Sunday, September 22, 2024

ශ්‍රී ලංකාව ආනයනික ආර්ථිකයෙන් අපනයන ආර්ථිකයට යොමු වෙමින් ඉන්නවා – විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන

ජනතාවගේ ජීවනෝපාය සංවර්ධනය කෙරෙහි වැඩි අවධානයක් යොමු කරමින්, ශ්‍රී ලකාව ආනයන මත යැපෙන ආර්ථිකය, අපනයන කෙරෙහි නැඹුරු ආර්ථිකයක් බවට පරිවර්තනය කිරීමට කටයුතු කරමින් සිටින බව විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සඳහන් කෙළේය. ශ්‍රී ලංකාව සහ කොරියානු ජනරජය අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතා පිහිටුවා 43 වැනි සංවත්සරය නිමිත්තෙන් කොරියානු රජයෙන් කොවිඩ්-19 පීසිආර් පරික්ෂණ කට්ටල තොගයක් ශ්‍රී ලංකාවට ප්‍රදානය කිරිම නිමිත්තෙන් ඉකුත් (8) දා විදේශ අමාත්‍යංශයේ ශ්‍රවණාගාරයේ පැවැති චාම් උත්සවයකදී අමාත්‍යවරයා මේ බව සඳහන් කෙළේය. ඇමරිකානු ඩොලර් තුන්ලක්ෂයක් පමණ වටිනා මෙම ප්‍රදානය ශ්‍රී ලංකාවේ කොරියානු තානාපති වුන්ජින් ජියොන්ග් මහතා අතින් සිදුවිය. අමාත්‍යවරයා එහිදී මෙසේද පැවසීය.

ශ්‍රී ලංකාව සහ කොරියානු ජනරජය අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතා පිහිටුවා 43 වැනි සංවත්සරය නිමිත්තෙන් මෙම උත්සවය විදේශ අමාත්‍යාංශයේ දී පැවැත්වීම සඳහා සත්කාරකත්වය ලබා දීමට හැකි වීම මට මහත් සතුටකි. අප දෙරට සංස්කෘතික වශයෙන් ශත වර්ෂ ගණනාවක් තිස්සේ ඉතා සමීපව කටයුතු කරන  අතර, බුදු දහමේ පොදු හුයෙන් අපි බැඳී සිටිමු. විශ්වාසය සහ අන්‍යෝන්‍ය අවබෝධය මත පදනම් වූ අපගේ සාම්ප්‍රදායික සබඳතා 1977 දී විධිමත් රාජ්‍යතාන්ත්‍රික සබඳතා පිහිටුවා ගැනීමෙන් පසුව, ශ්‍රී ලංකාව සහ කොරියානු ජනරජය පසුගිය වසර 43 තිස්සේ සෑම අංශයකින්ම සුහදශීලී ද්විපාර්ශ්වික සම්බන්ධතාවයක් පවත්වාගෙන යමින් සිටියි.

ශ්‍රී ලංකාවට ලබා දෙන මෙවැනි සහයෝගයන් වෙනුවෙන් ශ්‍රී ලංකාව, කොරියාවේ ජනාධිපති මූන් ජේ ඉන් මහතා ට, එහි රජයට සහ කොරියානු ජනතාවට සිය උණුසුම් සුබ පැතුම් හා ඉහළම ගෞරවය පුද කරනවා.

කොරියානු ජනරජය, අපගේ ප්‍රමුඛ සංවර්ධන හවුල්කරුවෙකි. ආර්ථික සංවර්ධන සහයෝගීතා අරමුදල (EDCF) සහ කොරියාවේ ජාත්‍යන්තර සහයෝගිතා ඒජන්සිය (KOICA) හරහා යටිතල පහසුකම්, ප්‍රවාහන, රැකියා, වෘත්තීය පුහුණුව, වාරිමාර්ග හා අපද්‍රව්‍ය බැහැර කිරීම යනාදී අංශවලට ලබා දී ඇති සුවිශේෂි සහය මෙහිදි කෘතවේදීව් සිහිපත් කරනවා. මෙමඟින් ශ්‍රී ලංකාවේ  සමාජ-ආර්ථික සංවර්ධනයට පිටුවහලක් ලැබී තිබෙනවා.

බහුවිධ අංශ පිළිබඳ කොරියානු ජනරජයේ විශේෂඥතාව සැලකිල්ලට ගනිමින්, ගුවන් සේවා, නැව්ගත කිරීම, සෞඛ්‍ය, කෘෂිකර්මාන්තය, විද්‍යාව සහ තාක්‍ෂණය යනාදී වෙනත් ක්ෂේත්‍රයන්හි අපගේ සබඳතා තවදුරටත් පුළුල් කිරීමට අපි අපේක්ෂා කරමු. එසේම, පාර්ලිමේන්තු හා පළාත් මට්ටමේ සහයෝගීතාව වැඩි දියුණු කිරීම තුළින් දෙරට අතර පුද්ගලාන්තර හුවමාරුව තවදුරටත් ප්‍රවර්ධනය කරනු ඇතැයි අපි විශ්වාස කරමු.

පසුගිය දශක තුන හතර තුළ දී අප සැවොම කොරියානු ජනරජයේ අසාමාන්‍ය වෙනස්වීම් දැක ඇත්තෙමු. කොරියානු ජනරජයේ මෙම අසමසම ආර්ථික වර්ධනය ලෝකයේ ජනතාවට ඉමහත් ප්‍රතිලාභ ගෙන දෙන බවට සහ ආසියානු ආර්ථිකයන්ගේ වර්ධනය සඳහා නිරන්තරයෙන් නව සහජීවනයක් ඇති කර තිබෙන බව නිසැකය.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ‘සෞභාග්‍යයේ දැක්ම’ ජාතික ප්‍රතිපත්ති රාමුව යටතේ, ශ්‍රී ලංකාව දැන් සමාජ හා ආර්ථික සංවර්ධනයේ නව පරිච්ඡේදයක් ආරම්භ කර තිබෙනවා.

කොවිඩ්-19 වසංගත ව්‍යාප්තිය සාර්ථකව පාලනය කිරීමට කොරියානු ජනරජයට හැකිවීම ගැන මම විශේෂයෙන් සතුටු වෙනවා. නවීන තාක්‍ෂණයේ ආධාරයෙන් දැඩි ක්‍රියාමාර්ග ගනිමින් කොරියානු ජනරජය රෝග සම්ප්‍රේෂණය වේගයෙන් පාලනය කළ අන්දම අපි කවුරුත් දුටුවෙමු.

කොරියානු ජනරජය සහ කොරියානු ජනරජයේ ජනතාව අප වෙනුවෙන් පෙනී සිටිමින් අපගේ ඉතා දුෂ්කර කාලවල දී අපට සහය ලබා දී ඇත. ඇමරිකානු ඩොලර් 300,000 ක් වටිනා පීසීආර් පරීක්ෂණ කට්ටල ශ්‍රී ලංකාවට පරිත්‍යාග කිරීමෙන් අපගේ වටිනා සබඳතාවය නැවතත් සනාථ කරනු ලැබ තිබේ. මෙම වසංගතය පාලනය කිරීම පිණිස සකස් කර ඇති රජයේ වැදගත් අංග 10 කින් යුත් උපායමාර්ගික සැලැස්මේ එක් අංගයක් වන, අපේ රටේ පවතින පරීක්ෂණ ධාරිතාව ඉහළ නැංවීම සඳහා මෙම උපකරණ සැබවින්ම උපකාරී වනු ඇත.

අවසාන වශයෙන්, කොරියානු ජනරජයේ නිරන්තර සහයෝගය සහ පරිත්‍යාගශීලීභාවය පිළිබඳව එම රජයට සහ ජනතාවට ස්තූතිවන්ත වන අතරම, අපගේ ජාතීන් දෙක අතර සහයෝගිතාව තවදුරටත් ශක්තිමත් කිරීමට අපි අපේක්ෂා කරන අතර, ජාතිය ගොඩනැඟීමේ මෙම අභියෝගාත්මක නමුත් ප්‍රතිලාභදායක ගමනේ දී, කොරියානු ජනරජය අප සමඟ සමීපව ගමන් කරනු ඇතැයි අපි බලාපොරොත්තු වන බවද ඇමතිවරයා පැවසීය.

මෙහිදී අදහස් දැක් වූ ශ්‍රී ලංකාවේ කොරියානු තානාපති වුන්ජින් ජියොන්ග් මහතා සඳහන් කෙළේ තමන්ට ශ්‍රී ලංකාවේ තානාපති ලෙස කටයුතු කරන්නට අවස්ථාව ලැබීම පිළිබඳව බෙහෙවින් සතුටු වන බවය. වැඩිදුර අදහස් දක්වමින්, “කොරියාවේ ආයෝජකයින්ට ශ්‍රී ලංකාවේ බොහෝ ආයෝජන අවස්ථා තිබෙනවා. එල්එන්ජි බලාගාර ඉදිකීරිම, යටිතල පහසුකම් වැඩි දියුණු කිරිම, ආර්ථික සංවර්ධනයට අදාල තාක්ෂණික ව්‍යාපෘති ඇති කිරිම වැනි ක්ෂේත්‍ර බොහොමයක ආයෝජන අවස්ථා තිබෙනවා. ඒවා පිළිබඳව අධ්‍යයනය කරන්න කොරියාවේ ආයෝජකයන්ට ශ්‍රී ලංකාවට එන්න කියල මම ආරාධනා කරනවා. ශ්‍රී ලංකාව හා කොරියාව අතර ඉකුත් වසර 43ක සබඳතා ඉතා පුළුල්ව පවත්වා ගෙන තිබෙනවා. ඇතැම් වසරවල ශ්‍රී ලංකාවේ වැඩිම ආයෝජන සිදු කර තිබෙන්නේ කොරියානු ජනරජයයි. ඉදිරියටත් අපේ සහයෝගිතාව වර්ධනය කරන්නට අපි දෙපාර්ශ්වයම කටයුතු කරන බවද තානාපතිවරයා කීවේය.

මෙම අවස්ථාවට කලාපීය සහයෝගිතා රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය, විදේශ අමාත්‍යංශයේ ලේකම් අද්මිරාල් මහචාර්ය ජයනාත් කොළඹගේ යන මහතවරැ සමඟ දෙපාර්ශ්වය නියෝජනය කරමින් නිලධාරින්ද සහභාගි වී සිටියහ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles