Sunday, September 22, 2024

ශ්‍රී ලංකාව සහ තුර්කිය අතර වෙළෙඳ ගනුදෙනු ප්‍රවර්ධනයට අවධානය

ශ්‍රී ලංකාව සහ තම රජය අතර පවතින වෙළෙඳ ගනුදෙනු ප්‍රවර්ධනය කෙරෙහි අවධානය යොමු වී ඇති බව තුර්කි විදේශ අමාත්‍ය මෙව්ලුට් චව්සෝග්ලු (Mevlüt Çavuşoğlu) මහතා පවසයි.

තුර්කි විදේශ අමාත්‍ය මෙව්ලුට් චව්සෝග්ලු මහතා සහ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතර අද (28) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවැති හමුවේ දී ඔහු මේ බව සඳහන් කළේය.

වෙළෙඳ කටයුතු විවිධාංගීකරණය කිරීමෙන් ශ්‍රී ලංකාවේ භාණ්ඩ රැසකට තුර්කි වෙළෙඳපොළ පුළුල්ව විවෘත කෙරෙන බව මෙව්ලුට් චව්සෝග්ලු මහතා පෙන්වා දුන්නේය. ශ්‍රී ලංකාව තුළ අයෝජන අවස්ථා සම්බන්ධයෙන් තම රටේ ව්‍යවසායකයන් දැනුවත් කිරීමට පියවර ගන්නා බව ද තුර්කි විදේශ අමාත්‍යවරයා සඳහන් කළේය.

රාජපක්ෂ මහතා වෙත තුර්කි ජනාධිපතිවරයාගේ සුබාශීංසන පිරිනැමූ මෙව්ලුට් චව්සෝග්ලු මහතා පසුගිය වසරේ තුර්කියට පැමිණෙන ලෙස කළ ආරාධනය නැවත වරක් සිහිපත් කරන බව පැවසීය.

ශ්‍රී ලංකාවේ කොවිඩ් මර්දනයට විවිධ වෛද්‍ය උපකරණ ඇතුළුව ලබා දුන් ආධාර සහ උපකාර පිළිබඳ ජනාධිපතිතුමා තුර්කි විදේශ අමාත්‍යවරයා වෙත සිය ස්තුතිය පළ කළේය.

තුර්කි තානාපති ආර්. ඩිමෙට් සෙකර්සිඕග්ලූ (R. Demet Sekercioglu), විශේෂ උපදේශක කොරේ එර්ටස් (Koray Ertas), මාධ්‍ය ප්‍රකාශක ටන්ජු බිල්ජීක් (Tanju Bilgic) සහ තානාපති කාර්යාල ප්‍රධානි මුහමඩ් බිලාල් සග්ලම් (Muhammed Bilal Sagalm), විදේශ අමාත්‍ය ජී.එල්. පීරිස්, ජනාධිපති ලේකම් ගාමිණී සෙනරත්, ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග සහ විදේශ ලේකම් අද්මිරාල් මහාචාර්ය ජයනාත් කොළඹගේ යන මහත්ම මහත්මීහු මේ අවස්ථාවට එක්ව සිටියහ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles