Friday, September 20, 2024

ශ්‍රී ලංකා – චීන තානාපති සබඳතාවයේ 65 වන වසර කොළඹදී සැමරේ

චීන-ශ්‍රී ලංකා තානාපති සබඳතා සඳහා වසර 65ක් පිරීම සැමරීම සහ රබර්-සහල් ගිවිසුමට වසර 70ක් පිරීම නිමිත්තෙන් කොට පැවති සමරු උත්සවය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ නෙළුම් පොකුණ රඟහලේ ඊයේ (17) පස්වරුවේ පැවැත්විණි.

වසර 65 සපිරෙන චීන-ශ්‍රී ලංකා තානාපති සබඳතා වෙනුවෙන් නිකුත් කළ සමරු සාර සංග්‍රහය ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ වැඩ බලන සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වීරසුමන වීරසිංහ මහතා විසින් මෙහිදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහත්වරු ඇතුළු පක්ෂ නායකයන්ට පිළිගන්වන ලදි.

මෙම අවස්ථාවට ශ්‍රීලනිප සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, එක්සත් ජාතික පක්ෂ නායක හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, මහජන එක්සත් පෙරමුණේ නායක අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නායක අමාත්‍ය වාසුදේව නානායක්කාර, ජාතික නිදහස් පෙරමුණේ නායක අමාත්‍ය විමල් වීරවංශ, පිවිතුරු හෙළ උරුමය නායක අමාත්‍ය උදය ගම්මන්පිල, ශ්‍රී ලංකාවේ චීන තානාපති චී. ෂෙන්හොංග්, ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ වැඩ බලන සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වීරසුමන වීරසිංහ, ලංකා සම සමාජ පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය තිස්ස විතාරණ, ශ්‍රී ලංකා මහජන පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අසංක නවරත්න, ජනතා විමුක්ති පෙරමුණේ මධ්‍යම කාරක සභික වසන්ත සමරසිංහ, ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ හිටපු ප්‍රධාන ලේකම් ඩිව් ගුණසේකර, ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම් විශේෂඥ වෛද්‍ය ජී. වීරසිංහ, සංවත්සර කමිටු ලේකම් මහාචාර්ය කේ.ඩී.එන්. වීරසිංහ යන මහත්වරු ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස උත්සවය⁣ට සුබ පැතුම් පණිවිඩයක් නිකුත් කර තිබුණි.

රටවල් සමග මිත්‍රත්වයෙන් සහ ස්ව ශක්තියෙන් නැගී සිටි චීනය නිසා අද සමස්ත ආසියාව ම වෙනසකට ලක්ව ඇති බව අග්‍රාමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළේය.

එම සමරු උත්සවය අමතා අග්‍රාමාත්‍යවරයා කළ සම්පූර්ණ කතාව මෙසේ ය.

“මම මගේ දේශනය කිරීමට පෙර, සියලු කාරුණික වචන සහ ඒ වචන පිටුපස ඇති ක්‍රියාවට චීනයේ අතිගරු ජනාධිපති ෂී ජින් පින්ග් මහතාට ස්තුතිවන්ත වෙනවා. අප දෙරට අතර ඇති ශක්තිමත් බැඳීම, අපගේ ජනතාව අතර බෙදාහදා ගන්නා ගැඹුරින් මුල් බැසගත් මිත්‍රත්වය මගින් තව දුරටත් තහවුරු වී ඇති බව මට විශ්වාසයි.

චීනය දීර්ඝ ඉතිහාසයකට උරුමකම් කියන රටක්. ඒ වගේ ම ඒක ශ්‍රේෂ්ඨ ඉතිහාසයක්. එම ශ්‍රේෂ්ඨ ඉතිහාසය පෝෂණය වන්නට කොන්ෆියුසියස් දර්ශනයත් ඉවහල් වන්න ඇතැයි මම හිතනවා. චීනය විශාල රටක් වුවත් කවදාවත් කිසි ම රටක් ආක්‍රමණය කරල නෑ. ඒ වගේ ම තමන්ගේ මාතෘ භූමිය කිසි ම විදෙස් බලවේගයකට යටත් කරගන්න ඉඩ දීලත් නැහැ.
අතීතයේ ලෝක බලවතුන් චීනය අල්ලන්නට ගත් සෑම උත්සාහයක් ම අසාර්ථක වුණා. චීනය අඛණ්ඩව එක්සත් රාජ්‍යයක් හැටියට පවත්වා ගෙන ඒමට අද වෙනකල් හැකි වී තිබෙනවා.

ශ්‍රී ලංකාවත් චීනයත් අතර සබඳතා ආරම්භ වන්නේ වසර 2000කට පෙර ඉඳන් බවයි, ඉතිහාසයේ සඳහන් වන්නේ. බෞද්ධාගම, ජාත්‍යන්තර වෙළඳාම, සංස්කෘතික සබඳතා ඔස්සේ දෙරටේ ජනතාව අතර මිත්‍රත්වය වර්ධනය වී තිබෙනවා.
විවිධ ආක්‍රමණවලට මුහුණ දෙමින් නව චීනය බිහි වන්නේ 1949 දී. මෑත ඉතිහාසයේ නව චීනය බිහි වීමටත් පෙර චීන නායකයින් සමඟ සබඳතා පැවැත්වීමට දොස්තර සුගීශ්වර වික්‍රමසිංහ මහතා කටයුතු කර තිබෙනවා. ඔහු 1945 දී ලෝක කම්කරු සමිති සම්මේලනය පිහිටුවීමේ ආරම්භක උත්සවයට සහභාගී වුණා. එය පැවැත්වුණේ පැරිස් නුවර. චීන නායකයින් ද එයට සහභාගී වුණා. එහි දී ශ්‍රී ලංකාව හා චීනය අතර දේශපාලන සබඳතා සඳහා පදනම වැටෙනවා.

චීනයට ගිය පළමු ලාංකික දේශපාලන නියෝජිත පිරිසට පිලිප් ගුණවර්ධන, එස්.ඩී. බණ්ඩාරනායක, එඩ්මන් සමරක්කොඩි සහ එස්.ජී.එස්. රත්නවීර ඇතුළත් වුණා. ඊට පසු ශ්‍රී ලංකා – චීන මිත්‍ර සංගමය පිහිටුවනු ලැබුවා. ඒ සඳහා මූලිකත්වය ගත්තේ පූජ්‍ය උඩකැන්දවල සිරි සරණංකර හිමි, කුසුමා ගුණවර්ධන, තේජා ගුණවර්ධන, පීටර් කේනමන්, එස්.ඩී. බණ්ඩාරනායක ඇතුළු කණ්ඩායමක්.

රබර් සහල් ගිවිසුම (1952) අපේ මිත්‍රත්වයේ තවත් සන්ධිස්ථානයක් ලෙස හඳුන්වන්න පුළුවන්. ඇත්ත වශයෙන් ම එම මිත්‍රත්වයට හොඳ පදනමක් දැම්මේ 1956 මහජන එක්සත් පෙරමුණ රජය කාලයේදීයි. දිවංගත බණ්ඩාරනායක මහතා විදේශ ප්‍රතිපත්තියේ පැහැදිලි වෙනසක් ඇති කළා. සමාජවාදී රාජ්‍යයන් සමඟ සබඳතා ගොඩනැඟුවා. චීනය පිළිගැනීමට සහ චීනය සමඟ රාජතාන්ත්‍රික සබඳතා ගොඩ නැඟීම වෙනුවෙන් වමේ ව්‍යාපාරය, වෘත්තීය සමිති ව්‍යාපාරය, තරුණ ශිෂ්‍ය ව්‍යාපාරය දැවැන්ත අරගල කරගෙන ගියා. මා තර්ස්ටන් විද්‍යාලයේ ශිෂ්‍යයෙකු වශයෙන් සිටිය දී එම පෙළපාළිවලට සහභාගී වුණා.

මට මතකයි, චීනයේ පළමු තානාපති වුණේ විල්මට් ඒ. පෙරේරා මහතායි. ඔහු සූරිය මල් ව්‍යාපාරයේ පුරෝගාමියෙක්. ඉන් පසු ඒ.බී. පෙරේරා, රොබට් ගුණවර්ධන, විලියම් ගොපල්ලව දෙරටේ මිත්‍රත්වය ශක්තිමත් කළා. මෙහි දී විශේෂ කාර්යභාරයක් ඉටු කළේ ටී.බී. සුබසිංහයන්.

1978න් පස්සේ චීනය නව ආර්ථික උපාය මාර්ගවලට පිවිසුණා. 1978 – 2010 අතර චීනය ඉතා වේගවත් සංවර්ධනයක් ඇති කළා. ගත වූ දශකය තුළ චීනය නව ආර්ථික වැඩසටහන් දෙකක් ක්‍රියාත්මක කළා. පළමුව ක්‍රියාත්මක කළේ නව සේද මාවත ව්‍යාපෘතිය. ශ්‍රී ලංකාවත් එහි ආරම්භක සාමාජිකයෙක්. දෙවන ව්‍යාපෘතිය වුණේ අන්ත දරිද්‍රතාව අහෝසි කිරීමයි. මිලියන 800 ක ජනතාවක් අන්ත දරිද්‍රතාවෙන් මුදා ගැනීමට එමගින් හැකි වුණා. ලෝක ඉතිහාසයේ මෙතෙක් නො ඇසූ ජයග්‍රහණයක් ඒක.

චීනය අද ලොව විශාලතම වෙළඳපොළක්. ඒ නිසා ම විදේශ විනිමය ගලා එනවා. ලෝකයේ දෙවන ආර්ථික බලවතා බවට චීනය මේ වන විටත් පත්වෙලා අවසන්. චීනය නිසා ම සමස්ත ආසියාව ම වෙනසකට ලක් වෙලා. චීනය නැඟී සිටියේ ස්ව ශක්තියෙන්. ඒ වගේ ම රටවල් අතර මිත්‍රත්වයෙන්. චීනය අපගේ ඓතිහාසික මිත්‍රයෙක්. ඒ වගේ ම අව්‍යාජ මිත්‍රයෙක් බවත් කියන්න ඕනෙ. ඒ මිත්‍රත්වයට ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය දැඩි මැදිහත් වීමක් සිදු කරලා තියනවා. ඒ බව මා මෙහි දී විශේෂයෙන් ම සඳහන් කරන්න ඕනෙ.

චීනයේ වත්මන් ජනාධිපති ෂී ජින් පින්ග් මැතිතුමා අපගේ පෞද්ගලික මිතුරෙක් වගේ ම ශ්‍රී ලංකාවෙත් හොඳ මිතුරෙක්. ශ්‍රී ලංකාවේ සංවර්ධන ව්‍යාපෘතිවලට එතුමා අපට උදව් කරනවා. ෂී ජින් පින්ග් ජනාධිපතිතුමාගේ ශක්තිමත් නායකත්වය යටතේ 2012 වසරෙන් පසුව චීනය නව යුගයකට පා තැබූ බව සඳහන් කරන්න ඕනෙ. චීනයේ දෛවය වෙනස් කරමින් අද අත්දකින චීන සාර්ථකත්වය ලබා දීමට එතුමාගේ නායකත්වය ප්‍රධාන සාධකයක් වූ බව සඳහන් කරන්න කැමතියි. එසේ නොවුණා නම් අද අපි දකින චීනය බිහි වන්නේ නැහැ.

චීන කොමියුනිස්ට් පක්ෂයට වසර 100ක් සම්පූර්ණ වන අවස්ථාවේ එම සංවත්සරය සඳහා මම ද අන්තර්ජාලය ඔස්සේ සහභාගී වුණා. චීන කොමියුනිස්ට් පක්ෂයේ 20 වන ජාතික කොන්ග්‍රස් සමුළුව 2022 වසරේ දී පැවැත්වීමට නියමිතයි. එම සමුළුව සාර්ථක වේවායි සුබ පැතීමටත් මා මෙය අවස්ථාවක් කර ගන්නවා.

චීන ශ්‍රී ලංකා රාජතාන්ත්‍රික සබඳතාවලට වසර 65ක් පිරීම නිමිත්තෙන් අපි සමරු කාසියකුත් නිකුත් කළා. එය අපි කළේ අපගේ මිත්‍රත්වයේ සංකේතයක් ලෙසයි. චීනය, තීරණාත්මක සෑම අවස්ථාවක ම ශ්‍රී ලංකාව සමඟ මිත්‍රත්වයෙන් සිටියා. චීනයත් ශ්‍රී ලංකාවත් අතර තිබෙන මිත්‍රත්වය ඉදිරියටත් ශක්තිමත්ව පවත්වා ගෙන යාම අපගේ අපේක්ෂාව හා වගකීමයි.

ඔබ සැමට තෙරුවන් සරණයි!

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles