Thursday, September 19, 2024

ශේන් වෝර්න් වෙනුවෙන් මෙල්බන් ක්‍රිකට් ක්‍රීඩාංගණයේ එක් ප්‍රේක්ෂකාගාරයක් නම්කෙරේ

අභාවප්‍රාප්ත ඔිස්ට්‍රෙිලියානු සුපිරි ක්‍රිකට් ක්‍රීඩක ශේන් වෝර්න් වෙනුවෙන් මෙල්බන් ක්‍රිකට් ක්‍රීඩාංගනයේ එක් ප්‍රේක්ෂකාගාරයක් ඔහුගේ නමින් නම් කිරීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව ක්‍රීඩාංගනයේ දකුණු කොටසේ ප්‍රේක්ෂකාගාරය එස් කේ වෝන් ප්‍රේක්ෂකාගාරය ලෙස නම් කෙරෙනු ඇති.

ඕස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්ත රජය විසින් ඒ බව ශේන් වෝර්න්ගේ පවුලේ සාමාජිකයන් වෙත නිල වශයෙන් දැනුම් දී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

ශේන් වෝන් සිය 700 වන කඩුල්ල දවා ගනු ලැබුවේ මෙම ක්‍රීඩාංගණයේදීයි.

තිදරු පියෙකු වන ෂේන් වෝන් පසුගිය (4) සිකුරාදා හෘදයාබාධයක් හේතුවෙන් තායිලන්තයේ කෝ සමූයීහී සංචාරයක නිරතව සිටියිදී ජීවිතක්ෂයට පත් විය.ඔහු මිය යන විට 52 හැවිරිදි වියේ පසු වුණා.

ඔිස්ට්‍රේලියානු ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩක රොඩ්නි මාෂ් මිය ගියේද පසුගිය සිකුරාදා (4) දාය. ඒ වන විට ෂේන් වෝන් මිතුරන් කීප දෙනෙකු සමග තායිලන්තයේ සිය නිවාඩු නිකේතනයේ සිටියේය.එම වියෝවෙන් සැලී රොඩ් ගැන ශෝක සටහනක් සිය ට්විටර් පිටුවේ ෂේන් වෝන් පළ කර තිබූ අතර ජීවිතයේ අනියත බව කියා පාමින් ඉන් පැය කීපයකට පසු ෂේන්ද මෙලොව හැර ගියේ ක්‍රිකට් රසික ප්‍රජාව කම්පා කරමිනි.

මේ අතර සුපිරි දඟ පන්දු යවන්නෙකු වූ ෂේන් වෝන්ගේ හදිසි අභාවය පිළිබඳ දෙස් විදෙස් රාජ්‍ය නායකයින් මෙන්ම ප්‍රවීණ සහ වත්මන් ක්‍රිකට් ක්‍රීඩකයින් ද සිය සාතිශය සංවේගය පළ කර තිබුණා.

මෙි අතර ෂේන් වෝර්න්ගේ දේහය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය අද සිදු කරන බව වාර්තා වනවා.

මේ අතර විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ හෘදයාබාධයකට ලක්වූ බව කියන ෂේන් වෝන්ගේ මරණය සම්බන්ධයෙන් සැකකටයුතු කිසිවක් නොමැති බවයි.

ලෝක ක්‍රිකට් ඉතිහාසයේ බිහිවූ විශිෂ්ටතම දකුණතින් පා දඟ පන්දු යවන්නකු වන ෂේන් වෝන් මුත්තයියා මුරලිදරන්ට පෙර වැඩිම ටෙස්ට් කඩුලු වාර්තාව හිමිකරගනෙ සිටියේය.

වෝර්න් මිය යන විට 52 වැනි වියේ පසු වූ අතර ඔහු ලොව බිහි වූ ක්‍රිකට් විශිෂ්ටයකු මෙන්ම ක්‍රිකට් පුරාවෘත්තයක් ලෙස ද සැලකේ.

ටෙස්ට් තරග 145කට සහභාගී වෙමින් ඔහු බිඳ හෙළා ඇති කඩුලු සංඛ්‍යාව 708කි. 

වසර 15ක සිය ජාත්‍යන්තර ක්‍රිකට් දිවියේ දී ටෙස්ට් කඩුළු 708 ක් දවාගැනීමට ෂේන් වෝර්න් සමත් වූ අතර ඔහු දෙවැනි වන්නේ ශ්‍රී ලංකාවේ මුත්තයියා මුරලිදරන්ට පමණි.

ඔහු 1999 වසරේ ලෝක කුසලානය දිනූ ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ සාමාජිකයෙකි.

එමෙන්ම ඔහු 1993 වසරේ සිට 2003 වසර දක්වා අළු බඳුන ශූරතාව දිනූ ඔස්ට්‍රේලියානු කණ්ඩායම් පහක සාමාජිකයෙකි.

1992 දී ඉන්දියාවට එරෙහිව සිඩ්නි නුවරදී ටෙස්ට් ඉනිම ආරම්භ කරන වෝර්න් ක්‍රමයෙන් ලොව සාර්ථක පන්දු යවන්නෙකු බවට පත්විය. 

ඕනෑම පිතිකරුවෙකු සිය පන්දුවෙන් දණගස්වන වෝර්න් සිය ජීවිතයේ හොඳම පන්දු යැවීම සනිටුහන් කළේ 1994 දීය.

අළුබඳුන ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ එංගලන්ත පිතිකරුවන් අටදෙනකු ක්‍රීඩාගාරයට හරවා යවනු ලැබුවේ, ලකුණු 71කට කඩුලු 8ක් දවා ගනිමිනි.

1993 පැවති අළුබඳුන තරගාවලියේදී එංගලන්ත පිතිකරු මයික් ගැටින් දවා ගැනීමට, ෂේන් වෝන් යැවූ පන්දුව එවක හඳුන්වනු ලැබුවේ සියවසේ පන්දුව ලෙසය.

පා දඟ පන්දුවෙන් ක්‍රිකට් ලොව කැළඹූ මෙම සුපිරි පන්දු යවන්නා ටෙස්ට් කඩුලු 700 සීමාව පසු කළ ලොව පළමු පන්දු යවන්නා බවට පවත්වන්නේ 2006 වසරේ එංගලන්ත කණ්ඩායමට එරෙහිවය. 

පිතිකරුවන්ට දැඩි හිසරදක් වු වෝර්න් ලොව වැඩිම ටෙස්ට් කඩුලු ලාභීන් අතර දෙවැනි වන්නේ ශ්‍රී ලංකාවේ මුත්තයියා මුරලිදරන්ට පමණි.

වෝර්න් 1999 දී ක්‍රිකට් ලෝක කුසලානය දිනූ ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ ප්‍රබල සාමාජිකයෙකි.

එල්ල වූ තහනම් උත්තේජක චෝදනා හේතුවෙන් වෝර්න්ට 2003දී වසරක තරග තහනමක් පැනවෙන්නේ 2003 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ද අහිමි කරමිනි. 

ක්‍රීඩා ලෝලීන්ගේ වැඩි ආකර්ෂණයක් දිනාගත් වෝන් 2007 දී ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදෙන්නේ තම රට වෙනුවෙන් එක්දින තරග 194 ක් සහ ටෙස්ට් තරග 145ක් ක්‍රීඩා කොට ජයග්‍රහන රැසක් ගෙන දුන් විශිෂ්ටයෙකු ලෙසය.ඉන් අනතුරුව ඔහු ක්‍රිකට් විස්තර විචාරකයෙකු ලෙසද කටයුතු කළේය.

ෂේන් වෝර්න් දවාගෙන ඇති එක්දින කඩුළු සංඛ්‍යාව 293කි.

ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදුන්නත් 2008 දී පළමු ඉන්දියන් ප්‍රිමියර් ලීග් කිරුළ දිනා දීමට වෝර්න් සමත්වන්නේ, රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමට නායකත්වය දෙමිනි. 

වසර කිහිපයක් එම කණ්ඩායම නියෝජනය කළ වෝන් පසුව එම කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස  තම සුවිශේෂී අත්දැකීම් තරුණ ක්‍රීඩකයින්ට බෙදාදෙනු ලැබීය. 

සියලු ක්‍රිකට්වලින් ඉවත් වන මේ සුවිශේෂී පන්දු යවන්නා පසුව ක්‍රිකට් විස්තර විචාරයට ද එක්විය. 

මේ සුපිරි පන්දු යවන්නා 2013 ICC ක්‍රිකට් ඉතිහාසයේ ශ්‍රේෂ්ඨතම ක්‍රීඩකයින් පස්දෙනාගේ ලැයිස්තුවට ඇතුළත් වන්නේ, විස්ඩන් සඟරාව, නම් කළ 21 වන සියවසේ දක්ෂතම ක්‍රිකට් ක්‍රීඩකයෙකු ලෙසය. 

ඇතැම් අවස්ථාවල ප්‍රතිවාදී ක්‍රීඩකයන් සමග ආවේගශීලිව හැසිරුණු වෝන් අවස්ථා කිහිපයකදී ශ්‍රී ලංකා හිටපු නායක අර්ජුණ රණතුංග සමඟද උණුසුම් වචන හුවමාරුවල නිරත වුණි.

වෝර්න් පිටියේ ආවේගශී වුවත් විටෙක හොඳ මිතුරෙකි. විටෙක හොඳ සමාජ සේවකයෙකි. 

වරක් ඔහු ඔස්ට්‍රේලියාවේ ලැව් ගිනි මැඩ පැවැත්වීමට මූල්‍යමය දායකත්වයක් ලබාදෙන්නේ, තම ටෙස්ට් ක්‍රිකට් හිස්වැසුමද වෙන්දේසි කරමිනි. 

සුනාමිය අවස්ථාවේ ශ්‍රී ලාංකිකයින්ට අතදුන් නිසාම ෂේන් වෝර්න් පසුව අපට සමීප මිතුරෙකු වුණා.

ශ්‍රී ලංකාවට පැමිණි ඔහු මෙරට දරුවන් ඇතුළු මිනිසුන් සමඟ කටයුතු කළේ බොහෝ ලෙන්ගතු අයුරිනි.

මනුසත්කම ලොවට කියා පෑ මේ සුපිරි පන්දු යවන්නා 2004 සුනාමි ව්‍යයසනයේදී ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගනයට වූ හානිය සම්බන්ධයෙන් දැඩි කම්පනයට පත්වූ ක්‍රීඩකයෙකි. 

වෝර්න් සිය 500 වන ටෙස්ට් කඩුල්ල දවා ගත් මේ ක්‍රීඩාංගණය ප්‍රතිස්කරණයට සහ සුනාමියෙන් පීඩාවට පත් ජනතාවට සහන ලබාදීමට ඉදිරිපත්වී තිබුණි.

දඟ පන්දුවෙන් ක්‍රිකට් පිටිය උඩුයටිකුරු කළ මේ අසහාය පා දඟ පන්දු යවන්නාගේ වික්‍රමයන්  ක්‍රිකට් ලෝලීන් අතර සදා මතකයේ රැදෙනු ඇත.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles