Saturday, December 21, 2024

ශ්‍රී ලංකාවෙි පැවැත්මට තලේබාන් පාලනය තීරණාත්මක වන්නේ කෙසේද ?

ඇෆ්ඝනිස්තානය දීර්ඝ කාලයක් තිස්සේ අමෙරිකානු ආධිපත්‍යයට යටත්ව තිබූ රටකි. එක්තරා ආකාරයකට එහි ඇතිවූ ගැටුම් අමෙරිකානු වුවමනාව වෙනුවෙන් කළමනාකරණය වූ එකක් බව ලෝක දේශපාලන විශ්ලේෂකයන්ගේ මතයයි.දැන් නැවැත වතාවක් ඇෆ්ඝනිස්ථානයේ තලේබාන් පාලනයක් ඇතිව තිබේ.මෙය ලෝක දේශපාලන සිතියම තුළ සලකුණු වන්නේ කෙලෙසද අපේ රටට ඇෆ්ඝනිස්ථානයේ තලේබාන් පාලනය බලපාන්නේ කෙසේද යන කාරණය සම්බන්ධයෙන් ජාතික සංවිධාන එකමුතුවේ මාධ්‍යය ප්‍රකාශක වෛද්‍යය වසන්ත බංඩාර මහතා දීර්ඝ විග්‍රහයක යෙදේ.

ඇෆ්ගනිස්තානය ඉස්ලාමි අන්තවාදයේ ගෝලීය මූල කඳවුරක් විය හැකිද ?

පසුගිය අගෝස්තු 15 දින ඇෆ්ගනිස්ථානයේ තලේබාන් සංවිධානය එරට රාජ්‍ය බලය අත්පත් කර ගැනීමෙන් පසුව අල්ජසීරා රූපවාහිනී සේවය ප්‍රකාශ කරනු ලැබුවේ ඇෆ්ගනිස්ථානය ත්‍රස්තවාදීන්ගේ ස්වර්ග රාජ්‍යය බවට පත් විය හැකි බව ය. ඒ අතර සිරියාවේ අයි.එස්. හිතවාදී කල්ලි කණ්ඩායම් තම සහෝදර ඉස්ලාම් අන්තවාදී සංවිධානයක් විසින් ඉස්ලාම් රාජ්‍යයක් පිහිටුවීම පිළිබඳව සතුට බෙදා ගැනීම සඳහා ජනතාවට රසකැවිලි බෙදා දුන් බවද වාර්තා විය. ඒ ආකාරයට තලේබාන් නැගිටීම පිළිබඳව ලෝකය පුරා ඉස්ලාම් අන්තවාදී කණ්ඩායම් උද්දාමයට පත්වී සිටින නමුත් ඇෆ්ගනිස්ථානයේ ඇමරිකන් රූකඩ ආණ්ඩුවට හිතවාදීව කටයුතු කල පිරිස් එරටින් පැන යාම සඳහා සිතාගත නොහැකි අනතුරුදායක ක්‍රියාවන්හි නිරතවන ආකාරය ද ලෝක වාසීන්ට දැකගත හැකි විය. මේ වන විට කාබුල් ජාත්‍යන්තර ගුවන් තොටුපලේ පමණක් කාන්තාවන් දරුවන් ඇතුළු සිවිල් ජනතාව 50,000ක් පමණ ඉතා දුෂ්කර තත්ත්වයන් යටතේ රටින් පැන යාමේ අපේක්ෂාවෙන් බලා සිටින බව වාර්තා විය. අයි.එස්. සංවිධානය යැයි හඳුන්වාගන්නා කල්ලියක් විසින් කාබුල් ගුවන්තොටුපල අසල සිදුකළ පිපිරීම් කිහිපයක් නිසා ඇමෙරිකානු හමුදා නිලධාරීන් ඇතුළු 150කට අධික පිරිසක් ඝාතනයවීම තුළ තත්වය තවදුරටත් බරපතල වෙමින් ඇත.

ඒ අතර තලේබාන් නායකයින් තත්ත්වය පාලනය කර ගැනීම සඳහා තමා දැන් වෙනස් වී ඇති බව ලෝකයට පෙන්වීමට උත්සාහයක්ද ගනිමින් සිටියි. නමුත් ඔවුන් ඉස්ලාම් මූලධර්මවාදය හෝ ෂරියා නීතිය අත්හරින බවක් කිසි විටෙක සඳහන් කර නැත. එසේම තලේබාන් නායකයින් දීර්ඝ වශයෙන් කරුණු දක්වන අවස්ථාවකදී හෝ 2001 වසරේදී ලෝක ප්‍රසිද්ධ බාහාමියන් බුදු පිළිමවහන්සේ පුපුරුවා හැරීම වැනි ක්‍රියා නැවත සිදු නොකරන බවට හෝ ඒවා පිළිබඳව කණගාටු වන බවට ප්‍රකාශයක් හෝ ස්වයං විවේචනයක් සිදුකර නැත. ඔවුන් සඳහන් කරන්නේ කාන්තාවන්ට රැකියා කිරීමට සහ අධ්‍යාපනය ලබා ගැනීමට අවස්ථාව ලබා දෙන බව පමණි. ඔවුන්ගේ වසර 6ක පාලන කාළය තුළ ඊට අවසර ලබාදුන්නේ නැත. ඇෆ්ගනිස්ථානයේ ජනගහනය මිලියන 38ක් පමණ වන අතර අගනුවර වන කාබුල් නගරයේ පමණක් මිලියන 4කට වැඩි ජනතාවක් ජීවත් වේ. එසේ වුවත් තලේබාන්වරුන් ට එරෙහිව මත ප්‍රකාශ කිරීමට හෝ ඔවුන්ට අභියෝග කිරීමට හෝ රටින් පැණයාමට ධෛර්යමත් වී ඇත්තේ ඉතා සුළු ප්‍රතිශතයකි. ඇමරිකානු රාජ්‍ය ලේකම්ගේ නිල වාර්තාවලට අනුව ඔවුන් මේ වන විට කාබුල් නගරයෙන් පිටතට ගුවන් මගින් රැගෙන යාමට සමත් වී ඇත්තේ 80,000ක පිරිසක් පමණි. ඔහුගේ සංඛ්‍යාලේඛන අනුව තවත් 15, 000කට අධික සිවිල් අමෙරිකානු ජාතිකයන් පිරිසක් රටින් පිටවීමට බලාසිටිති. රාජ්‍ය දෙපාර්තමේන්තුව නිවේදනයක් මගින් ඇමරිකානු රට වැසියන් ගුවන්තොටුපළට පැමිණ ගේට්ටු අසළ රැඳී සිටීම අනතුරුදායක බවට දන්වා ඇත.

විවිධ පර්යේෂණ වෙබ් අඩවි වල දක්වා ඇති පරිදි තලේබාන්වරුන් ගේ උදහසට ලක්විය හැකි පිරිස් ලක්ෂ 3ක් පමණ විය හැක. නමුත් අගෝස්තු 31 ලෙස නම් කර ඇති අවසන් දිනයට පෙර එම පිරිස් රටින් ඉවත් කර ගැනීමට ඇමරිකානු රජයට හැකියාවක් නොමැති බව ඉතා පැහැදිලිය. එම දිනය තවදුරටත් දිගු කළ හැකි වුවද ඇමරිකානු රජය ප්‍රමුඛතාවය ලබා දී ඇත්තේ ඇමෙරිකානු සහ නේටෝ හමුදා භටයින් අගෝස්තු 31 ට පෙර සම්පූර්ණයෙන් ම ඉවත් කර ගැනීමටය. කෙසේ වෙතත් ඇමරිකානු රජය විසින් හමුදාවේ පිරිස් ඇෆ්ගනිස්ථානයෙන් ඉවත් කර ගැනීම ආරම්භ කරනු ලැබුවේ මැයි මාසයේ සිටය. ඒ අනුව ඇෆ්ගනිස්තානයේ රඳවා සිටි 120,000ක් පමණ වූ ඇමෙරිකානු සහ නේටෝ භටයින්ගේ අති බහුතරය මේ වන විට ඉවත් කර ගෙන තිබෙන බව ඉතා පැහැදිලිය. කෙසේ වෙතත් කාබුල් ගුවන්තොටුපල අසල සිදුවූ පිපිරීම නිසා තත්ත්වයන් වෙනස් විය හැක. එම බෝම්බ ප්‍රහාරයේ වගකීම අයි.එස්. සංවිධානය විසින් බාර ගැනීම ද විශේෂ තත්වයකි. ඇමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් මහතා සඳහන් කරන්නේ එම ප්‍රහාරකයින් අල්ලා ගන්නා බවය. නමුත් බොහෝ දේශපාලන විචාරකයින් සඳහන් කරන්නේ තව බොහෝ ප්‍රහාර ඉදිරියට සිදුවිය හැකි බැවින් ප්‍රහාරකයින් හඹායෑමට ඉඩක් තිබුණද ඒ මගින් තත්ත්වය වෙනස් නොවන බවය.

ඩොනල්ට් ට්‍රම්ප් තලේබාන් සංවිධානය සමඟ රහස් සාකච්ඡා

මෙම සියලු කරුණු මගින් පැහැදිලි වන්නේ ඇමරිකාවට සැලසුම් කළ පරිදි හෝ ප්‍රකාශ කළ පරිදි ක්‍රමානුකූලව රටින් පිටව යෑමට හැකියාවක් නොලැබෙන බවය. මෙම තත්ත්වය පිළිබඳව ඔවුනට පුරෝකථනයක් නොතිබූ බව පිළිගත නොහැක. තලේබාන් ඉස්ලාම් අන්තවාදීන් තම රූකඩ රාජ්‍යයට වඩා බලවත් බව අමෙරිකානු රජයට තක්සේරුවක් තිබූ බව ඉතා පැහැදිලිය. ගුවන් තොටුපළ ප්‍රහාරය සිදු කරනු ලබන්නේ සත්‍ය වශයෙන්ම අයි.එස්. සංවිධානය විසින් නම් තත්වය ඉතාම බරපතළ බවටද විවාදයක් නැත. නමුත් සමහර විට තලේබාන්වරුන් විසින් එම ප්‍රහාරයේ වගකීම අයි.එස්. සංවිධානය වෙත පවරනවා විය හැක. ලෝකය හමුවේ ඔවුන් පෙන්වන නව ප්‍රතිරූපය ආරක්ෂා කර ගැනීම සඳහා එවැනි රඟපෑම් අවශ්‍ය වන බවට විවාදයක් නැත. කෙසේවෙතත් තලේබාන් සංවිධානය සහ අයි.එස්.මෙන්ම පකිස්ථානයේ බලුකිස්ථාන ප්‍රාන්ථයේ ඉස්ලාම් බෙදුම්වාදී සංවිධානයක් වන ටී.ටී.පී සංවිධානය සහෝදර සංවිධාන ලෙස කටයුතු කරන බව රහසක් නොවේ. ඊට අමතරව අල්කයිඩා සංවිධානයට උපත ලබා දෙන්නේ තලේබාන් සංවිධානය විසින් බවද රහසක් නොවේ. ඇමරිකානු රජය තමා විසින් පිහිටවූ ආණ්ඩුව අතහැර දමා ඇෆ්ගනිස්ථානයෙන් හමුදා ඉවත් කර ගැනීමට තීන්දු ගැනීමට පෙර එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් ත්‍රස්ත සංවිධානයක් ලෙස තහනම් කර ඇති තලිබාන් සංවිධානය සමග සාකච්ඡා කළ බව රහසක් නො වේ. එම තීන්දුව ඩොනල්ඩ් ට්‍රම්ප් හෝ ජෝ බයින්ඩින් යන ප්‍රතිපක්ෂ ජනාධිපතිවරුන් දෙදෙනා විසින්ම අනුමත කරනු ලැබූවකි.

ඩොනල්ට් ට්‍රම්ප් මහතා ඇෆ්ගනිස්ථානයෙන් හමුදා ඉවත් කර ගැනීම සඳහා 2018 දී තලේබාන් සංවිධානය සමඟ රහස් සාකච්ඡා පැවැත්වූ බව සැඟවිය නොහැක. ඊට පසුව 2020 පෙබරවාරි මාසයේදී කටාරයේ දෝහා නුවරදී තලේබාන් සංවිධානය සහ ඇමෙරිකානු රජය ගිවිසුමක් අත්සන් කළ බව ප්‍රසිද්ධ කරුණකි. ඒ මගින් පැහැදිලි වන්නේ තලේබාන් සංවිධානය විනාශ කර හෝ බලවත් ලෙස දුර්වල කර තමා විසින් පිහිටවූ රූකඩ ආණ්ඩුවේ පැවැත්ම තහවුරු කිරීමේ අරමුණක් ඔවුන්ට නොතිබූ බව ය. වියට්නාමය වැනි පරාජය වී රටින් පිටවීමට සිදු වූ අවස්ථාවල හැර ඇමරිකානු හමුදා ආක්‍රමණයකට පසුව යම් රටකින් පිට වන්නේ ස්ථිර හමුදා කඳවුරක් එම රටේ ස්ථාපනය කිරීමෙන් පසුව පමණි. ඉරාක ආක්‍රමණයෙන් පසුව අසල්වැසි සෞදි අරාබියේ පවා හමුදා කඳවුරු පිහිටුවීමට ඇමරිකාව ක්‍රියා කළේය. ඒ අනුව ඇෆ්ගනිස්ථානය වැනි ඉස්ලාම් අන්තවාදය බලවත් රටකින් එසේ හමුදාව රඳවා තැබීමකින් තොරව පිටව යාම විශේෂ තත්වයකි. ඊට අදාලව ඇමරිකාවේ සීඅයිඒ සංවිධානය, පෙන්ටගනයේ ප්‍රකාශකයින්, ජනාධිපතිවරයාගේ ආරක්ෂක උපදේශක කණ්ඩායම සහ රාජ්‍ය දෙපාර්තමේන්තු ආදි විවිධ පාර්ශව විසින් කරනු ලබන ප්‍රකාශවල බරපතළ පරස්පරතාවයන් දක්නට ඇත. එම ප්‍රකාශ වලට අනුව තලේබාන් සංවිධානය ඒ ආකාරයට කෙටි කලකින් බලය අත්පත් කරගන්නා බවට ඒ කිසිවකු විසින් තක්සේරු කර නැත.

අනෙක් පැත්තෙන් ගත්විට වසර 20ක් යනු පරම්පරාවක් වෙනස් කළ හැකි කාලයකි. නමුත් එම කාලය තුළ බලවත් ඇමරිකාව විසින් ඉස්ලාම් අන්තවාදී මතවාද සමාජයෙන් සෝදා හැරීමට හෝ තලේබාන් සංවිධානය දුර්වල කිරීමට ක්‍රියා නොකළ බව පිළිගැනීමට සිදුවේ. ඉස්ලාම් අන්තවාදය අන්තවාදීන්ගේ මොළවලින් සෝදා හැරීම එවැනි පහසු ක්‍රියාවක් නොවන බව රුසියාව ඇෆ්ගනිස්තානයේ රැඳී සිටි වසර දහයක කාලය තුළදී පවා ඔප්පු කරනු ලැබීය. එදා 1979 දී සෝවියට් හිතවාදී ජනාධිපති නජිබුල්ලාගේ වාමාංශික රජයට එරෙහිව ඇමරිකාව විසින් උසිගැන්වූ මුජහිදීන් නම් වූ තලේබාන් සංවිධානයේ මව් සංවිධානය යුධ ප්‍රකාශ කළ විට එම ආණ්ඩුව රැක ගැනීම සඳහා සෝවියට් හමුදා ඇෆ්ගනිස්ථානයට ඇතුළු විය. ඉන්පසුව සෝවියට් හමුදා එරටට ඇතුළු වීම නිසා මුජහිදීන් නම් වූ ඉස්ලාම් අන්තවාදී සංවිධානය බිහි වූ බවට සෝවියට් දේශයට දොස් පවරනු ලැබීය. නමුත් සෝවියට් හමුදා 1979 දෙසැම්බර් මාසයේ එරටට ඇතුළුවීමට පෙර ජුනි මාසයේදී මුජහිදීන් සංවිධානය ශක්තිමත් කිරීම සඳහා ඇමරිකානු කොංග්‍රස් මණ්ඩලය විසින් ඩොලර් මිලියන 500ක මුදලක් වෙන් කරනු ලැබීය. එසේ කරනු ලබන්නේ ඇෆ්ගනිස්ථානයේ ප්‍රජාතන්ත්‍රවාදය පිහිටුවීම නාමයෙනි. ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය පිහිටුවීම සඳහා 2014 දී රාජ්‍ය නොවන සංවිධානවලට ඩොලර් මිලියන 270 වෙන්කරනු ලැබුවේ ද එම න්‍යායට අනුවය.

ගෝලීය ඉස්ලාම් අන්තවාදී මූල කඳවුර

මුජහිදීන්වරුන් සහ ඉන්පසුව තලේබාන්, අයි.එස්.අයි .එස් සහ අල්කයිඩා ආදී සියළුම ඉස්ලාම් අන්තවාදී සංවිධාන පෝෂණය කිරීම සදහා ඇමෙරිකානු රජය මුදල් පොම්ප කළ බව ලෝකයට රහසක් නොවේ. ඒ අනුව අවසානයේදී තලේයිබාන්වරුන්ට රාජ්‍යය බලය පමණක් නොව බැලැක්හෝක් ප්‍රහාරක හෙළිකොප්ටර් 45ක් ඇතුළු ප්‍රහාරක ප්‍රහාරක ගුවන්යානා 211ක් සමග බර සහ සැහැල්ලු අවි තොග රාශියක් ඔවුන් අතට පත්කර පිටව යන්නේ එකම අරමුණකින් බව ඉතා පැහැදිළිය. ඒ අනුව එදා 1996දී පිහිටවූ සහ 2001දී ඇමෙරිකානු ආක්‍රමණය විසින් බිද දැමූ තලේයිබාන් රාජ්‍යයේ බලයට වඩා වර්තමාන තලේබාන් බලය සිය දහස් ගුණයකින් ඉහළ මට්ටමකින් පවතින බව පිළිගැනීමට සිදුවේ. මේ වන විටත් තලේබාන් සංවිධානය ඇෆ්ගනිස්ථානයේ භුමියෙන් 85% සහ දේශසීමාවලින් 90% මෙන්ම කාබුල් නගරය සම්පූර්ණයෙන්ම තම අනසකට යටත් කිරීමට සමත් වී ඇත. හිටපු යුද නායකයෙකු වූ අහමඩ් ෂා මෂුඩ්ගේ පුත්‍රයෙකු වන අහමඩ් මෂුඩ් නැමති තරුණයෙකු අවිගත් කුඩා කණ්ඩායමක් සමග තලේබාන් සංවිධානයට එරෙහිව යුද්ධ ප්‍රකාශ කර ඇත. අප රටේ එල්.ටී.ටී.ඊ සංවිධානය මෙන් තලේබාන් සංවිධානය ද විවිධ බෙදීම්වලට ලක්වුවද ඉස්ලාම් අන්තවාදී ඉගැන්වීම් මගින් අවසානයේදී ඔවුන් සියළු දෙනා එක් අරමුණකට ගැට ගැසීමට සමත් වී ඇත. ඉහත සදහන් කළ අහමඩ් මෂුඩ්ට ගරිල්ලා ප්‍රහාර සදහා ඇමරිකානු අශිර්වාදය ලැබෙන බව සදහන් වුවද ඔහුට යම් බලයක් ඇත්තේ පන්ෂිර් ප්‍රාන්තයේ කුඩා කදුකර ප්‍රදේශයකය. කෙසේවෙතත් ඇමෙරිකානු වචන පුනරැච්චාරණය කරමින් ඔහු සදහන් කරන්නේ තමා තලේබාන්වරුන් සමග සන්ධාන රජයක් පිහිටුවීමට එකඟ බවය.

මෙවැනි කල්ලි කණ්ඩායම් වල බෙදීම් නිසා ඇෆ්ගනිස්ථානය තුළ දීර්ඝ කාලීනව පැවතිය හැකි සිවිල් යුද්ධයක් ආරම්භ වීමේ හැකියාව ඇත. බොහෝ විට ඇමරිකාවේ උවමනාවද එයම බවට සැකයක් නැත. තමා විසින් පුහුණු කළ දඩයම් බල්ලන් තමාට වුවමනා ආකාරයට පාලනය කිරීම සඳහා යොදාගත යුත්තේ එවැනිම දඩයම් බල්ලන් බව ඇමරිකාව අත්දැකීමෙන් පසක් කරගෙන ඇති සත්‍යයකි. අනාගතයේ දී ඉස්ලාම් අන්තවාදී රාජ්‍යයක රාජ්‍ය බලය පමණක් නොව කුඩා කල්ලි කණ්ඩායම් යොදා ගනිමින් කලාපය අස්ථාවර කිරීම සඳහා ඉඩක් දැන් විවර වී ඇත. ඇමරිකානු අධිරාජ්‍ය මුහුණ දෙමින් තිබෙන දේශපාලන සහ ආර්ථික අර්බුද හමුවේ ඔවුන්ගේ පැවැත්ම තහවුරු වන්නේ ලෝකයේ සෙසු රටවල අස්ථාවර කිරීම මගින් බව ඉතිහාසය විසින් ඔප්පු කර ඇත. ඉරාක ආක්‍රමණයෙන් පසුව ඉරාකය තුළ අයි.එස් සංවිධානය පිහිටුවා ඔවුන්ට පුහුණුව මෙන්ම ආයුධ සහ මුදල් ලබාදී දේශසීමා හරහා සිරියාව දක්වා රැගෙන යනු ලැබුවේ අමෙරිකානු ඔත්තුසේවා විසින් බවට ප්‍රබල සාක්ෂි අන්තර්ජාලයෙන් බාගත කර ගැනීම ඉතා පහසු දෙයකි. නමුත් රුසියානු මැදිහත්වීම තුළ සිරියාවේ ඉස්ලාම් රාජ්‍යයක් පිහිටුවා ඉස්ලාම් මූලධර්මවාදයේ මූල කඳවුරක් පිහිටුවීමේ උත්සාහය ව්‍යාර්ත විය. ඒ අනුව දැන් එම මූලකදවුර ඇෆ්ගනිස්ථානය මුල්කරගෙන පිහිටුවීමට නියමිත බව තේරුම් ගැනීමට ලෝක දේශපාලන ඉතිහාසය පිළිබඳ මහා දැනුමක් අවශ්‍ය වන්නේ නැත.

මෙම ගෝලීය ඉස්ලාම් අන්තවාදී මූල කඳවුර සිරියාවේ පිහිටුවීමට උත්සාහ කළ කඳවුරට වඩා බොහෝ බලවත් වන බවට සැකයක් නැත. ඉහත සඳහන් කළ ආකාරයට ඇමරිකානු ආයුධවලට අමතරව ඇමරිකානු හමුදා විසින් පුහුණු කළ ඇෆ්ගන් ජාතික ආරක්ෂක හමුදාවේ (ANSF) ලක්ෂ 3 කට අධික ඇෆ්ගන් සොල්දාදුවන්ද දැන් තලේබාන් සංවිධානයේ අනුගාමිකයින් බවට පත්වී ඇත. එක් වෙඩිල්ලක් හෝ පත්තු නොකර තලේබාන්වරුන් විසින් කාබුල් නගරය අත්පත් කරගනු ලබන්නේ ඒ නිසාය. ඊට අමතරව ඇෆ්ගනිස්තානය ලෝකයේ විශාලතම මත්ද්‍රව්‍ය නිෂ්පාදනය කරන සහ ලෝකයට බෙදාහරින රටකි. ඇමරිකානු පාලනය යටතේ කුමන ව්‍යාජ ප්‍රකාශ සිදු කළත් මත්ද්‍රව්‍ය ජාවාරම පාලනය නොවූ බව ග්‍රේෂන් පීටර්ස් නම් පර්යේෂකයා තම ත්‍රස්තදවායේ බීජ (Seeds Of Terror) නැමති ග්‍රන්ථය මගින් පෙන්වාදෙයි. එසේම එක්සත් ජාතීන්ගේ සංවිධානයට අයත් අපරාධ සහ මත්ද්‍රව්‍ය කාර්යාලයේ(UNODA) දත්ත අනුව 2019 වන විට ඇෆ්ගනිස්ථානයේ ඕපියම් මත්ද්‍රව්‍ය නිෂ්පාදනය 37% කින් වර්ධනය වී ඇත. ඒ අනුව ගෝලීය ඉස්ලාම් අන්තවාදී මූලකදවුර නඩත්තු කිරීම සඳහා මත්ද්‍රව්‍ය ආදායම් යොදා ගන්නා බවට සැකයක් නැත.

පුහුණුව ලැබූ ඉස්ලාම් අන්තවාදීන් ශ්‍රී ලංකාවට

ඇෆ්ගන් රාජ්‍යය බිඳ වැටී තලේබාන්වරුන් අතට පත්වීම නිසා කලාපයේ රටවල මත්ද්‍රව්‍ය ජාවාරම් වර්ධනය වීමේ හැකියාවක් මෙන්ම පුහුණුව ලත් පිරිස් සරණාගතයින් ලෙස කලාපයේ රටවලට සංක්‍රමණය වීමේ අනතුරක් සහ නවීන ඇමෙරිකානු ආයුධ විවිධ ත්‍රස්ත කණ්ඩායම් අතට පත් කිරීමේ අනතුරක් තිබෙන බවට රුසියානු ජනාධිපතිවරයා විසින් ප්‍රකාශයක් සිදු කොට ඇත. පවතින තත්වය තුළ රුසියාව, චීනය, තුර්කිය, ඉරාකය, සහ පකිස්තානය යන රටවල් ගින්දර සමඟ පරිස්සමින් සෙල්ලම් කිරීමට උත්සාහ කරන බව පෙනේ. එම රටවල් තලේබාන් රාජ්‍යය පිළිගෙන ඇති අතර සම්බාධක පැනවීමේ අවශ්‍යතාවයක් නොමැති බව ප්‍රකාශ කර ඇත. බොහෝ විට ඒ සෑම රටක්ම තලේබාන් සංවිධානය තුළ බෙදීම් ඇති කරන කණ්ඩායම් තම ඔත්තු කරුවන් ලෙස යොදාගන්නා බවට සැකයක් නැත. එවැනි තත්ත්වයක් තුළ එම රටවල ඉවසීමේ සීමාව පනිනතෙක් තලේබාන් රාජ්‍යයේ පැවැත්ම තහවුරු වී ඇති බව පිළිගැනීමට සිදුවේ. එසේ වුවත් අසල්වැසි රටවල ඉස්ලාම් අන්තවාදී කණ්ඩායම් වලට තලේබාන්වරුන් විසින් උත්තේජනය සහ සහාය ලබා දිය හැකි බව එම රටවල් විසින් ප්‍රතික්ෂේප කර නැත. චීනයේ ෂිංජියැන්ග් ප්‍රාන්තයේ ක්‍රියාත්මක වන “නැගෙනහිර මර්කිස්ටාන් ඉස්ලාම් ව්‍යාපාරය” නම් වූ බෙදුම්වාදී සංවිධානය ක්‍රියාත්මක වන්නේ ඇෆ්ගනිස්ථාන දේශ සීමාවේය. රුසියාව සමග ආරක්ෂක ගිවිසුම් මත සාමකාමීව පවතින ටජිකිස්ථාන් වැනි රටවල් ඇෆ්ගනිස්තානය දේශසීමාවල පිහිටා තිබීම ද රුසියාවට තර්ජනයක් විය හැක. පකිස්ථානයේ තත්ත්වය වඩා බරපතළ වන අතර ගෝලීය ඉස්ලාම් අන්තවාදයේ ප්‍රබල භූමිකාවක් ඉටුකරන මුස්ලිම් සහෝදරත්වය නම් වූ අන්තවාදී සංවිධානය සහ ටී.ටී.පී. බෙදුම්වාදී අන්තවාදී කල්ලි කණ්ඩායම් රාශියක් තලේබාන් සංවිධානය සමඟ සබඳතා පවත්වයි.

පකිස්ථානය ආශ්‍රිතව සිදුවන චීන මැදිහත්වීම නිසා එරට අස්ථාවර කිරීමේ දැඩි උවමනාවක් ඇමරිකාවට තිබෙන බව රහසක් නොවේ. දැන් ඒ සඳහා තලේබාන් රාජ්‍ය සහ සංවිධානය මෙන්ම වෙනත් කල්ලි කණ්ඩායම් යොදා ගත හැකි බවත් පැහැදිලි කරුණකි. පකිස්ථානයේ ගොවඩාර් වරායේ සිට චීනයේ නැගෙනහිර බටහිර යා කරන ප්‍රධාන මහා මාර්ගය දක්වා කිලෝ මීටර් 1500ක මහා මාර්ගයක තෙල් නළයක් සහ ගෑස් නලයක් ඉදිවන අතර ඒ ආශ්‍රිත ආර්ථික කලාපයක් නිර්මාණය වෙමින් පවතී. ඒ සඳහා චීන රජය ඩොලර් බිලියන 62ක් ආයෝජනය කරයි. එම උපාය මාර්ග ව්‍යාපෘතිය මගින් අරාබි මුහුදේ සිට දකුණු චීන මුහුද දක්වා ගමන් කරන ලෝකයේ දීර්ඝතම මුහුදු මාර්ගය වෙනුවට කෙටි මාර්ගයක් නිර්මාණය වේ. එම මහා මාර්ගය සහ නවදිල්ලි නුවර අතර ඇත්තේ කිලෝ මීටර් 500ක පමණ දුරකි. එම ව්‍යාපෘතිය ඉන්දියාවට ප්‍රබල තර්ජනයක් විය හැකි බැවින් ඊට එරෙහිව ඇමරිකානු උවමනාවන් වෙනුවෙන් ඉන්දියාව පෙනී සිටින බවට සැකයක් නැත. පාකිස්තානය අස්ථාවර වීම සහ ඇෆ්ගනිස්ථාන සහ පකිස්තාන ත්‍රස්ත කණ්ඩායම් විසින් සිදුකරන මත්ද්‍රව්‍ය ආයුධ සහ මිනිස් ජාවාරම ශ්‍රී ලංකාවේ ජාතික ආරක්ෂාවට ප්‍රබල තර්ජනයක් විය හැක. ඊට අමතරව ශ්‍රී ලංකාවේ ඉස්ලාම් අන්තවාදීන් මීට පෙර පුහුණුවීම් සදහා සිරියාවේ අයි.එස්. කදවුරු වෙත ගියද මින් පසුව පකිස්ථානය හරහා ඇෆ්ගනිස්ථානයට ඇතුල්වී එම අවශ්‍යතාවය සපුරා ගත හැක.

ජනාධිපති පුටින්ගේ ප්‍රකාශය අනුව ශ්‍රී ලංකාවට සරණාගතයින් ලෙස ආයුධ පුහුණුව ලැබූ ඉස්ලාම් අන්තවාදීන් සංක්‍රමණය වීමේ අනතුරක් ද ඇත. ශ්‍රී ලංකාව සහ එක්සත් ජාතීන්ගේ සරණාගතයින්ගේ සංවිධානය අතර සරණාගතයින්ට රැකවරණය ලබා දීමේ ගිවිසුමක් පවතින බැවින් තත්ත්වය වඩා බර බරපතළ වේ. පසුගිය කාලයේ දී එසේ ශ්‍රී ලංකාවට සංක්‍රමණය වූ බුරුමයේ රෝහින්ග්‍යා නමින් වූ ඉස්ලාම් බෙදුම්වාදී සංවිධානයේ අනුගාමිකයින් විල්පත්තුවේ පදිංචි කළ බවට හිටපු අමාත්‍ය රිෂාඞ් බදුර්දීන් මහතාට චෝදනා එල්ල විය. ඒ අනුව අවි පුහුණුව ලැබූ අන්තවාදී පිරිස් සංක්‍රමණය, මත්ද්‍රව්‍ය ජාවාරම සහ ඒ හා බැඳුණු අරමුදල් සහ ආයුධ වෙළදාම පිළිබඳව විශේෂ අවධානයක් යොමු කිරීමට ශ්‍රී ලංකාවට ද සිදුවනු ඇත. එසේ නොමැතිව රුසියාව සහ චීනය දීර්ඝ කාලීන උපාය මාර්ගික ප්‍රවේශයක සිට ගනු ලබන කෙටි කාලීන උපක්‍රමික ක්‍රියාමාර්ග වරදවා වටහා ගැනීම මගින් මෙම අනතුර අවතක්සේරු කිරීම යනු කිසි දිනෙක නැවත නිවැරදි කළ නොහැකි ඓතිහාසික වරදක් වන බවට කිසිදු සැකයක් නැත.

වෛද්‍ය කේ.එම්. වසන්ත බණ්ඩාර

Lanka Lead News

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles