Thursday, December 26, 2024

සදාම්ගේ දුව කරළියේ

ඇය, ඉරාකයේ හිටපු ජනාධිපති සදාම් හුසේන්ගේ වැඩිමහල් දියණිය රගාද් හුසේන්ය. සිය පියාට සහාය දැක්වූ එම වැඩපිළිවෙළට පක්ෂපාතී චරිතයක් ලෙස ප්‍රකටව සිටි ඇය ‘පුංචි සදාම්’ යනුවෙන්ද හැඳින්වූවාය. අමෙරිකානු ආක්‍රමණයෙන් ඉක්බිති සදාම්ගේ පාලනය අවසන්වී ඔහු මරාදැමීමත් සමඟ රගාද් සහ පවුලේ කිහිප දෙනකු ජෝර්දානයේ දේශපාලන රැකවරණ ලැබූහ. ඉරාකයේ නිර්මාණය වූ අස්ථාවර මෙන්ම අරාජික වාතාවරණය යටතේ අයි. එස්.අයි. එස්. ත්‍රස්තවාදීන් එහි බලය අත් කරගැනීමට දරන ප්‍රයත්නයට සහාය පළ කරන්නකු ලෙසද පසුගිය වකවානුවේ රගාද් ප්‍රකට වූවාය. ත්‍රස්තවාදී කණ්ඩායම් සමඟ සම්බන්ධතා ඇත යන චෝදනාව යටතේ 2010 වසරේදී අන්තර්ජාතික පොලිසිය මඟින් ඇයට වරෙන්තුවක් ද නිකුත් කෙරුණි. ආන්දෝලනාත්මක චරිතයක් වනවාට අමතරව, රගාද් සිය වෙනස් ජීවන රටාව නිසාද ප්‍රසිද්ධියට පත්වූවාය . ප්ලාස්ටික් සැත්කම් සඳහා රුචිකත්වයක් දක්වන්නියක ලෙසද ප්‍රකටව සිටින ඇය ස්වර්ණාභරණ විලාසිතා සැලසුම්කරණයටද නමක් දිනා සිටී. මේ සියල්ලට අමතරව දැන් ඇය යළිත් කරළියට පැමිණ සිටින හේතුව, ඉදිරි මැතිවරණයෙන් පාර්ලිමේන්තුවට පිවිසීමට ඇති සූදානමත් සමඟය.

මීළඟ මහමැතිවරණය 2018 වසරේදී පැවැත්වීමට නියමිතව ඇති අතර රගාද් හුසේන්. ඊට තරග කරනු ඇතැයි මීට දින කිහිපයකට පෙර මාධ්‍ය වා‍ර්තා කළේය. මේ වනවිට 48 හැවිරිදි වියේ පසුවන ඇයට සමාව ලබාදිය යුතුය යන යෝජනාවක් ඉකුත් මාසයේදී ඉරාක පාර්ලිමේන්තුවේ සම්මත විය. රගාද් සහ සදාම් පවුලේ සාමාජිකයන් කිහිප දෙනකුට එරෙහි අධිකරණමය ක්‍රියාමාර්ග සඳහා ඔවුන් තම රටට ලබා දෙන ලෙස මැයි මාසයේ දී ඉරාකය කළ ඉල්ලීම් ජෝර්දාන් රජය ප්‍රතික්ෂේප කළේය. රහාද් සහ ඇයගේ බාල සොහොයුරියන් දෙදෙනාත් ඔවුන්ගේ මව සජීදාත් ජෝර්දානයේ අබ්දුල්ලා රජුගේ මැදිහත්වීම යටතේ එරට රැකවරණය යටතේ ජීවත් වෙති.

ඉරාකයේ කැරැලිකරුවන්ට සහාය දක්වන බවට රහාද්ට චෝදනා එල්ලවූයේ මීට දසවසරකට ඉහතදීය. 2010 වසරේදී පැවැති මැතිවරණ කඩාකප්පල් කිරීම අරමුණු කරමින් සිදුකළ ත්‍රස්තවාදී බෝම්බ ප්‍රහාර සමඟ ඇයට සෘජු සම්බන්ධයක් තිබූ බව ඉරාක රජයේ චෝදනාවයි. මේ යටතේ එරට මධ්‍යම අපරාධ අධිකරණය මඟින් ඇයට එරෙහිව වරෙන්තු ද නිකුත් කර තිබුණි.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ ‍රගාද් සහ සදාම් පවුලේ සෙසු සාමාජිකයන් ජෝර්දානයේ සැපවත් ජීවිතයක් ගත කරන බවයි. රගාද් ස්වර්ණාභරණ කර්මාන්තයට යොමුව සිටින අතර ඇගේ මෝස්තරවලට ජෝර්දානයේ ස්වර්ණාභරණ අලෙවිසල්වලට ඉල්ලුමක් ඇතැයි පැවසේ. ‘මේල් ඔන්ලයින්’ වරෙක පළකළ වාර්තාවකින් කියැවුණේ, ඉරාකයේ හැඩැති පෙන්ඩනයක් ඇ.ඩො. 1000කට මිල කර තිබූ බවයි. එම පෙන්ඩනයේ දියමන්තිය ඔබ්බවා තිබුණේ බැග්ඩෑඩය මතය. මේ ගැන විමසූවිට ඇය පවසා තිබු­ෙණ්ය, බැග්ඩෑඩය ඉරාකයේ හදවතය. මං දියමන්තිය නිසි තැන තැබුවා. එය වෙනස් කිරීමට ඔබට අවශ්‍ය නම් එසේ කළ හැකියි..’ යනුවෙනි.

එම දියමන්තිය බොහෝ කලකට ඉහතදී සිය පියාගෙන් ලද ත්‍යාගයක් බවත් මෑතක් වනතුරු ම තමා එය පරෙස්සමින් රැකගත් බවත් ඇය කියා තිබුණි. එම ස්වර්ණාභරණ එකතුවට අයත් වූ කරාබු යුගලයක් ගැන ඇය පැවසුවේ එය තම දියණියක වෙනුවෙන් නිමැවූවක් බවයි. එය තැනීමට ඇය භාවිත කර තිබුෙණ් සිය සැමියාගෙන් ලද මුදුවකි. එම පැහැදිලි කිරීම්වලින් පෙනෙන පරිදි අදාළ ස්වර්ණාභරණ එකතුවට ඇත්තේ ඉහළ වැදගත්කමකි.

සදාම් හුසේන් ඉරාකයේ ජනාධිපති පදවියට පත්වන විට රගාද් දස හැවිරිදි දැරිවියකට සිටියාය. 26 හැවිරිදි යුවතියක වනවිට ඇය දරුවන් පස් දෙනකුගේ මවකි. අලී සදාම් සහ වහීජ් නමැති පුතුන් දෙදෙනකුද හාරිස් සහ බනාස් නමැති දියණියන් දෙදෙනකුද ඇයට සිටිති.

රගාද් විවාහ වී සිටියේ හුසේන් කමල් අල් වජීඩ් සමඟය. ඉරාක පාලන තන්ත්‍රයේ ප්‍රබලයකු ලෙසද ඔහු ප්‍රචලිතව සිටියේය. ඉරාකයේ අවි රහස් එක්සත් ජාතීන්ගේ අවි නිරීක්ෂකයන්ටත් CSA සහ m/6 ඔත්තු සේවාවන්ටත් ලාබදුන් බවට ඔහුට චෝදනා එල්ල වී තිබුණි. මේ හේතුවෙන් ද්‍රෝහියකු ලෙස හඳුනාගෙන තිබූ ඔහු සොහොයුරාද සමඟම ඝාතනයට ලක්විය. රගාද් සොයුරිය විවාහ වී සිටියේ හුසේන්ගේ එම සොහොයුරා වූ සදාම් කමාල් සමඟය. ඔවුන් සියල්ලන්ගේ ඉරණම වේදනාකාරී එකක් විය.

රගාද් ප්‍රචලිතව සිටින්නේ පියා ගිය මඟ යන චරිතයක් ලෙසිනි. සදාම්ගේ බාත් පක්ෂයේ ආධාරකරුවන් ඉරාක රජයට එරෙහි සටන්කාමී කැරැලි කණ්ඩායම්වලට සහාය පළ කරති. රගාද් ද ප්‍රසිද්ධියේම ඊට පක්ෂව සිය අදහස් දක්වා තිබේ. මීට දෙවසරකට පෙර සදාම්ගේ උපන් ගම වන ටික්රිට් ප්‍රදේශය කැරැලි කණ්ඩායම්වල ග්‍රහණයට නතුවීමත් සමඟ ඇය කියා සිටියේ එය තම පියාගේ සටන්කරුවන් සහ මාමණ්ඩිය වූ ඉෂත් අල් දූරි ලැබූ ජයග්‍රහණයක් බවය.

මේ පසුබිම යටතේ උදහසට ලක්වී සිටියද රගාද් පසුබා ඇති බවක් පෙනෙන්නේ නැත. සදාම් හුසේන් මරණයට පෙර ප්‍රකාශ කළේ ආක්‍රමණිකයාට සහ මව්බිමේ සතුරන්ට එරෙහිව සටන්කරන ලෙසය. ඔහුගේ ආධාරකරුවන් මෙන්ම රගාද් ද ඒ මඟ තෝරාගෙන ඇති බව පෙනෙන්නට තිබෙනවා. ඉරාක ආක්‍රමණය සිදුවනවිට රගාද් අමෙරිකාවට වඩාත්ම අවශ්‍ය තැනැත්තන්ගේ ලැයිස්තුවේ 16 වැනියා ය. 17 වැනි තැන සිටියේ ඇයගේ මවයි. මේ ලැයිස්තුවේ සිටි අයගේ ඡායාරූප සහිත කාඩ්කුට්ටම් අමෙරිකානු හමුදා සෙබළුන් අතර බෙදාදී තිබුණේ ඔවුන් හඳුනා ගැනීමට සහාය වනු පිණිසය.

රගාද්ට ඉදිරි මැතිවරණය තරග කළ හැකි වනු ඇතිද එය ජයගත හැකිවනු ඇත්ද වැනි ප්‍රශ්නවලට පිළිතුරු කාලය විසින් ලබාදෙනු ඇත. ඒ පිළිතුරු අනුව ඉරාකයේ අනාගතයට ඇය කොපමණ බලපෑමක් කරනු ඇති ද යන්නද තීරණය වනු ඇත

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles