Monday, January 13, 2025

ශ්‍රී ලංකාව තුළ පවතින ආරක්‍ෂාව ගැන ඉන්දියාවේ දැඩි විශ්වාසයක් තියනවා – ගෝපාල් බග්ලේ

එකම සාගර කලාපයක පිහිටි අසල්වැසි රාජ්‍යයක් ලෙස ශ්‍රී ලංකාව තුළ පවතින ආරක්‍ෂාව සම්බන්ධයෙන් ඉන්දියාව තුළ දැඩි විශ්වාසයක් පවතින බව ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බග්ලේ මහතා පවසයි.

එසේම ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර පවතින දීර්ඝකාලීන සබඳතා මූර්තිමත් කරමින් ඉන්දියානුවන් ශ්‍රී ලංකාවේ සංචාරයට පැමිණීමට වැඩි කැමැත්තක් දක්වන බවත්, දේශගුණික, භූගෝලීය හා සංස්කෘතිකමය අංශයන් බොහෝදුරට රටවල් දෙකෙහිම සමානකම් පැවතීම ද එහිදී වැදගත් බවත් ඔහු කියා සිටියේය.

ශ්‍රී ලංකාවේ මාධ්‍ය ආයතනවල මාධ්‍යවේදීන් පිරිසක් පසුගියදා හමුවෙමින් ඉන්දීය මහ කොමසාරිස්වරයා මේ බව සදහන් කළේය.

විදෙස් ප්‍රතිපත්තිය තුළ අසල්වැසි රාජ්‍ය ප්‍රථමයෙන් යන සංකල්පය මත ගොඩනැගුණු ප්‍රතිපත්තියක් දෙරටම අනුගමනය කරන බව එහිදී ප්‍රකාශ විය.

කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ රටවල් දෙක අතර පැවති සහයෝගය දෙරටටම බෙහෙවින් ප්‍රයෝජනවත් වූ බවත් එසේම ආර්ථිකය මෙන්ම ඕනෑම අංශයක් තුළ ඇතිවන ප්‍රශ්නකාරී තත්ත්වයන් මඟහරවා ගැනීමට දෙරටේ සබඳතා ඉතා වැදගත් බවද එහිදී බග්ලේ මහතා පෙන්වා දුන්නේය.

ශ්‍රී ලංකා – ඉන්දීය නාවික හමුදාවන් අතරද සාගර ආරක්‍ෂාව සම්බන්ධයෙන් මනා සහසම්බන්ධතාවක් පවතී.

එසේම ශ්‍රී ලාංකික වෘත්තිකයන්ට රැකියා අවස්ථාවන් රැසක් හිමිකර දෙමින් ඉන්දියාවේ ප්‍රමුඛ පෙලේ තාක්‍ෂණික සමාගමක් ඉදිරියේ දී ශ්‍රී ලංකාව තුළ ව්‍යාපාර කටයුතු ආරම්භ කිරීමට නියමිතය. ඒ අනුව අසල්වැසි රාජ්‍යයෙන් එන මෙවැනි ආයෝජකයින්, දිගුකාලීන ආයෝජකයින් බැවින් ඔවුන්ට සෑම පහසුකමක්ම ලබා දීමට ඉන්දීය රජය සූදානම් බවද ඉන්දීය මහ කොමසාරිස්වරයා සදහන් කළේය.

ශ්‍රී ලංකාවේ මාධ්‍යවේදීන් සිදු කරන මෙහෙවර මෙහිදී අගය කළ ඉන්දීය මහ කොමසාරිස්වරයා, දෙරට අතර පවතින සබදතා ශක්තිමත් කර ගැනීමට තවදුරටත් බලාපොරොත්තුවන බව ද කියා සිටියේය.

දිනමිණ

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles