Sunday, January 12, 2025

සම්මුඛ පරීක්ෂණයට වංගු දමා කලින් තෝරාගත් පිරිසක් ASP තනතුරට උසස් කරලා…! – අනුර පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි

සම්මුඛ පරීක්ෂණයට වංගු දමා කලින් තෝරාගත් පිරිසක් ASP තනතුරට උසස් කරලා… අනුර කුමාර පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි!

වසර 15කට පසු පොලිස් දෙපාර්තමේන්තුව විසින් පැවැත්වූ සහකාර පොලිස් අධිකාරී තනතුරු සඳහා පත් කිරීමේ සම්මුඛ පරීක්ෂණයේ දී පූර්වයෙන් නිගමනය කරගත් පිරිසක් එම තනතුරු සඳහා පත් කිරීම සම්බන්ධව ජාතික ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී අනුරකුමාර දිසානායක අද (09) පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කළේය.

ස්ථාවර නියෝග 27/7 යටතේ ඔහු මෙම ප්‍රශ්න කිරීම කරමින් මෙම සම්මුඛ පරීක්ෂණයේ දී සිදුකළ බරපතල දූෂණ රැසක් පිළිබඳව විමසා සිටියේය.

සහතික හා ලේඛන පරීක්ෂා කරමින් සම්මුඛ පරීක්ෂණ මණ්ඩලයේ ලකුණු සංශෝධනය කර තිබීම, ඇතැම් නිලධාරීන්ට ප්‍රධාන පොලිස් පරීක්ෂක ධුරයට උසස්වීම් ලැබූ දිනයන් පෙර දාතම කිරීමෙන් හා සම්මුඛ පරීක්ෂණයට පෙනී සිටීමට අවස්ථාව ලබා දීමෙන් වාසි සැලසීම, සම්මුඛ පරීක්ෂණ මණ්ඩලයේ ලකුණු දීමේ පරිපාටියට පටහැණිව ලකුණු ලබා දීම, නිලධාරීන්ගේ දක්ෂතාවන් හා හැකියාවන්ට අදාළව ලකුණු ලබා නොදීම පිළිබඳව වූ චෝදනා මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරනු ලැබුවේය.

ස්ථාවර නියෝග 27/2 යටතේ ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මේ අක්‍රමිකතා පිළිබඳව අද ඇසූ ප්‍රශ්නය මෙසේය.


“සහකාර පොලිස් අධිකාරි තනතුරට උසස් කිරීම සඳහා වූ තෝරාගැනීමේ ක්‍රියාවලියේ පැවති විවිධ අක්‍රමිකතා හා අඩුපාඩු හේතුවෙන් පොලිස් නිලධාරීන් තුළ මතුවී ඇති ගැටලුකාරී තත්වය මෙම සභාවේ අවධානයට යොමු කරනු කැමැත්තෙමි.

පොලිස් නිලධාරියෙකු ලෙස සේවයට එක්වී දක්ෂ හා උනන්දුවෙන් සේවය කරන නිලධාරියෙකුගේ අපේක්ෂාව වන්නේ තම සේවා කාලය තුළ ළඟා විය හැකි ඉහළම තනතුරුවලින් එකක් වන සහකාර පොලිස් අධිකාරි ධුරයට උසස්වීම් ලැබීමයි. එනම් ඍජු බඳවා ගැනීම්වලට අමතර වශයෙන් ප්‍රධාන පොලිස් පරීක්ෂකවරුන්ගේ කුසලතා ඇගයීම් සඳහා ලකුණු දීමේ පදනමින් පවත්වනු ලබන සම්මුඛ පරීක්ෂණයකින් ඉහළම ලකුණු ලබා ගන්නා නිලධාරීන්ට මෙම තනතුරට අදාළ උසස්වීම ලබා ගත හැකියි.

පොලිස් දෙපාර්තමේන්තුව තුළ මෙම සම්මුඛ පරීක්ෂණ උසස්වීම් ක්‍රියාවලිය නිසි කාලරාමුවක් අනුව සිදු නොවන නිසා නිලධාරීන් කලකට පසුව ලැබෙන මෙම අවස්ථාව පිළිබඳව විශේෂ උනන්දුවක් දැක්වීම තේරුම් ගත හැකියි. උදාහරණයක් ලෙස පසුගියදා මෙබඳු බඳවා ගැනීමක් සිදු වූයේ වසර 15කට පමණ පසුවයි. එහෙත් එම ක්‍රියාවලියේදී සියලු දෙනාටම නොවූවත් පූර්වයෙන් නියම කර ගත් යම් පිරිසකට තනතුරු ලබා දීමට කටයුතු කෙරී ඇති බවට චෝදනා නැගෙනවා.

මේ හේතුවෙන් තමන්ගේ දක්ෂතා අනුව මෙම තනතුරු ලබා ගත් නිලධාරීන්ටද එල්ල වන්නේ කළු පැල්ලමක්. සම්මුඛ පරීක්ෂණයට අදාළ සමස්ත ක්‍රියාවලිය තුළ විවිධ අක්‍රමිකතා සිදු වූ බවටත් ඒ හේතුවෙන් තමන්ට අසාධාරණයක් සිදු වූ බවටත් සම්මුඛ පරීක්ෂණයට මුහුණ දුන් නිලධාරීන් බලවත් කණස්සල්ලෙන් පසුවනවා. මෙය හුදු එම නිලධාරීන්ට පමණක් නොව අනාගතයේදී එවැනි තනතුරකට උසස්වීම් ලැබීමේ අපේක්ෂාවෙන් පසුවන සියලු පොලිස් නිලධාරීන්ගේ මානසිකත්වයට බලපෑම් සිදු කරනවා.

ප්‍රධාන පොලිස් පරීක්ෂක තනතුරේ සිට සහකාර පොලිස් අධිකාරි ධුරයට උසස් කිරීම සඳහා වූ කුසලතා ඇගයීමේ සම්මුඛ පරීක්ෂණයක් 2020.01.31 දින කැඳවනු ලැබ තිබුණා. එයට පදනම් කර ගෙන තිබුණේ 2019.07.19 දිනැති පොලිස් කොමිෂන් සභාව විසින් අනුමැතිය ලබා දෙන ලද ලකුණු දීමේ පරිපාටියයි. එහි ජ්‍යෙෂ්ඨතාව අනුව ලකුණු දීම අඩුපාඩු සහිත වීම සහ බී හා සී ශ්‍රේණියේ පොලිස් ස්ථාන භාරව සේවය කිරීමට ලකුණු ලබා නොදීමට එරෙහිව අදාළ නිලධාරීන් විසින් ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු පවරා තිබුණා. මේ තත්වය තුළ පොලිස් කොමිෂන් සභාව විසින් එම ලකුණු ලබා දීමේ පටිපාටිය 2020.02.18 දින සංශෝධනය කළ අතර එමගින් ඔවුන්ගේ ගැටලුවලට සාධාරණයක් ඉටු වී තිබුණා. කෙසේ වුවද එම නව ලකුණු දීමේ පටිපාටිය අනුව 2020.02.18 දින සිට ආරම්භ කළ උසස් කිරීමේ සම්මුඛ පරීක්ෂණ 2020.02.20 වැනි දින ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ නියෝග මත නතර කෙරුණා.

එසේ තිබියෙදී 20වැනි සංශෝධනයෙන් පොලිස් කොමිසමේ බලතල රාජ්‍ය සේවා කොමිෂන් සභාවට ලැබීමෙන් පසුව පොලිස්පතිවරයා විසින් 2020.11.20 දිනට වසර 03ක සේවා කාලයක් සම්පූර්ණ කළ ප්‍රධාන පොලිස් පරීක්ෂක නිලධාරීන්ගෙන් කුසලතා ඇගයීමේ සම්මුඛ පරීක්ෂණය සඳහා නැවත වරක් අයදුම්පත් කැඳවනු ලැබුවා. මෙහිදී 2020.02.18 දින සම්මුඛ පරීක්ෂණවලට පදනම් කරගත් ජාතික පොලිස් කොමිසම විසින් සකස් කර තිබූ නව ලකුණු දීමේ පටිපාටිය අවලංගු කර පැරණි 2019.07.19 දිනැති පොලිස් කොමිෂන් සභාවේ ලකුණු පරිපාටිය භාවිත කරන බව ප්‍රකාශ කර තිබුණා. කෙසේ වුවද බී හා සී ශ්‍රේණියේ පොලිස් ස්ථාන භාරව සේවය කිරීමට අදාළව පිළිවෙළින් ලකුණු 01ක් හා 0.5ක් වශයෙන් ලකුණු දෙන බව ප්‍රකාශ කර තිබුණා. ජ්‍යෙෂ්ඨතාවට අදාළව ලකුණු දීම ඇතුළු පැරණි ලකුණු දීමේ පරිපාටිය නැවත වලංගු කිරීම ගැටලු සහගත වී තිබුණා.

මේ අතර සම්මුඛ පරීක්ෂණයට අදාළව 2020.12.31 දිනැති ආර්.ටී.එම් 512 දුරකථන පණිවිඩය මගින්ද නව තීරණ කිහිපයක් ලබා දීමට කටයුතු කර තිබුණා. නැවත වරක් පොලිස්පතිතුමාගේ 2021.03.03 සී.ආර්.ටී.එම් 65 පණිවිඩය මගින්ද සම්මුඛ පරීක්ෂණවලට අදාළ කොන්දේසි සංශෝධනය කර තිබුණා. එමගින් පළමු අවස්ථාවේ අයදුම්පත් කැඳවීමේ 2020.02.29 අවසන් දිනය අහෝසි කර ඒ සඳහා 2021.03.02 සිට 2021.03.15 දක්වා තවත් සති දෙකක කාලයක් ලබාදීමට කටයුතු කර තිබුණා. එසේම නැවතත් 2021.08.20 දිනැති සී.ආර්.ටී.එම් 308 පණිවිඩය මගින් අයදුම්පත් භාරගන්නා අවසන් දිනය 2021.09.02 දින බව දන්වනු ලැබුවා. මේ දීර්ඝ කර තිබුණේ වසරකුත් මාස අටකට පෙර 2020.01.31 දින අයදුම්පත් කැඳවීම ආරම්භ කරන ලද සම්මුඛ පරීක්ෂණයක්. ‘අයදුම්පත් කැඳවීමේ අවසන් දිනට පෙර නිවේදනයේ සඳහන් සුදුසුකම් සම්පූර්ණ කර තිබිය යුතුයැ’යි සඳහන් කර තිබූ තත්වයක් තුළ කලින් අයදුම් කර තිබූ නිලධාරීන් තමන්ට අසාධාරණයක් සිදු වූ බව විශ්වාස කරනවා. විශේෂයෙන් මෙසේ අවස්ථා 03කදී අයදුම්පත් කැඳවීමත්, සම්මුඛ පරීක්ෂණ පවත්වා මාස 04කට පසු නැවත අයදුම්පත් කැඳවා සම්මුඛ පරීක්ෂණ පැවැත්වීමත් යම් කොටසකට පක්ෂපාතීව සිදුවී ඇති බව ඔවුන් පවසනවා.

ඒ අනුව සම්මුඛ පරීක්ෂණ 2021.03.18 දින සිට 2021.04.30 දක්වා පවත්වනු ලැබුවා. එහිදී කලින් ප්‍රකාශ කර තිබූ පරිදි බී හා සී ශ්‍රේණියේ පොලිස් ස්ථාන භාරව සේවය කිරීමට අදාළව පිළිවෙළින් ලකුණු 01ක් හා 0.5ක් වශයෙන් ලකුණු දීම ප්‍රතික්ෂේප කෙරුණා. නමුත් තමන් සේවය කළ එම පොලිස් ස්ථාන පසු කාලීනව ඒ ශ්‍රේණියට සංශෝධනය වීමේ ගැසට් නිවේදන පෙන්වූ ඇතැම් නිලධාරීන්ට ඒ ශ්‍රේණියේ ස්ථානවලට අදාළ ලකුණු ලබා දී තිබෙනවා. මේ සියලු ක්‍රියාකාරකම් බඳවා ගැනීමේ පරිපාටිය උල්ලංඝනය කිරීම්ද වනවා.

එසේම සම්මුඛ පරීක්ෂණ අවසන් කළ පසු අවස්ථා 03කදී තෝරා ගන්නා ලද නිලධාරීන්ට අදාළව පහත ගැටලුකාරී තත්වයන් පවතින බව ඔවුන් පවසනවා. සහතික හා ලේඛන පරීක්ෂා කරමින් සම්මුඛ පරීක්ෂණ මණ්ඩලයේ ලකුණු සංශෝධනය කර තිබීම, ඇතැම් නිලධාරීන්ට ප්‍රධාන පොලිස් පරීක්ෂක ධුරයට උසස්වීම් ලැබූ දිනයන් පෙර දාතම කිරීමෙන් හා සම්මුඛ පරීක්ෂණයට පෙනී සිටීමට අවස්ථාව ලබා දීමෙන් වාසි සැලසීම, සම්මුඛ පරීක්ෂණ මණ්ඩලයේ ලකුණු දීමේ පරිපාටියට පටහැණිව ලකුණු ලබා දීම, නිලධාරීන්ගේ දක්ෂතාවන් හා හැකියාවන්ට අදාළව ලකුණු ලබා නොදීම ආදී බරපතළ අක්‍රමිකතා ගණනාවක් සිදුවී තිබෙනවා.

මෙම තත්වය තුළ මතුවන පහත ගැටලුවලට පිළිතුරු අදාළ අමාත්‍යවරයා විසින් සභාව හමුවේ තබනු ඇතැයි අපේක්ෂා කරනවා.

මෙම ගැටලුවේ ආරම්භක අවස්ථාව වන 2020.02.18 දින සිට ආරම්භ කළ උසස් කිරීමේ සම්මුඛ පරීක්ෂණ 2020.02.20 වැනි දින ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ නියෝග මත නතර කරනු ලැබුවේ ඇයි?
2020.02.18 දින ආරම්භ වූ සම්මුඛ පරීක්ෂණවලට පදනම් කරගත් ජාතික පොලිස් කොමිසම විසින් සකස් කර තිබූ නව ලකුණු දීමේ පටිපාටිය අවලංගු කර පැරණි 2019.07.19 දිනැති පොලිස් කොමිෂන් සභාවේ ලකුණු පරිපාටිය භාවිත කරන ලද්දේ කවර හේතුවක් මතද?
ප්‍රධාන පොලිස් පරීක්ෂක ධුරයේ ජ්‍යෙෂ්ඨතාව අනුව ලකුණු දීමේදී පමණක් 2019 පොලිස් කොමිෂන් සභාවේ ලකුණු පරිපාටිය වෙනුවට 2020 නව පරිපාටිය භාවිත කරන ලද්දේ මන්ද?
සම්මුඛ පරීක්ෂණයේදී පොලීසිවල බී හා සී ශ්‍රේණිය අනුව ලකුණු නොදීම හා පසුව ඒවා ඒ ගණයට උසස් වීම මත ඇතැම් නිලධාරීන්ට ලකුණු එකතු කිරීමට පියවර ගැනීම ගැටලු සහගත නොවන්නේද?
ඇතැම් නිලධාරීන් තෝරා ගැනීම ඉලක්ක කර ගනිමින් මෙම ක්‍රියාවලිය අතරමැදදී සුදුසුකම්, අයදුම් කිරීමේ දින වකවානු, පෙර දාතම කිරීම්, බඳවා ගැනීමේ පරිපාටිය උල්ලංඝනය කිරීම් සහ විටින් විට තීරණ සංශෝධන සිදු කිරීම ආදී සැක උපදවන හැසිරීම් හේතුවෙන් සමස්ත තෝරාගැනීමේ ක්‍රියාවලිය ප්‍රශ්නකාරී වී ඇති බව පිළිගන්නේද?
මෙම තෝරාගැනීමේ ක්‍රියාවලියෙන් අසාධාරණයට ලක්වූ නිලධාරීන්ට ලබා දෙන සහනය කුමක්ද?”

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles