Sunday, November 17, 2024

සංචාරකයින් ගෙන්වා ගැනීමට විශේෂ සැලසුම්

ශ්‍රී ලංකාවට වැඩි වශයෙන් සංචාරකයින් ගෙන්වා ගැනීම සඳහා ප්‍රධාන රටවල් 05ක් ඉලක්ක කර ගනිමින් විශේෂ ප්‍රවර්ධන වැඩසටහනක් කඩිනමින් ක්‍රියාත්මක කරන ලෙස සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා බලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා.

ඒ අනුව ප්‍රංශය, බ්‍රිතාන්‍ය, ජර්මනිය, ඉන්දියාව, රුසියාව යන රටවල මෙම ප්‍රවර්ධන කටයුතු සිදු කෙරෙනු ඇත.

ඊට අමතරව කසකස්තාන‍ය, යුක්රේනය සහ මැදපෙරදිග කලාපයේ ද ප්‍රවර්ධන කටයුතු කඩිනමින් ආරම්භ කරන ලෙස ද අමාත්‍යවරයා සංචාරක ප්‍රවර්ධන කාර්යංශයට උපදෙස් ලබා දුන්නා.

සංචාරක ප්‍රවර්ධන කාර්යංශයේ අධ්‍යක්ෂක මණ්ඩලය සහ ප්‍රධානීන් සමග ඊයේ (25) අමාත්‍යාංශයේ පැවැති සාකච්ඡාවකදීයි, අමාත්‍යවරයා මෙම උපදෙස් ලබා දුන්නේ.

ශ්‍රී ලංකාවට සංචාරකයින් ගෙන්වා ගැනීම සඳහා ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති ගෝලීය ප්‍රවර්ධන වැඩසටහනට අමතරව, මෙම විශේෂ ප්‍රවර්ධන වැඩසටහන ක්‍රියාත්මක කිරීමට කටයුතු යොදන ලෙසට ද ඇමතිවරයා මෙහිදී වැඩිදුරටත් උපදෙස් ලබා දී ඇති බවයි වාර්තා වන්නේ.

ඒ අනුව ඉදිරි මාස කිහිපය තුළ එම රටවල සංචාරකයින් ඉලක්ක කර ගනිමින් කෙටි කාලීන හා දීර්ඝ කාලීන ප්‍රවර්ධන වැඩසටහන් සංවිධානය කෙරෙනු ඇති.

සංචාරක නියෝජිත හමු මාධ්‍ය හා සමාජ මාධ්‍ය උපයෝගී කර ගනිමින් විශේෂ ප්‍රවර්ධන වැඩසටහන් මේ යටතේ ක්‍රියාත්මක කිරීමට නියමිතයි.

මෙරට සංචාරක නියෝජිත ආයතන සහ අදාළ රටවල සංචාරක නියෝජිත ආයතන සමග මුහුණට මුහුණ සාකච්ඡා සංවිධානය කොට මෙරටට සංචාරකයින් ආකර්ෂණය කර ගැනීම සඳහා කටයුතු කරන ලෙස ඇමතිවරයා මෙහිදී උපදෙස් ලබා දුන්නා.

මෙම ප්‍රවර්ධන කටයුතුවලදී ශ්‍රී ලංකාව කොවිඩ් එන්නත්කරණය සාර්ථකව සිදු කළ රටක් ලෙස පුළුල් ප්‍රචාරයක් ලබාදීමට ද, තීරණය කෙරුණා.

සංචාරක අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළේ, ඉදිරි මාස දෙක තුළ මෙරටට සංචාරකයින් වැඩි වශයෙන් ගෙන්වා ගැනීම සංචාරක සංවර්ධන අධිකාරියේ ඉලක්කය විය යුතු බවයි.

ආයතනයේ සියලු කටයුතු ඒ මත පදනම්ව ක්‍රියාත්මක කළ යුතු බව ද ඇමතිවරයා මෙහිදී අදාළ පාර්ශ්ව වෙත අවධාරණය කළා.

නිර්මාණශීලි අදහස් ඔස්සේ ඒ සඳහා නැවුම් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීම අත්‍යවශ්‍ය බවයි අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නේ.

පසුගිය ජනවාරි මාසයේ සිට ඔක්තෝම්බර් 24 වෙනිදා දක්වා මෙරටට සංචාරකයින් 54,768 පැමිණ ඇති අතර, පසුගිය සැප්තැම්බර් මාසයේදී සංචාරකයින් 13,547ක් මෙරටට පැමිණ තිබෙනවා.

ඔක්තෝම්බර් මාසයේ 01 වෙනිදා සිට මේ දක්වා සංචාරකයින් 16,451 දෙනෙකු පැමිණ ඇතැයි මෙම සාකච්ඡාවේදී අනාවරණය කෙරුණා.

ඉන්දියාව, එක්සත් රාජධානිය, පාකිස්ථානය, රුසියානු සමුහාණ්ඩුව, ජර්මනිය, මාලදිවයින, කැනඩාව , ප්‍රංශය, ඇමරිකාව, ඉන්දුනීසියාව යන රටවල් 10න් මෙම පිරිස පැමිණ ඇති බවයි සංචාරක අමාත්‍යාංශය පවසන්නේ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles