Monday, January 13, 2025

සජබය, එජාපය බිත්තර ප්‍රහාරය හෙළා දකී

ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා ඉලක්ක කරමින්  එල්ල කළ බිත්තර ප්‍රහාරය රටේ ප්‍රධාන විපක්ෂය ලෙස සමගි ජනබලවේගය හෙලා දකින බව සමගි ජනබලවේගයේ උප සභාපති ගයන්ත කරුණාතිලක පවසයි.

කුණු බිත්තර වලින් දමා ගැහුවත් වෙඩි උණ්ඩ, බෝම්බ ප්‍රහාර එල්ල කළත් කලින්කලට එල්ල වන මෙවැනි ප්‍රචණඩ ක්‍රියා  කිසිලෙසකින්වත් අනුමත නොකරන බව හෙතෙම පවසයි.

යල් පැනගියදේ කරමින් නූතනයේ දේශපාලනය කළ නොහැකි බව  මෙවැනි පහත් ක්‍රියා සිදුකළ අය තේරුම් ගත යුතුව ඇතැයිද ඔහු සඳහන් කරයි.

දේශපාලනයේ නිරත විම සඳහා ප්‍රජාතන්ත්‍රවාදී නිදහස සියලු දෙනාට තිබිය යුතු බැවින් එම අයිතිය ආරක්ෂා කිරීම ආණ්ඩුවේ වගකීම යැයිද හෙතෙම පැවසීය.

මේ පිළිබඳ ස්වාධීන විමර්ශනයක් කර වැරදිකරුවන්ට තරාතිරම නොබලා දඬුවම් පැමිණවීමට ආණ්ඩුව කටයුතු කළ යුතු බවත් ඔහු වැඩිදුරටත් පෙන්වා දෙයි.

මෙි අතර ජනතා විමුක්ති පෙරමුණේ ගම්පහ දිස්ත්‍රික් රැස්වීමට එල්ලවුණු බිත්තර ප්‍රහාරය ශිෂ්ට සම්පන්න සමාජයකට නොගැලපෙන ක්‍රියාවක් යැයි එක්සත් ජාතික පක්ෂ මහලේකම් පාලිත රංගේ බණ්ඩාර පවසයි.

මෙවැනි ක්‍රියා බිත්තර ප්‍රහාරවලින් ඇරැඹී සාහසික ක්‍රියා දක්වා ගමන් කිරීමටද බැරි කමක් නැති බවකී හෙතෙම මේ ක්‍රියාවට ආණ්ඩුව සම්බන්ධ නම් සාධාරණ විමර්ශනයක් බලාපොරොත්තු විය නොහැකි බවද සඳහන් කරයි.

මෙවැනි දේ සිදු කරන පුද්ගලයන් පිළිබඳව නීතිය ක්‍රියාත්මක කිරීම ආණ්ඩුවේ වගකීම බවත් ආණ්ඩුව මේ සම්බන්ධව හැසිරෙන විදියෙන් “අඹ කෑ මිනිහාගේ  මොලේ දනවා” යන කතාව සිහිපත් වන බවත් රංගේ බණ්ඩාර මහතා පවසයි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ  මිනිසුන්ගේ අයිතීන් පිළිබඳව සඳහන් කර තිබුණාට ප්‍රමාණවත් නැති අතර එම අයිතීන් ප්‍රායෝගිකව විඳින්නට අවස්ථාවක් ලබා දිය යුතු බව කී එජාප මහලේකම්වරයා අනුර කුමාර දිසානායක මහතාට පමණක් නොව ඕනෑම කෙනෙකුට අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය තිබෙන අතර එම නිදහස භුක්ති විඳිද්දී මෙවැනි සාහසික ප්‍රහාරවලට ලක් නොවිය යුතු බවද පැවසීය.

පිටකෝට්ටේ සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවේ  මාධ්‍යවේදියෙකු ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු ලෙස ඔහු මෙම අදහස් පළ කළේය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles