඩොලර් බිලියන 2.5 ක ණය මුදල සම්බන්ධයෙන් භාණ්ඩාගාරය ඉදිරි ක්‍රියාමාර්ග ගන්නවා. අපේ නිලධාරීන් ඒ ක්‍රියාවලියට සහාය වෙනවා. ණය ක්‍රියාවලියට සහභාගි වෙනවා. ජනවාරි හෝ දෙසැම්බර් මාසය වන විට පෙට්‍රල් සහ ඩීසල් තොග අවසන් වෙන්නේ නැහැ. මහජනතාව කලබල විය යුතු නැහැ.”

යනුවෙනි.

මේ වන විට ශ්‍රී ලංකාවේ විදේශ සංචිත ඇමෙරිකානු ඩොලර් බිලියන තුනක පවතින අතර එම මුදලින් 75%ක් ණයක් ලෙස ලබා ගැනීම තවත් ගැටලු ඇති කරයි. අධ්‍යක්ෂ මණ්ඩලය ගත් තීරණය නොතකා වැඩිපුර මුදල් ලබාගැනීමට අමතරව ණය නිකුත් කරන ආයතනවලට 7%ක කොමිස් මුදලක් ගෙවන අතර, එම  කොමිස් මුදල ඇමෙරිකානු ඩොලර් මිලියන 175 ක් වන අතර එය ශ්‍රී ලංකා රුපියල්වලින් බිලියන 37.8 කි.

එමෙන්ම සංස්ථාව ප්‍රමුඛ පෙළේ රාජ්‍ය බැංකු දෙකට රුපියල් බිලියන 3.5කට වඩා ණය වී ඇති බවත්, රජය හෝ සංස්ථාව එම ණය ප්‍රතිපූරණය නොකරන බවත් තෙල් සංස්ථාවේ ප්‍රකාශකවරයා කියා සිටියේය.

“සංස්ථාව මාසිකව රුපියල් බිලියනයක ණය පොලියක් ගෙවනවා. මේ සියලු වියදම් දරන්නේ මහජනතාව මිස රජය හෝ සංස්ථාව නොවේ,”

ඔහු තව දුරටත් සඳහන් කරන්නට යෙදුණි.

“රජය මහජනතාවට තෙල් ණයට දීලාවත් අඩු මිලට තෙල් නිකුත් කරලාවත් නැහැ. තෙල් සහනාධාර ලෙස තෙල් සංස්ථාවට රුපියල් බිලියන 500කට වැඩි මුදලක් ලබාදීමට සිදුව තිබේ. රාජ්‍ය ආයතන රුපියල් බිලියන 150ක් පමණ සංස්ථාවට ණයයි. ඒ මුදල් ලබාගන්න පුළුවන් නම් තෙල් සංස්ථාවට ණය ගන්න වෙන්නේ නැහැ. මේ සියලු පාඩු මධ්‍යයේ වැඩි වැඩියෙන් ණය ලබා ගැනීම බලපාන්නේ ජනතාවට මිස රජයට නොවේ.”

ඔහු අවධාරණය කර සිටියේය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles