Thursday, January 23, 2025

ශ්‍රී ලංකාව ගුවනින් තෙල් ගවේෂණය අරඹයි

ශ්‍රී ලංකාවේ මන්නාරම සහ කාවේරි ද්‍රෝණියේ නොගැඹුරු මුහුදු ප්‍රදේශවල ඛනිජ තෙල් සම්පත් ගවේෂණය ඉලක්ක කරගෙන ප්‍රථම වරට ගුවන් මගින් සිදුකෙරෙන ගුරුත්වාකර්ෂණ හා චුම්බක ක්ෂේත්‍ර දත්ත රැස්කිරීම හා සමීක්ෂණය ආරම්භ කර තිබේ.

එක්සත් රාජධානිය මූලස්ථානය කොට ගත් ලෝක ප්‍රකට භෞතික සමීක්ෂණ සමාගමක් වන බෙල් ජියෝස්පේස් (Bell Geospace) පෞද්ගලික සමාගම විසින් මෙම ගවේෂණ කටයුතු සහ සමීක්ෂණය සිදු කෙරෙන අතර බලශක්ති අමාත්‍යාංශයට අයත් ඛනිජ තෙල් සම්පත් සංවර්ධන ලේකම් කාර්යාලය මෙම ව්‍යාපෘතිය මෙහෙයවයි.

මන්නාරම ද්‍රෝණියේ අන්තර්ගත ඩොලර් බිලියන 267 ක් වටිනා තෙල් සහ ගෑස් සම්පත තුළින් රටේ සමස්ත ණය මෙන් තුන්ගුණයක ආදායමක් ඉපයිය හැකි බව බලශක්ති අමාත්‍යවරයා පසුගියදා අනාවරණය කර තිබුණි.

දිගු කාලීනව ලංකාවේ ඛනිජ තෙල් තිබිය හැකි ප්‍රදේශ බිම් කැබලි 20කට වෙන් තිබිණ. තනි සමාගමකට එක් බිම් කැබැල්ලක් ගවේෂණයට දිගු කාලයක් හා විශාල මුදලක් වැය වේ . එනිසා බිම් කැබලි 20 කුඩා කොටස් 873 කට වෙන් කොට සිතියම නැවත සකස් කරනු ලැබීය.

නව සැලැස්ම යටතේ රජයට කිසිදු වියදමක් නැතිව සීමිත දත්ත ප්‍රමාණයක් සහිත හෝ දත්ත රහිත භූමි ප්‍රදේශවල නවතම දත්ත හිමිවීම, සමීක්ෂණ පිරිවැය නැවත අයකර ගැනීමේ පදනම මත දත්ත විකිණීමෙන් වර්ධනාත්මක ආදායම් ප්‍රතිශතයක් ක්‍රමානුකූලව රජයට හිමිවීම ඉන් දෙකකි.

තුන්වෙනුව මේ දත්ත පදනම් කරගනිමින් බෙල්ජි යෝස්පේස් සමාගම ශ්‍රී ලංකාවේ ඛණිජ තෙල් විභවය පිළිබඳව ජාත්‍යන්තර අලෙවි ප්‍රවර්ධන ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කරන නිසා ගෝලීය තෙල් හා ගෑස් සමාගම් ආකර්ෂණය කර ගැනීමට ශ්‍රී ලංකාවට හැකි වෙයි

මන්නාරම් ද්‍රෝණියේ තෙල් හා ගෑස් නිධි උපයෝජනයෙන් පමණක් විදේශ ණය ගෙවීමට ප්‍රමාණවත් ආදායමක් උපයා ගත හැකි බවයි අමාත්‍යවරයා පෙන්වා දුන්නේ.

මෙම අවස්ථාව සඳහා ගුවන් සේවා සහ අපනයන කලාප සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ඩී.වී. චානක, බලශක්ති අමාත්‍යාංශයේ ලේකම් කේ.ඩී.ආර් ඔල්ගා, බලශක්ති අමාත්‍යාංශයේ අතිරේක ලේකම් චාමින්ද හෙට්ටිආරච්චි, ඛනිජ තෙල් සම්පත් සංවර්ධන ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ ජනරාල් සුරත් ඕවිටිගම, බෙල් ජියෝස්පේස් ආයතනයේ අධීක්ෂණ නිලධාරී ඇන්ඩෘ ජෝෂප් සියර්ල් යන මහත්ම මහත්මින්ද සහභාගී විය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles