Thursday, October 24, 2024

ශ්‍රී ලන්කන්හි කෝටි ගණනක වංචාවක්

රාජපක්ෂ පාලන සමයේ දීර්ඝකාලීන පදනම මත A 350-900 වර්ගයේ ගුවන් යානා 4ක් ලබා ගැනීම සඳහා ශ්‍රී ලන්කන් ගුවන් සමාගම විසින් International Lease Finance Coporation (ILFC) සමඟ ඇති කරගනු ලැබූ කල් බදු ගිවිසුම අවලංගු කිරීමේ ක්‍රියාවලිය තුළ ඇමරිකානු ඩොලර් මිලියන ගණනක කොමිස් ගනුදෙනුවක් සිදුව ඇති බවට සැක පහළ වන බව ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.

එම ආරංචි මාර්ග වැඩිදුරටත් පෙන්වා දෙන ආකාරයට ශ්‍රී ලන්කන් ගුවන් සමාගම විසින් International Lease Finance Coporation (ILFC) සමඟ ඇති කරගනු ලැබූ කල් බදු ගිවිසුම අවලංගු කිරීමේ දී එළඹි ගිවිසුම් පිළිබඳ කිසිදු අවස්ථාවක අදාළ සවිස්තරාත්මක තොරතුරක් විෂයභාර අමාත්‍යාංශය වෙත ලබා දී නොමැති අතර ඒ බව පසුගිය දා රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය කබීර් හෂීම් 2017-02-08 නිකුත් කර ඇති අංක 2017රැ2 දරන අමාත්‍ය මණ්ඩල සංදේශය හරහා ද තහවුරු වී ඇත.

කෙසේ වුවත් මේ සම්බන්ධව පසුව ප්‍රකාශයක් කරමින් කබීර් හෂීම් අමාත්‍යවරයා අවධාරණය කර ඇත්තේ රාජපක්ෂ සමයේ සිදුව ඇති මෙම කල්බදු එයාර්කැප් සමාගම සමඟ පැවති ගුවන්යානා බද්දට ගැනීමේ ගනුදෙනුව අවලංගු කිරීමට කටයුතු නොකළේ නම් ශ්‍රී ලන්කන් ගුවන් සමාගමට ඉදිරි වසර 12ක කාලය පුරාවට ඇමරිකානු ඩොලර් මිලියන 205ක අලාභයක් සිදු වීමට ඉඩ තිබුණු බව ය.

රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍යාංශය හා මුදල් අමාත්‍යාංශය අතර ගැටුම් ඇති කිරීමේ අරමුණෙන් මෙම මාධ්‍ය වාර්තාවලට සමහර අසත්‍ය තොරතුරු එක්කර තිබූ බවත් ගුවන්යානා මාසිකව ඇමරිකානු ඩොලර් 950,000 කට බදු ගැනීමට හැකි වූවත්, පසුගිය රජය විසින් මේ සඳහා ගිවිසුම් අත්සන් කර ඇත්තේ මාසිකව ඇමරිකානු ඩොලර් 1,425,000ක මුදලකට බව ද අමාත්‍යවරයා එහි දී සඳහන් කර ඇත.

එසේම ගිවිසුම අහෝසි වීමත් සමඟ එයාර්කැප් සමාගම වන්දි වශයෙන් ඩොලර් මිලියන 154ක් ඉල්ලා සිටි නමුත්, ශ්‍රී ලන්කන් ගුවන් සමාගම කැබිනට් අනුමැතිය යටතේ සිදු කළ සාකච්ඡා අවසානයේ වන්දි මුදල ඩොලර් මිලියන 98 ක් දක්වා අඩුකර ගැනීමට සමත් වූ බව ද අමාත්‍යවරයා සඳහන් කර ඇත. එම ප්‍රකාශය සිදු කිරීමෙන් අනතුරුව අමාත්‍යවරයා විදෙස්ගත වූයෙන් එම ප්‍රකාශය සම්බන්ධව වැඩිදුර කරුණු විමසීම සඳහා ඔහුව සම්බන්ධ කර ගැනීමට අපට නොහැකි විය.

නමුත් අප ආරංචි මාර්ග හරහා ලැබී ඇති තොරතුරුවලට අනුව නම් අංක 2017/2 දරන අමාත්‍ය මණ්ඩල සංදේශය හරහා මීට වෙනස් කාරණා ප්‍රමාණයක් අවධාරණය කර ඇති බව සඳහන් වෙයි.

ඊට අනුව 2015-06-24 වනදා ශ්‍රී ලන්කන් ගුවන් සමාගම ලාභදායි රාජ්‍ය ව්‍යවසායක් බවට පරිවර්තනය කිරීම සඳහා ප්‍රතිව්‍යුහගතකරණය වෙනුවෙන් වන සැලැස්මට කැබිනට් අනුමැතිය පළව ඇත. එහි දී රාජපක්ෂ සමයේ ඇති කරගත් A 350- 900 ගුවන්යානා කල්බදු ගිවිසුම ඒ සැලැස්ම තුළින් ඉවත් කරගෙන ඇත. ඒ එම කාරණය සමඟ අපේක්ෂිත ඉල්ලක්ක වෙත යාමට නොහැකි නිසාත් Nyras iy Skyworks යන උපදේශක සමාගම් විසින් අදාළ ගිවිසුමේ මෙහෙයුම් කටයුතු හරහා වසරකට ඇමරිකන් ඩොලර් මිලියන 30ක අලාභයක් සිදු වන බව පෙන්වාදීම නිසාත්ය. ඒ අනුව ආණ්ඩුවේ පිළිගැනීම වී ඇත්තේ අදාළ ගනුදෙනුව අත්හිටුවීමය.

එසේම 2013-09-27 දින ශ්‍රී ලන්කන් ගුවන් සමාගම විසින් International Lease Finance Coporation (ILFC) සමඟ ඇති කරගත් කල් බදු ගිවිසුම අනුව ් 350-900 වර්ගයේ ගුවන් යානා 4ක් මෙරටට ලබා ගැනීමට නියමිත වූ අතර එම යානා 2016 ඔක්තෝබර් සහ නොවැම්බර් වන විට බාර ගැනීමට නියමිතව තිබිණ.
ඒ යටතේ බාර ගැනීමට තිබු 4 වන යානයට අදාළ කල්බදු ගිවිසුම අවලංගු කිරීම සඳහා 2016 අප්‍රේල් මාසයේ දී ආර්ථික කළමනාකරණය පිළිබඳ අමාත්‍ය මණ්ඩල කමිටුව අනුමැතිය පළකර ඇති අතර එකී අවලංගු කිරීම සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 17.7 ක වන්දියක් ගෙවීමට සිදුව තිබිණ. මේ මුදල ඒ සඳහා ගෙවීමට අමාත්‍ය මණ්ඩල අනුමැතියක් තිබූ බවට කිසිදු ලේඛනයක් රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍යාංශය වෙත ලබා දීමට ශ්‍රී ලන්කන් ගුවන් සමාගම කටයුතු කර නැත. ඒ අනුව අදාළ ගනුදෙනුව සිදුව ඇති බවත් ඊට අදාළ ගිවිසුමක් සඳහා ශ්‍රී ලන්කන් ගුවන් සේවය යොමු වී ඇති බවත් තම අවබෝධය බව අමාත්‍යවරයා නිකුත් කළ සංදේශයේ සඳහන් කර ඇත.

අනතුරුව ඉතිරි ගුවන් යානා 3 හි කල්බදු ගිවිසුම අවලංගු කිරීම සම්බන්ධව 2016-09-07 දින ආර්ථික කළමනාකරණය පිළිබඳ අමාත්‍ය මණ්ඩල කමිටුවේ දී පුළුල්ව සාකච්ඡා වී ඇත. එම සාකච්ඡාවේ දී ඉතිරි යානා 3 සම්බන්ධ කල් බදු ගිවිසුම අවලංගු කර ගැනීම සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 75-85 ත් අතර වන්දියක් ගෙවීමට තීන්දු කර ඇත. ඒ සඳහා ගිවිසුම්ගත වීමට අමාත්‍ය අනුකමිටුව ශ්‍රී ලන්කන් ගුවන් සේවයට බලය පවරා ඇත.
පසුව එම තීන්දුව අමාත්‍ය මණ්ඩල අනුමැතිය සඳහා ඉදිරිපත් කර ඇති අතර 2016-09-27 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී අවසාන තීරණයක් වෙනුවට අදාළ ගිවිසුම සම්බන්ධව සාකච්ඡා කිරීමට පමණක් අනුමැතිය පළව ඇත.

මේ අතරතුර කාලයේ දී ශ්‍රී ලන්කන් ගුවන් සමාගම තමන් AerCap සමඟ සාකච්ඡාවක් සිදු කළ බවත් එහි දී කල්බදු ගිවිසුම් අවලංගු කරන ගුවන්යානා 3 වෙනුවෙන් ගෙවීමට නියමිත වූ ඇමරිකන් ඩොලර් මිලියන 154 වන්දිය වෙනුවට ඇමරිකානු ඩොලර් මිලියන 98 ක වන්දියක් සඳහා අදාළ සමාගම එකඟ වූ බවත් අමාත්‍ය මණ්ඩල අනුකමිටුව වෙත දැනුම් දී ඇත. ඒ බව ඔවුන් අමාත්‍ය අනුකමිටුවට දැනුම් දී ඇත්තේ 2016-09-21 වනදාය.

නමුත් එහි දී මුදල් අමාත්‍යවරයාගේ සහ රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍යවරයාගේ ස්ථාවරය වී ඇත්තේ යෝජිත වන්දි මුදල ඉතා ඉහළ බවත් එහෙයින් පෙර පැවති ආර්ථික කළමනාකරණය පිළිබඳ අමාත්‍ය මණ්ඩල කමිටුව තීන්දු කළ ඩොලර් මිලියන 75-85 උපරිම වන්දිය ලෙස සලකා කටයුතු කළයුතු බවත්ය.

මේ සම්බන්ධව ආර්ථික කළමනාකරණය පිළිබඳ අමාත්‍ය මණ්ඩල කමිටුවේ තීරණයකට අනුව 2016-9-28 මුදල් අමාත්‍යවරයා ද AerCap සමාගමේ නියෝජිතයන් සමඟ සාකච්ඡා කර ඇත. එහි දී A 330-200 වර්ගයේ අතිරේක ගුවන්යානයක් කල් බදු පදනම මත ලබා ගැනීම, මිහින් ලංකා ගුවන් සමාගම විසින් කල්බදු පදනමින් ලබා ගෙන මේ වන විට ශ්‍රී ලන්කන් ගුවන් සේවය භාවිත කරන ගුවන්යානයක කල්බදු ගිවිසුම දීර්ඝ කිරීම ඇතුළු කොන්දේසි තුනක් සඳහා එකඟ වන්නේ නම් නියමිත වන්දි මුදල ඇමරිකානු ඩොලර් මිලියන 98ක් දක්වා අඩු කිරීමට AerCap සමාගමේ නියෝජිතයන් එකඟතාව පළකර ඇත. මේ සම්බන්ධව දැනුම් දෙමින් මුදල් අමාත්‍යවරයා ශ්‍රී ලන්කන් ගුවන් සමාගමට අවධාරණය කර ඇත්තේ අදාළ යෝජනා පිළිබඳ නීතිපතිවරයාගෙන් උපදෙස් ගැනීමටත්, කල්බදු ගිවිසුම අවලංගු කිරීම වෙනුවෙන් යෝජනා කරැති කොන්දේසි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙරටට අදාළව නිකුත් කර ඇති කොන්දේසිවලට අනුකූලද යන්න සම්බන්ධව විමසා බලන ලෙසය.

කෙසේ වුවත් මේ සාකච්ඡා සම්බන්ධව අමාත්‍ය මණ්ඩල සංදේශය තුළ කබීර් අමාත්‍යවරයා සඳහන් කර ඇත්තේ ගුවන්යානා 3 කල්බදු ලෙස ගැනීමට ගිවිසුම්ගතව තිබුණේ International Lease Finance Coporation (ILFC) සමඟ වුවත් AerCap සමඟ සාකච්ජා කිරීමට හේතු වූ කාරණා සම්බන්ධව තමන් දැනුවත් නොමැති බවය. ඒ මධ්‍යයේ 2016 -10-01 වනදා මුදල් අමාත්‍යවරයා සිය අමාත්‍යාංශ උපදේශකයකු හරහා AerCap සමාගමේ නියෝජිතයන් සමඟ සාකච්ඡා කර ඇති බවත් එම සමාගම අපේක්ෂිත වන්දිය ගෙවීමට එහි දී මුදල් අමාත්‍යාංශයේ එකඟතාව පළකර ඇති බවත් කබීර් අමාත්‍යවරයා සිය අමාත්‍ය මණ්ඩල සංදේශය හරහා හෙළිකර ඇත.

මේ අතර ශ්‍රී ලන්කන් ගුවන් සමාගම පූර්ව කල්බදු ගිවිසුම අවලංගු කිරීමට ගිවිසුම්ගතව ඇති බවට ලැබුණු විශ්වාසවන්ත තොරතුරු මත රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍යාංශය වෙත ලැබී ඇත. ඒ ඒ පිළිබඳව කරුණු විමසමින් 2016-10-20 රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම්වරයා ශ්‍රී ලන්කන් ගුවන් සේවය වෙත ලිපියක් යොමුකර ඇතත් ඔවුන් ඊට නිශ්චිතව පිළිතුරු දීම වෙනුවට සිදුකර ඇත්තේ 2016-10-28 දින අදාළ ගිවිසුමට එළැඹීම සඳහා අනුමැතිය පතමින් අමාත්‍ය මණ්ඩල සංදේශයක් ඉදිරිපත් කිරීමය. එම අමාත්‍ය මණ්ඩල සංදේශය ද ඉදිරිපත් කර ඇත්තේ විෂයභාර තම අමාත්‍යාංශය යටතේ නොවන බව රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය කබීර් හෂීම් නිකුත් කර ඇති අංක 2017/2 දරන අමාත්‍ය මණ්ඩල සංදේශයේ සඳහන් ව ඇත. එසේම අදාළ ලිපියට කරුණු දැක්වීමක් සිදු නොවීම සම්බන්ධව අවධාරණය කරමින් සහ තවත් කරුණු කිහිපයක් සම්බන්ධව විමසා 2016-12-27 වනදා ද නැවත ශ්‍රී ලන්කන් ගුවන් සමාගම වෙත ලිපියක් යොමු කිරීමට අමාත්‍යාංශ ලේකම්වරයා කටයුතු කර ඇත. ඊට ප්‍රතිචාර වශයෙන් ශ්‍රී ලන්කන් ගුවන් සේවය 2016-12-28 ලිපියක් අමාත්‍යාංශය වෙත යොමුකර ඇත. ඒ හරහා ඔවුන් පිළිතුරු ලබා දී ඇත්තේ අමාත්‍යාංශය වෙතින් යවන ලද 2016-12-27 ලිපියට පමණි. එහි දී පූර්ව කල්බදු ගිවිසුම අවලංගු කිරීම සඳහා වන ගිවිසුම සඳහා 2016-10-04 වනදා තම සමාගම අත්සන් කළ බවත් ඒ මුදල් අමාත්‍යාංශය අදාළ ගිවිසුම සඳහා විරෝධය නොදැක්වීම, අග්‍රාමාත්‍යවරයාගේ අනුමැතිය ද ඊට හිමිව තිබීමේ පදනමින් බවත් දැනුම් දී ඇත. එහෙත් මෙම ලිපිය හැර අදාළ ගිවිසුම කුමක්ද හෝ එහි පිටපතක්වත් අමාත්‍යාංශය වෙත ලබා දීමට ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ බලධාරීන් කටයුතු කර නැත.

එසේම මෙම අමාත්‍ය මණ්ඩල සංදේශය හරහා වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ 2016-10-04 වනදා අදාළ ගිවිසුම අත්සන් කර ඇතත් 2016 -10-24 දින පැවති ආර්ථික කළමනාකරණය පිළිබඳ අමාත්‍ය මණ්ඩල කමිටුව සඳහාවත් අදාළ ගිවිසුමේ පිටපතක් අමුණා නොතිබූ බවය.

කෙසේ වුවත් මෙකී ගිවිසුම සම්බන්ධව විෂය භාර අමාත්‍යාංශය වෙතින් ජනාධිපතිවරයාගේ නියමයෙන් 2017-02-08 වනදා ඉදිරිපත් කළ අමාත්‍ය මණ්ඩල සංදේශය හැර වෙනත් කිසිදු කටයුත්තකට තමන් සම්බන්ධ නොමැති බව මේ සංදේශය තුළ කබීර් අමාත්‍යවරයා සඳහන් කර ඇත. මෙහි ඇති ගැටලු‍ව වන්නේ අදාළ සංදේශය තුළ මෙම ගිවිසුමේ ඇති සැකමුසු තැන් සම්බන්ධව කිසිදු සඳහනකින් තොරව ඒ තුළ ලැබුණු ලාභයක් ගැන පමණක් සඳහන් කරන්නට පසුව කබීර් අමාත්‍යවරයාට සිදුව තිබීමය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles