සඳහිරු සෑය සමස්ත ලෝකවාසී සැදැහැවතුන්ගේ වන්දනාමානය සඳහා සම්බුදු සසුනට පූජා කිරීම අද (18) පස්වරුවේ සිදුවිය.
ඒ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ සහ අගමැති මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙනි.
මව්බිමේ ඒකීයභාවය වෙනුවෙන් උදාරතර කැපකිරීම් කළ වීරෝදාර රණවිරුවන් සිහිපත් කිරීමේ හා තිස් වසරක යුද්ධයේ නිමාව සනිටුහන් කිරීමේ අරමුණින් සඳහිරු සෑය ඉදිකෙරුණි.
30 වසරක කුරිරු යුද්ධයෙන් මාතෘ භූමිය මුදා ගැනීම සඳහා දිවි කැප කළ රණවිරුවන් සිහි කිරීම උදෙසායි සඳහිරු සෑය ඉදි කර ඇත්තේ.
ක්‍රි.ව. 301 දී මහසෙන් මහරජු අනුරාධපුරයේ, ජේතවනාරාමය ඉදි කළ පසු ලක්දිව ඉදි වූ විශාලතම චෛත්‍ය මෙයයි. 2010.11.22 දින “සඳහිරු සෑ චෛත්‍යයේ” ඉදිකිරීම් ඇරඹුණු අතර 2014.11.22 දින ධාතු නිධානෝත්සවය කිරීම සිදුවිය.උස අඩි 282යි අගල් හයක් වන මෙහි වට ප්‍රමාණය අඩි 800කි. බුබ්බුලාකාර හැඩයකින් යුත් මෙම චෛත්‍යයෙහි කපිලවස්තු ධාතූන් වහන්සේ ඇතුළු සර්වඥ ධාතු තැන්පත් කොට ඇත. චෛත්‍යයේ තැන්පත් කොට ඇති චූඩා මාණික්‍යයේ උස අඩි 3යි අඟල් 6කි. මෙහි මැණික් ගල් 1895ක්, රත්‍රන් මෙන්ම මුතු ද ඔබ්බවා තිබේ.
මාතෘ භුමිය නිදහස් කර ගැනීම සඳහා එදා දිවි හිමියෙන් දායක වූ, කැප වූ රණවිරුවන් විසිනව දහසක් සිහි කරවීමටත් දස දහස් ගණනක් තුවාල ලබා ආබාධිතව සිටින රණවිරුවන් නිදහස් ශ්‍රී ලංකාවක් වෙනුවෙන් කළ කැප කිරීම සිහි කරවීමත් තිස් වසරක කුරිරු යුද්ධය අවසන් කිරීමත් සනිටුහන් කරමින් සඳහිරු සෑ චෛත්‍ය රාජයාණන් වහන්සේ ගොඩනැංවීම 2010 වර්ෂයේදී ආරම්භ විය.
ශ්‍රී ලංකා යුද්ධ හමුදාව, නාවික හමුදාව, ගුවන් හමුදාව හා සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තු නිලධාරීන්, ඉංජිනේරුවන් හා සෙසු නිලධාරීන් එක්ව චෛත්‍ය ඉදිකිරීමේ කටයුතු සිදු කරනු ලැබුවා.








