ශ්‍රී ලංකාව කෙමෙන් බංකොලොත් රාජ්‍යයක තත්ත්වය කරා යමින් ඇතැයි වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසයි.
එම තත්ත්වයෙන් බේරීමට නම් කෙසේ හෝ විදේශ ආයෝජන ලබාගත යුතු බවත්, නැතහොත් වත්කම් විකිණිය යුතු බවත්, විකුණන්නට ද වත්කම් අප සතුව නැති බවත්, ඇමතිවරයා වැඩි දුරටත් ප්‍රකාශ කොට ඇත.
මෙම තත්ත්වයෙන් රට ගලවා ගැනීමට අලුත් මුදල් ප්‍රවාහයක් ඇති කළ යුතු බව ද ඇමැතිවරයා අවධාරණය කරයි. එසේ නොවුණහොත් 2029 වන තුරු කිසිවෙකුට හිස එසවිය නොහැකි බව ද ඔහු පවසයි
නො එසේ නම් කෙසේ හෝ රටට ආයෝජන ගෙන ආ යුතු බවත් මේ වන විට රටේ විකිණීමට වත්කමක් නොමැති බවත් මේ වන විට මූඩිස් ආයතනයේ ණය ශ්‍රේණිගත කිරීම් අනුව ලංකාව CAA1 සිට CAA2 දක්වා පහත දමා ඇති අතර තව පියවර දෙකක් පහතට වැටුණහොත් රට බංකොලොත්භාවයට පත්වෙන බව ඔහු පැවසුවේය.
දෙරණ නාලිකාවේ බිග් ෆෝකස් වැඩ සටහනට සහභාගී වෙමින් ඇමතිවරයා වැඩි දුරටත් කීවේ බඩු මිල පාලනයට ද රජයට ස්ථිර ප්‍රතිපත්තියක් නොතිබූ බව යි.
දෙරණ නාලිකව සමඟ පැවති සාකච්ඡාවකදී එහි මාධ්‍යවේදියා සහ අමාත්‍යවරයා අතර සිදු වූ සංවාදය මෙසේය.
මාධ්‍යවේදියා – මූඩිස් ආයතනයේ ණය ශ්‍රේණිගත කිරීම්වලට අනුව CAA1 ඉඳන් CAA2 දක්වා අපේ ශ්‍රේණිගත කිරීම් පහළ ගිහින් තියෙනවා. තව දෙකක් පල්ලෙහාට ගියොත් default. ඒ කියන්නේ බංකොලොත්. අපි මේ යමින් ඉන්නේ බංකොලොත් රාජ්‍යයක් වෙන තැනකටද ?
ඇමතිවරයා – බේරගන්න ඕනේ, යමින් ඉන්නේ එතනට. 2029 වෙනකන් කාටවත් ඔලුව උස්සන්න වෙන්නේ නැහැ. අලුත් මුදල් ප්‍රවාහයක් ඇතිකරගත්තේ නැත්නම්. නැත්නම් මොනවා හරි කරලා ආයෝජන ටිකක් ගේන්න ඕනේ. එහෙම නැත්නම් විකුණනන්න ඕනේ. ඒත් විකුණන්න අපිට වත්කම් නැහැ.