Friday, January 10, 2025

සත්‍ය සංඛ්‍යා ලේඛන වසන් කළොත් වසංගතය පාලනය කරන්න බෑ – එ.ජා.ප. සභාපති

අවසානයේ කුමන සංඛ්‍යා ලේඛන ඉදිරිපත් කළත් සත්‍ය සංඛ්‍යා ලේඛන වසන් කළ නොහැකි බවත් සත්‍යයෙන්ම මේ වසංගතය පාලනය කිරීම සඳහා මුහුණ දිය යුතුව තිබෙන බව එක්සත් ජාතික පක්ෂ සභාපති, හිටපු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා පවසයි.

අද (29) දින Zoom තාක්ෂණය ඔස්සේ ගාල්ල දිස්ත්‍රික්කයේ එක්සත් ජාතික පක්ෂ සංවිධායකරුවන් දැනුවත් කිරීමේ අවස්ථාවකට එක් වෙමින් හෙතෙම මේ බව පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ වජිර අබේවර්ධන මහතා,

“මේ රටේ සිටින විශේෂඥ වෛද්‍යවරුන්, වෛද්‍යවරුන්, හෙද කාර්යය මණ්ඩල ඇතුළු සියලු දෙනා දීර්ඝ කාලයක් තිස්සේ මතක් කර සිටියේ රටේ තිබෙන සම්පත් ප්‍රමාණයක්, රටේ තිබෙන සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ධාරිතාවය ඉක්මවා ‍නොයන පරිදි ජන ජීවිත ආරක්ෂා කිරීම සඳහා පියවර ගත යුතු බවයි. ඒ අනුව විවිධ තර්ක තියෙන්න පුළුවන්, විවිධ ආර්ථික න්‍යාය පත්‍ර තියෙන්න පුළුවන්, විවිධ අදහස් යෝජනා තිබනේන පුළුවන්. නමුත් අවසානයේ අපි බලන්න ඕන පළමු වැනි වැදගත්ම සම්පත මානව සම්පතයි. එය දිනෙන් දින සමාජයට වැඩ කළ හැකි ජීවිතත් නැති වෙනවා. විවිධ මට්ටම් වලින් සමාජයට වග කියන සියලු ජීවිතත් නැති වෙමින් පවතිනවා. කිලී මහරාජා වැනි සමාජය පෝෂණය කළ හැකි පුද්ගලයන් ජාතියට අහිමි වෙනවා.

මංගල සමරවීර වැනි දේශපාලඥයන් දෑස් ඉදිරියේම ගිලිහී යනවා. තවත් වටිනා ජීවිත ඒ ඒ තරාතිරම් අනුව නැතිවීගෙන යනවා. එදිනෙදා ජීවිතය යම් කැප කිරීමක් කළ යුතුව තිබෙනවා. ඒ නිසා තමයි එක්සත් ජාතික පක්ෂයේ නායක හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අපට මාස පහකට පමණ ඉහතදී උපදෙස් දුන්නේ මේ වෙලාවේ කවුරු විරෝධතා කළත් අපේ පක්ෂය විරෝධතා වලට යන්න එපා. මේක විරෝධතා කරන වෙලාවක් නොවේ. එන්න එන්නම භයානක තත්ත්වයකට පත්වෙනවා. බයකර තත්ත්වයකට පත්වෙනවා. දැන් කටයුතු කරන්න ඕන ජීවිත ආරක්ෂා කර ගැනීමටයි. ජීවිත ආරක්ෂා කරගන්නවා නම් ආර්ථිකයක් ගොඩනගන එක සුළු කාරණයක් හැටියටයි එක්සත් ජාතික පක්ෂය දකින්නේ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඩොලර් කෝටි 72 මුදල ලංකාවට ලබා ගත හැකියි

ඒ නිසා තමයි එක්සත් ජාතික පක්ෂය විකල්ප යෝජනා ඉදිරිපත් කරලා තිබෙන්නේ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඩොලර් කෝටි 72 ක මුදල් ප්‍රමාණයක් ශ්‍රී ලංකාවට ලබා දීමට සූදානමින් ඉන්නවා. එය ලබා ගත යුතුයි. මහජනතාවගේ ආරක්ෂාව සඳහා. ඒවා ලබා ගන්නත්  මානව  සම්පත  රැක ගත යුතුව  තිබෙනවා.  කවුරු හරි  හිතනවා නම් එක්සත්

ජාතික පක්ෂය රනිල් වික්‍රමසිංහ මහතා කර්මාන්ත ඇමති කාලේ ගොඩනගපු නිදහස් කලාප රටේ ප්‍රධාන විදේශ විනිමය ලැබෙන ආදායම් මාර්ග කටුනායක නිදහස් වෙළඳ කලාප, කොග්ගල නිදහස් වෙළඳ කලාප, බියගම නිදහස් වෙළඳ කලාප සහ ප්‍රාදේශීය මට්ටමේ නිදහස් වෙළඳ කලාප ඇති කළේ එක්සත් ජාතික පක්ෂයයි. ආදායම් මාර්ග හදලා දුන්නේ එක්සත් ජාතික පක්ෂයටයි. යම් විදියකට ආදායම් මාර්ග අහිමි වුනොත් ආදායම් මාර්ග හදලා දෙන්න පුළුවන් එක්සත් ජාතික පක්ෂයයි. එය මෙහෙයවිය හැකි නායකත්වය රනිල් වික්‍රමසිංහයි.

ජන ජීවිත රැක ගැනීම රජයේ ප්‍රධාන වගකීමක්

ඒ නිසා තමයි වගකීමක් ඇතුව රනිල් වික්‍රමසිංහ මහතා යෝජනා කළේ තව සති දෙකක් වහාම දික් කළ යුතුයි කියලා. සියලුම රෝහල් පිරී ඉතිරිලා ගිහින්. ඔක්සිජන් ලබා ගැනීමට රෝහල් තුළ තරඟයක් ඇති වෙලා තිබෙනවා. එක් ලෙඩෙක් මිය ගියොත් තමයි අනිත් ලෙඩාට ඔක්සිජන් ලබා ගන්න පුළුවන්. මෙවැනි බැරෑරුම් තත්ත්වයකදී අපේ යුතුකම තිබුණත් මොන තරම් අඩු පාඩුකම් මැද්දෙ හරි රජයට ලබා දිය හැකි ජනතාව ආරක්ෂාව කළ හැකි ක්‍රියාමාර්ගවලට රජය පිවිසිය යුතුයි. අඩු පාඩු තිබුණත් පෙන්වා දෙනවා හැරෙන්නට වෙන යමක් සිදු නොකළ යුතුයි. ඒ අනුව අපි මේ බැරෑරුම් අවස්ථාවේදී වගකීමෙන් යුතුව ක්‍රියා කළ යුතුයි. අපි පක්ෂයක් හැටියට අඩු පාඩු පෙන්වා දෙනවා. නමුත් ජන ජීවිත ආරක්ෂා කිරීම සඳහා රජය සහයෝගය දිය යුතුයි. සෑම ජීවිතයක්ම වටිනවා. පළමු වටිනාකම වෙන කිසිවකට නොව මනුස්ස ජීවිත වලට ලබා දිය යුතුයි. ඒ සඳහා රටක් මසක් වසා තැබීමට සිදු වුවද එයත් කළ යුතුයි. එයයි රජයක වගකීම, එයයි පාලකයන්ගේ වගකීම, එයයි අපි සිදු කළ යුතු ප්‍රධාන කාරණය.

රජයට වැරදි පෙන්වා දී ජනතාවට සත්‍යය පෙන්වා දීම එක්සත් ජාතික පක්ෂයේ යුතුකමක්

අවසානයේ කුමන සංඛ්‍යා ලේඛන ඉදිරිපත් කළත් සත්‍ය සංඛ්‍යා ලේඛන වසන් කළ නොහැකියි. කලක් එම විෂය භාරව හිටපු අමාත්‍යවරයා ලෙස ඒ පිළිබඳ මනා අවබෝධයක් අප සතුව තිබෙනවා. එම නිසා සත්‍යය වසන් නොකළ යුතුයි. බොරුවක් දිගටම ගෙන යා නොහැක. සත්‍යයෙන්ම මේ වසංගතය පාලනය කිරීම සඳහා මුහුණ දිය යුතුව තිබෙනවා. එහි අඩුපාඩුකම් පෙන්වා දීම මේ රට පාලනය කරපු ප්‍රධාන දේශපාලන පක්ෂයක් ලෙස අපේ වගකීම්. එයා පෙන්වා දීම ජනතාවට කළ හැකි උපහාරය යි.” යැයි කීය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles