අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්යක්ෂ, ශානී අබේසේකර මහතා විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබේ.
සහරාන් හසීම් ගැන නිසි ලෙස පරීක්ෂණ නොකිරීම ඇතුළු චෝදනා මත තමන්ව අත්අඩංගුවට ගැනීම වළක්වාලන අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ශානි අබේසේකර මහතා ශ්‍රේෂ්ඨාධිකරණයට මුලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබෙනවා.
ඊට අමතරව, ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ, ආරක්ෂක අමාත්‍යවරයා ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට, තමන්ව රදවා ගැනීමේ නියෝගයක් නිකුත් කිරීම වළක්වන නියෝගයක් නිකුත් කරන ලෙසද ශානි අබේසේකර මහතා එම පෙත්සමෙන් ඉල්ලා සිටියි.
තමාගේ නොසැලකිල්ල හේතුවෙන් පාස්කු ප්‍රහාරය සිද්ධ වූ බවට, ප්‍රධාන පොලිස් පරීක්ෂක ලලිත දිසානායක මහතා විසින් බී වාර්තාවක් ඔස්සේ අධිකරණයට කරුණු දක්වා ඇතැයි, පෙබරවාරි 10 වන දා තමන්ට දැනගන්නට ලැබුණු බව ශානී අබේසේකර මහතා පවසයි.
ජාතික තවුහිද් ජමාත් සංවිධානය සහ සහරාන් පිළිබද පරීක්ෂණවලදී තමා වගකීම පැහැර හැර ඇති බවට චෝදනා කරමින්, වගඋත්තරකරුවන් අසාධාරණ පරීක්ෂණයක් අරඹා ඇති බවත්, ඒ ඔස්සේ ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ තමන්ව අත් අඩංගුවට ගැනීමට ඔවුන් කටයුතු කරමින් සිටින බවටත් ශානී අබේසේකර මහතා චෝදනා කරයි.