‘කෝවිලගේ විජය ඇන්ටනි කුමාරණතුංග’ නමින් 1945 ඔක්තෝබර් 09 වෙනිදා සීදුවේ දී උපන් ‘විජය කුමාරතුංග’ 1988 පෙබරවාරි 16 වෙනිදා දහවල් 12.20ට පමණ නාරාහේන්පිට පොල්හේන්ගොඩ පාරේ (වර්තමානයේ විජය කුමාරතුංග මාවත) ඔහුගේ නිවස ඉදිරිපිටදී මුහුණ සහ හිස සුනුවිසුණු වන පරිදි ම්ලේච්ඡ ලෙස වෙඩි තබා ඝාතනය කරනු ලැබීය. ඒ නීච තිරශ්චීන ඝාතනය මඟින් ඝාතකයන්ට විනාශ කළ හැකිවූයේ විජයගේ සුන්දරතම සිරුර පමණි. ඔහු එසේ මරා දමා විසිඅට වසරක් ඉක්මගොස් තිබියදීත් අදත් පවතින ඔහුගේ නාමය හෝ ඔහු පිළිබඳව ජනහදවත්හි ඇති ආදරණීය මතකය හෝ මරා දමන්නට ඝාතකයන්ගේ පසු පරම්පරාවන්ටවත් හැකි වී නැත.
කොටහේනේ ශාන්ත බෙනඩික්ට් විද්‍යාලයෙන් ලද අධ්‍යාපනයෙන් පසුව පොලිස් පරීක්ෂකවරයකු වන්නට සිතුවත් දෛවය විජයට නියෝග කළේ සිනමා නළුවකු වන ලෙසය. එම නියෝගය පිළිගත් ඔහු ප්‍රධාන නළුවකු ලෙස සිනමාවට එක්වෙන්නේ සුගතපාල සෙනරත් යාපා හැදූ ‘හන්තානේ කතාව’ චිත්‍රපටයෙනි.
පරීක්ෂණ මඩුල්ලක් ඉදිරියේ රංගන හැකියාව ඔප්පු කොට එම අවස්ථාව ලද විජය එවකට ජනප්‍රිය නළුවෙකු වූ ටෝනි රණසිංහ සහ ‘සත් සමුදුරෙන්’ රංගනයට අවතීර්ණ වී සිටි ස්වර්ණා මල්ලවආරච්චි සමඟ කරට කර රඟපෑවේය. එම චිත්‍රපටයේ තිරනාටකය ආචාර්ය ධර්මසේන පතිරාජ හා බර්ටි ජයසේකර සමඟ ලියන ලද්දේ වර්තමානයේ විශිෂ්ඨ ඡායාරූප ශිල්පියෙකු වන බර්ටි ගුණසේකර විසිනි. හන්තානේ කතාවේ සරසවි සිසු චරිතයට නවක විජය තෝරාගැනීමේ සිට විජයගේ මරණය දක්වා බර්ටි විජයගේ සමීපතම මිතුරෙක් විය. එම චරිතයට විජයගේ ක්‍රේල් කොණ්ඩය නොගැලපුනු බැවින් කොණ්ඩය කැප්පවීමේ කාර්යයද පැවරුණේ බර්ටිටය. සිය අලංකාර කොණ්ඩයට ඉතා ආදරය කළ විජය එය කපනවාට අකමැති වූ නමුත් චරිතය රඟපෑමට නම් එය කැපිය යුතුම විය. ඒ පිළිබඳව බර්ටි සතුව ඇති මතකය මෙසේය.
“විජේ කැමති උනේම නෑ කොණ්ඩය කපන්න. ඒත් චිත්‍රපටයට නොගැලපෙන බව කියල බලෙන් වගේ මම විජේව පේරාදෙණි කැම්පස් එකේ බාබර් සාප්පුවට අරන් ගියා. ලස්සන කැරළි කොණ්ඩය ටික ටික කැපෙද්දී විජේ අඬපු හැටි මට අද වගේ මතකයි. ඒ තරමටම තමන්ගෙ කොණ්ඩයට විජේ ආදරේ කළා.
‘හන්තානේ කතාව’ තිරගත වූයේ 1969 දීය. චිත්‍රපටය තිරගත වීමත් සමගම මේ අපූරු කඩවසම් නළුවා ගැන කව්රුත් කතා කරන්නට පටන් ගත්හ. ඔහු එක රැයින් ජනප්‍රිය වූ බව කීම මුසාවක් නොවේ. චිත්‍රපටය තිරගත වන්නටත් පෙර ඔහුට චිත්‍රපට රැසක රංගන අවස්ථා ලැබී තිබූ අතර තිරගත වීමෙන් පසුව ඒ තත්ත්වය දෙගුණ තෙගුණ විය. එතැන් සිට ඔහුගේ ගමන නැවැත්විය හැකි වූයේ 1988 දී දුෂ්ඨ තුවක්කුකරුවාට පමණි. ඒ වන විට ජනප්‍රිය විනෝදාත්මක සිනමාවේ ‘සූරයන්ගෙත් සූරයා’ ව සිටි ගාමිණී ෆොන්සේකා හා සමාන්තරවම විනෝදාත්මක සිනමාවේ ‘සුපෙම්වතා’ ලෙස පෙරට යන්නට විජයට හැකිවිය. ආකර්ෂණීය පෙනුම – සිත් බඳින කතා විලාසය හා එච්.ආර්. ජෝතිපාල යන්ගේ ගී හඬ රංගනය සමග ආත්මීය ලෙස බද්ධ වීම තුළින් විජය කුමාරතුංග නමැති එම සිනමා සුපෙම්වතා නැගී සිටි අතර සුවහසක් සිනමා රසික ජනතාවගේ ආදරණීය පිළිගැනීමට ඔහු පාත්‍ර වූයේය.
මේ දෑස කුමටද – හතරදෙනාම සූරයෝ – සැණකෙළිය – ආදරේ හිතෙනව දැක්කම – සංගීතා – තුෂාරා – වාසනා – හිතුවොත් හිතුවාමයි – උන්නත් දාහයි මළත්දාහයි – සුසී – සැලී – විශ්මය – පෙම්බර මධු – අංජානා – නැවත හමුවෙමු… ආදී වශයෙන් ඇදී යන එම චිත්‍රපට නාමාවලියේ අග හරියේ පෙරළිකාරයෝ – ජය අපටයි – ඔබටයි ප්‍රියේ ආදරේ – නොම්මර 17 හා මමයි රජා වැනි අතිසාර්ථක විනෝදාත්මක චිත්‍රපට පෙළ සිහිවේ. ඔහු මරා දමන මොහොත වන විට ‘ඔබටයි ප්‍රියේ ආදරේ’ තිරගත වෙමින් තිබූ අතර මරණය ගැන ඔහු පවසන දෙබස් සහිතව ඉන් පසුව තිරගතවූ ‘මමයි රජා’ චිත්‍රපටය උපරිම ආදායම් වාර්තා තබමින් තිරගත විය.
ස්වර්ණා මල්ලවආරච්චිගෙන් පටන්ගෙන සබීතා පෙරේරා දක්වා සියලු ප්‍රධාන නිළියන් සමග පෙම්වතා ලෙස රඟපෑමේ වරම් විජයට හිමිවිය. වැඩිම වාර ගණක් ඔහුගේ තිරයේ පෙම්වතිය වූ මාලිනී ෆොන්සේකා කලක් ඔහුගේ සැබෑ ජීවිතයේද පෙම්වතිය වූවාය. එම පෙම්කතාව විවාහයෙන් කෙළවර නොවූයේ විජය – මාලිනී විවාහය සිදුකරන්නට නියමිතව තිබූ දිනට පෙර දින විජයගේ වැඩිමහල් සොයුරු සිඩ්නි කුමාරතුංග (ජීවන් කුමාරතුංගගේ පියා) හදිසියේ මියගිය බැවිනි. තම මංගල ඇඳුම් කට්ටලය රැගෙන සීදූවට ගිය විජය එම ඇඳුමෙන් අයියාගේ දේහය සරසා අවසන් කටයුතු සිදු කළේය. නියමිත දිනයේ සිදු කරන්නට නොහැකි වූ විජය – මාලිනී විවාහය ඉන් පසුව කෙදිනකවත් සිදු නොකරන්නට දෛවය දැඩි තීන්දුවක් ගෙන තිබුණේය.
විනෝදාත්මක සිනමාවෙන් පරිබාහිරව කලාත්මක ධාරාවේ සිනමාපට තුළත් විජයගේ ප්‍රතිභා සම්පන්න රංගනය සටහන් විය. අහස්ගව්ව – පාර දිගේ – බඹරු ඇවිත් – පොඩිමල්ලී – කරුමක්කාරයෝ – බැද්දේගම – අහසින් පොළවට – මහගෙදර – මරුවා සමඟ වාසේ – කැඩපතක ඡායා – මධුසමය ඉන් කීපයකි. වසන්ත ඔබේසේකර අධ්‍යක්ෂණය කළ කැඩපතක ඡායා’ රංගනයට හොඳම නළුවා ලෙස සම්මානයට පාත්‍රවීමේ සුන්දර සිහිනයක් ඔහු තුළ තිබුණත් ඒ සිහිනය සැබෑ වූයේ මරණයෙන් පසුවය. එමෙන්ම තමන් ක්‍රිස්තුස් වහන්සේ ලෙස රඟපෑ ‘ක්‍රිස්තු චරිතය’ චිත්‍රපටය තිරගත වන තුරු ජීවත්වන්නටද තුවක්කුකරුවා ඔහුට ඉඩ නොදුන්නේය.
ආචාර්ය ප්‍රේමසිරි කේමදාසයන්ගේ මුල් යුගයේ ගීත නාටකවල ගී ගැයූ විජය ගායකයකු ලෙස බහුතර රසික ජනතාව අතරට ආවේ කෙනත් පෙරේරා නිපදවූ ‘සිල්වර්ලයින්’ තැටිවලට ගී ගයමිනි. රූස්ස ගහ ළඟ පාලු මාවතේ – ළඳුනේ මා හැර යනු මැන – එක වරක් ඔබට මා එපා නම් වැනි එම ගී තුළින් මියුරු හඬින් ගී ගැයීමට ඔහු තුළ පැවති හැකියාව සනාථ විය. පාරදිගේ චිත්‍රපටයට කේමදාස මාස්ටර්ගේම සංගීතයට ‘පාවෙලා යන පාර වටේ’ ගීය ගයමින් සිනමා ගී ලොවට ආ විජය ඉන්පසුව ගඟ අද්දර – ආරාධනා – හිමිකතර – ඉන්දුට මල් මිටක් වැනි චිත්‍රපටවලද ගී ගැයුවේය. 1987 ජූලි 7 වෙනිදා සිදු වූ ජෝතිගේ වියෝවෙන් පසුව තමන් වෙනුවෙන් තමන්ම පසුබිම් ගී ගැයීමේ තීරණය ගත් විජය ඒ අනුව ‘නොම්මර 17’ චිත්‍රපටයට ගැයූ ‘සීගිරි ලාලිත ළඳුනේ’ හා ‘පාට සරුංගල් වාගෙයි (ප්‍රෙඩී සිල්වා සමඟ) වැනි ගීත අදටත් ජනප්‍රියයි. ආදරයක හැඟුමක් (විශාරද මාලනී බුලත්සිංහල සමඟ) – බලන්න අරුණ සමඟ – සැරයටියෙන් අපි (චන්ද්‍රලේඛා, සමඟ) – දඟගෙයි දඬුවම් – රැල්ලෙන් රැල්ලට දේවදාර ගස් අතරින් – කරඹ යායේ.. ආදී වශයෙන් ගායක විජය ගැයූ බොහෝ ගීතද රසික ජනතාව අතර ජනප්‍රියත්වයට පත්විය.
“මං බලාපොරොත්තු වෙනවා හොඳම ගායකයා හැටියට සම්මානයක් ලබන්න…. යනුවෙන් 1987 දී විජය මා සමඟ පැවසුවේ ‘සත්සර’ සංගීත පුවත්පතට ඔහු සමඟ සාකච්ඡා කළ අවස්ථාවකය. විජයගේ ඒ කතාවට අ පේ ගී ලොවේ ඇතැම් විශාරද ගායකයන් කුපිත වූ බව මට මතකය. එහෙත් හොඳම ගායකයා ලෙස සම්මාන ලැබීමේ විජයගේ සිහිනය දෙවරක්ම සැබෑ වූයේ ‘දොළොස්මහේ පහන’ (සරාගුවන විදා) හා ‘සහරාවේ සිහිනය’ (වලාකුළක් ගෙන මුවාකරමු හිරු’ යන චිත්‍රපටවලදීය.
සිනමාවට ආ මුල් යුගයේ සිටම ලංකා සමසමාජ පක්ෂයේ දේශපාලනයට ඇලුම් කළ විජය පසුකාලයක ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දේශපාලනය හා එක් විය. 1975 දී පමණ කටාන අතුරු මැතිවරණයට එම පක්ෂයෙන් තරඟකළ ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේට සහාය දැකුවූ විජයට සතුරන් විසින් කඩුවලින් කපා නළල තලා හිස් මුදුන් ප්‍රදේශයේ කෙස් උගුල්ලා තුවාල සිදු කරනු ලැබීය. 1977 දී කටාන අසුනට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් තරඟකළ විජය එවර විජයපාල මෙන්ඩිස්ට පරාජය විය. එහෙත් සෙසු පක්ෂ ප්‍රබලයන්ට වඩා විශාල ඡන්ද සංඛ්‍යාවක් ඔහු ලබා තිබුණි. ඉන්පසුව පැවති මහර අතුරු මැතිවරණයේදී ඡන්ද 45කින් ඔහු පරාජය කරනු ලැබූ අතර කුමන්ත්‍රණකාරීන්ට එසේ කළ හැකි වූයේ සිය පක්ෂයෙන්ම කරනු ලැබූ කෙණෙහිලිකම් නිසාය. මින්නේරිය අසුන තරඟ කරද්දීද සිදු වූයේ එයය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අත හැර සිය බිරිඳ චන්ද්‍රිකා සමඟ ශ්‍රී ලංකා මහජන පක්ෂය පිහිටුවා කෙටි කලකින් විශාල ඉදිරි ගම නක් යාමට විජය සමත්විය. මානව හිතවාදී දේශපාලකයකු ලෙස බහුතර ජනතාව ඔහු පිළිගත් අතර බිහිසුණු යුද්ධය පිටුදැක සැබෑ සාමයක් ඇති කිරීමේ අවශ්‍යතාවය අවධාරණය කරමින් විජය LTTE සංවිධානය සමඟ සාකච්ඡාවන්ට යාපනයට පමණක් නොව මදුරාසියටද ගියේය. වමේ සමගිය ගොඩ නගා සෙසු පක්ෂ සමඟ එකතුවී ‘එක්සත් සමාජවාදී පෙරමුණ’ පිහිටුවාගෙන තිබූ අතර එහි ජනපති අපේක්ෂකයා ලෙස 1988 පෙබරවාරි 21 වෙනිදා විජයව නම් කරන්නට නියමිතව තිබුණේය. එහෙත් ඊට දින පහකට පෙර ඔහු ඝාතනය කෙරුණි. එම පෙබරවාරි 21 වෙනිදා ඔහුගේ අවමඟුල නිදහස් චතුරශ්‍රයේදී පවත්වන ලදී.
ඔහු මරා දැමූදා සිට චිතකය දැවෙන මොහොත දක්වා මේ රටේ ලක්ෂ සංඛ්‍යාත වාර්තාගත ජනකායක් ආදරණීය විජයට අවසන් බුහුමන් පිදුවේ ඝාතනයට අණ දුන්නන් පවා අන්දමන්ද කරමිනි. පොල්හේන්ගොඩ නිවස ඉදිරිපිටදී යශෝධරා දියණිය හා විමුක්ති පුතු තම පියාගේ දෑතේ දැවටී සිටියා. එල්ල වූ වෙඩි වරුසාවෙන් විජය ඇද වැටුණේ සිඟිතිදරු දෙදෙනා ඈතට තල්ලු කරමිනි. එසේ වෙඩි කා ඔහු වැටුනු පසුවත් මෝටර් සයිකලය වෙත ගොස් සිටි ඝාතකයා යළි පැමිණ ඔහුගේ හිස හා මුහුණ සම්පූර්ණයෙන්ම විනාශ වන සේ තවත් වෙඩි වරුසාවකින් නහවන ලදී. විශිෂ්ඨ සිනමා වේශ නිරූපන ශිල්පී ඊබට් විජේසිංහ විජයගේ මළ සිරුරේ මුහුණ ජීවමාන ආකාරයට ඉතා සමීප තත්ත්වයෙන් සැකසුවත් බිරිඳ චන්ද්‍රිකාගේ අදහස වූයේ ජනතාවට සත්‍යය ප්‍රදර්ශනය කළ යුතු බවය. ඒ අනුව විජයගේ දේහයේ මුහුණ හා උඩුකය ආවරණය කොට අවසන් බුහුමන් සඳහා තබනු ලැබීය. එවැනි අවස්ථාවක්ද ඊට පෙර ප්‍රභූ මරණයක් සම්බන්ධයෙන් වාර්තා වී නොමැත.
විජය කුමාරතුංග නමැති මානව හිතවාදියා සමස්ත මනුෂ්‍ය සංහතියට ආදරය කළේය. එය බහුතර දේශපාලකයන් පෙන්නුම් කරන ආකාරයේ ව්‍යාජ රංගනයක් නොවේ. වරක් අනුරාධපුර ගල්ගමුව ප්‍රදේශයේ පුද්ගලයකුට වකුගඩු ශල්‍ය කර්මයක් කරගැනීම සඳහා ඔහු අතිවිශාල මුදලක් ලබා දී ඇත්තේ පෞද්ගලික දැනහැඳුනුමකින් තොරවය. එයද බිරිඳ චන්ද්‍රිකා පවා දැනගත්තේ විජය මළ පසුවය. දිනපතා තමන් සොයා එන අසරණ ජනයාට හැකි අයුරින් ඔහු පිහිට විය. කිසිවක්ම දෙන්නට නොතිබූ දිනක පැමිණි දුගියෙකුට ඔහු තම රුව සහිත දිනදර්ශන ලබා දුන්නේ ඒවා අලෙවි කර හෝ මුදලක් සොයාගන්නා ලෙස පවසමිනි. සිංහල සිනමාවේ සහෝදර නළු නිළියන්ගේ දියුණුව ඔහුගේ පැතුම විය. එවැන්නන් නිපදවූ බොහෝ චිත්‍රපටවල ඔහු නොමිලේ රඟපෑවේ තමන්ගේම වාහනයේ පැමිණ තමන්ගේම ඇඳුම් පැළඳුම්වලින් සැරසෙමිනි. විජයට කොතෙක් මිනිසුන් ඇලුම්කළේද කියතොත්අනුගාමිකයෙක් කලාභවනේ ඔහුගේ දේහය ඉදිරිපිටදී සිරුරට පෙට්‍රල් හලාගෙන ගිනිතබාගෙනමිය ගියේ “ විජේ මහත්තයා නැතුව ජීවත්වෙලා වැඩක් නෑ…” කියමිනි. ඔහු මරා දැමූදා සිට ශෝකයෙන් යුතුව ආහාර නොගෙන මත්පැන් පමණක් පානය කරමින් සිටි නුගේගොඩ ඡායාරූපශිල්පියෙක්ද විජයගේ ආදාහනයෙන් ස්වල්පදිනකට පසුව මිය ගියේය.
සිය දයාබර මෑණියන් ක්ලේරා බියට්‍රිස් කුමාරතුංගට විජය දැක්වූයේ අසීමිත ආදරයකි. වැඩකටයුතුවලට කොළඹින් පිට නොගියේ නම් ඇගේ අතින් බත් කටක් කන්නට මේ ‘යෝධ මිනිසා’ කිරිදරුවකු සේ ඇයසොයා එයි. නැක් සලයිට් චෝදනා මත සිරගත කළ විටද විජය සිරමැදිරියේ සිට ලියුම් ලිව්වේ සිය මවට සහ විමුක්ති පුතුටය. විමුක්ති පුතුට එම නම ඔහු යෙදුවේද විමුක්තිය නොහොත් නිදහසට ඔහු දැඩිව ඇලුම් කළ නිසාය සියලු පීඩිතයන්ට විමුක්තිය ලබාදීමේ අරමුණ හැර කිසිදු, පෞද්ගලික ලාභ අපේක්ෂාවක් විජයගේ දේශපාලනය තුළ නොවීය.
‘විජය කුමාරතුංග’ නමැති මේ සොඳුරු ජනකාන්ත නළුවා – ප්‍රතිභාසම්පන්න ගායකයා නිර්මල දේශසේවකයා _ උත්තුංග මානව හිතවාදියා ළෙන්ගතු හිතවතා හුස්මගත් යුගයේ ජීවත්වන්නට ලැබීම අපගේ වාසනාවකි. ඔහු නොමැති දේශයේ ජීවත්වන්නට සිදුවීම බරපතළ අවාසනාවකි. ඉතිහාසය වෙනස් කරන්නට සිටි මිනිසා මරා දැමීමේ පාපය ශාපයක් වී හඹා ආවේය. රට යුද ගින්නේ දැවුණේය. ඒ ගිනිදැල් නිවී සංහිඳියාවේ පහන් දැල්වෙමින් තිබේ. සිහිනයක් සේ පැමිණ සිහිනයක් සේ මැකී ගිය ආදරණීය විජය සංහිඳියාවේ ආලෝකය අතරින් යළි යළිත් මැවී පෙනේ.
ආනන්ද පද්මසිරි