Sunday, December 22, 2024

ශ්‍රී ලංකාවේ ආයෝජනයට යුරෝපා වෙළෙඳ සමාගම් කැමැත්තෙන්

ජී.එස්.පි.ප්ලස් බදු සහනය ලැබීමෙන් පසුව ශ්‍රී ලංකාව සමඟ නව වෙළෙද සබඳතා ශක්තිමත් කරගැනීම කෙරෙහි බෙල්ජියම් රජයේ සහ යුරෝපා වෙළෙද සමාගම් වල එකඟතාව පළවෙයි.

මුදල් ඇමැති රවී කරුණානායක මහතා, බෙල්ජියම් රජයේ නියෝජිතයන් සහ යුරෝපා වෙළෙද සමාගමේ නියෝජිතයින් සමඟ පැවති සාකච්ඡාවල දී මෙම එකඟතාව පළකර තිබෙන බව බෙල්ජියමේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ප්‍රකාශ කරයි.

ස්විට්සර්ලන්තයේ ඩාවෝස් නුවර පැවති ලෝක ආර්ථික සමුළුවට සහභාගීවීමෙන් අනතුරුව මුදල් ඇමැතිවරයා සහ සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළෙද ඇමැති මලික් සමරවික්‍රම මහතා බෙල්ජියමේ සංචාරයක නිරත වීමෙන් අනතුරුව බෙල්ජියම් සහ යුරෝපා වෙළෙද සංගම් නියෝජිතයන් සමඟ සාර්ථක වටමේස සාකච්ඡාවක නිරත වී ඇති බවද එම තානාපති කාර්යාලය සඳහන් කරයි.

මේ අතර ශ්‍රී ලංකා මුදල් ඇමැති රවී කරුණානායක සහ යුරෝපා ආයෝජන බැංකුවේ උප සභාපති ඇන්ඩෘ මැක්ඩොවෙල් මහත්වරුන් අතර යුරෝ මිලියන 50ක් වූ මූල්‍ය ගිවිසුමකට එළඹි බව බෙල්ජියමේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය කියයි. යුරෝපා ආයෝජන බැංකු කාර්යාලයේ දී අත්සන් තැබුණු අදාළ ගිවිසුම මඟින් මහකොළඹ අපජල කළමනාකරණ ව්‍යාපෘතියක් ක්‍රියාවට නැංවීමට නියමිතව තිබෙන අතර ඊට අමතරව මෙම සංචාරයේ දී ශ්‍රී ලංකාවේ කුඩා හා මධ්‍ය පරිමාන ව්‍යාපෘති මෙන්ම හරිත බල ව්‍යාපෘති සඳහා සහාය ලබාදෙන ලෙස බෙල්ජියම් රජයෙන් ඉල්ලීමක් ද කර තිබේ. ඊට ප්‍රතිචාර ලෙස බෙල්ජියම් රජයේ විශේෂ දූත පිරිසක් නුදුරේදීම මෙරට සංචාරයක නිරතවීමට නියමිත බවද ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සඳහන් කරයි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles