Tuesday, September 17, 2024

සමාජය දවසින් දවස පස්සට යනවා ජවිපෙ දේශපාලන මණ්ඩල සභික වසන්ත සමරසිංහ

සමාජයක් විදියට දවසින් දවස ඉස්සරහට යා යුතු වුවද අපේ සමාජය දවසින් දවස පිටුපසට යන බවත් මේ ගැන රටක් හැටියට ජනතාව නොසිතුවොත් හෙට දවසේ ජනතාවට රටක් නැති විය හැකි බවත් ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික වසන්ත සමරසිංහ මහතා පැවැසීය.

ආණ්ඩුව පිළිබඳ කලකිරුණු ජනතාවට දැන් බලාපොරොත්තුවක් ගොඩනැඟී ඇති බවත් රටේ අනාගතය පිළිබඳ සිතන ජනතාවට දැන් තෝරා් ගැනීම් රාශියක් නොමැති බවත් පසුගිය වසර පහේදී සජිත් – රනිල් – මෛත්‍රීලා පිරිස එකතු වී මේ රටට කරපු දේ ජනතාව දුටු බවත් එහිදී සමරසිංහ මහතා කීවේය.

බඩු මිල ඉහළ යෑම, විරැකියා, රැකියා නියුක්තිකයන්ගේ රැකියා අහිමි වීම ආදී ප්‍රශ්න දවසින් දවස අට්ටි ගැසෙමින් තිබෙනවා යැයිද වසන්ත සමරසිංහ මහතා පැවැසීය.

ඒ මහතා මෙම අදහස් පල කළේ පසුගියදා (22) වත්තේගම නගරසභා ශාලාවේදී පැවැති ‘SORRY කවුද දිනුම්’ සංවාදශීලි සම්මන්ත්‍රණයට සහභාගි වෙමිනි.

එහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේද සඳහන් කළේය.

‘එදා 2018 මහින්ද රාජපක්ෂ මහත්තයා ජනාධිපතිවරයාව සිටි අවදියේ තානාපතිවරු කැඳවලා රනිල් මෛත්‍රී ආණ්ඩුව විකුණන මොකවත් ගන්න නම් එපා අපි බලයට ආවම ඒවා නැවත ගන්නවා කියල කිව්වා. දැන් මොනවද වෙන්නේ අදත් වරායේ සේවකයෝ උද්ඝෝෂණය කරනවා නැඟ‍ෙනහිර ජැටිය විකුණන එක නවත්වන්න.

මේ රටේ ජාතික දේපොළ විකුණන එක නවත්වන්න. මේ රටේ අනාගත ජනතාවට අයිති දේවල් විදේශිකයන්ට පවරන එක නවත්වන්න. ගෝඨාභය රාජපක්ෂ මහත්තයා කියනවා විකුණන්නෙත් නැතිලු බදු දෙන්නෙත් නැතිලු. හතළිස් නවයක් දෙනවලු. මොකක්ද මේකට කියන නම. ඒකට කියන්නේ පැවැරීමලු. ඉන්දියාවට පවරනවලු.

දැන් ප්‍රශ්නෙ තියෙන්නේ ආණ්ඩුව ඇයි මේ ඉන්දියාව ඉස්සරහා මේච්චර දණ ගහන්නේ කියල. කල්පනා කරල බලන්න. දැන් රටේ වෘත්තීය සමිති ඊට විරුද්ධයි. ස්වාමින්වහන්සේලා විරුද්ධයි. විද්වත් සංවිධාන විරුද්ධයි. දේශපාලන පක්ෂ භේදයෙන් තොරව සියලු දෙනාම මේකට විරුද්ධත්වය ප්‍රකාශ කරද්දි දැන් කියනවා හතළිස් නවයක් ඉන්දියාවට දෙනවා ඒ ස්ථාවරය අනුව කතා කරන්න එන්න කියල. ඉතිහාසයේ ගත්තොත් අපේ රටේ සම්පත් විකුණනවා, අතහරිනවා, පවරනවා. ඒවා සරල නැහැ. අපිට අයිති වානේ සංස්ථාව, කැලණි ටයර්, පුත්තලම සංස්ථා සිමෙන්ති, වාලච්චේන ඇඹිලිපිටිය කඩදාසි , තුල්හිරිය, මත්තේගොඩ පෙහෙකම්හල්, පොහොර සංස්ථාව දෙමඩගොඩ මේ විදියට රට තුළ තිබුණු ජාතික සම්පත් ටික පියවරෙන් පියවර අන්සතු කළා.

වරායට නැව් එන විට, නැවෙන් බඩු ටික බාන කොට, පටන වන විට, වතුර ටිකට තෙල් ටිකට, පිරිසිදු කරනවාට මුදල් එන්නේ ඩොලර්වලින්. විනාඩියෙන් විනාඩියට ඩොලර් සොයන තැනක්. මේක දෙන්න ආණ්ඩුව මේ වන විට පිඹුරුපත් සකස් කරල ඉවරයි. හැට නවලක්ෂක් ඡන්දේ දීපු මිනිස්සුන්ගේ බලාපොරොත්තුවලට පයින් ගහලා අර මේ රටේ සම්පත් ටික විකුණන්නේ නැහැ කියල ආපු ආණ්ඩුව රටේ සම්පත් විකුණන වග දැන ගත්තාම දැන් ජනතාව ආණ්ඩුවත් එක්ක කලකිරිල මේ සටනට පෙළ ගැහිල ඉන්නේ.

නැඟ‍ෙනහිර ජැටිය ජපානෙටයි ඉන්දියාවටයි දෙකටම සියයට හතළිස් නවයට දෙනවා කියල තමයි පසුගිය රනිල් මෛත්‍රිලා ආණ්ඩුව ගිවිසුම අත්සන් කළේ. ඒක ඉරල විසි කරනවා කිව්වා එම්සීසී ගිවිසුම වගේ.

එක රටකට එක නීතියක් කෝ. මාස්ක් එක නැතිව ඉඳල අහුවුණු කොළඹ මිනිස්සු අල්ලල දඩ ගහලා දැම්මා දින 14 ක් නිරෝධායනයනට. මාස්ක් නැතිව කොරෝනා තියා ගෙන සංචාරක හෝටල් ගාණේ ඇවිදින සංචාරකයන් ආරක්ෂා කරන්න හමුදාව යනවා.

පාසල් යන දරුවෝ සියයට එකොළහක් පහළවක් අතර ප්‍රමාණයක් මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටිම සඳහා අඩුම තරමින් ඇප්ලිකේෂන් දාන්නවත් පාසලට ඇවිත් නැහැ. ඇයි මේ? පාඩම් දොළහක් ඉගෙන ගන්න ඕන පාඩම් තුනයි ඉගෙන ගෙන තියෙන්නේ. අඩුම තරමේ ආණ්ඩුවට බැරි වුණා කොරෝනා කාලේ ළමයින්ට ඉගෙන ගන්න ටීවි චැනැල් ටික පාවිච්චි කරන්න. ඇයි ආණ්ඩුවට මේ ගැන කියද්දි ඔන් ලයින් උගන්වන්න කිව්වා. ගුරුවරයට දුරකතනයක් ඕන. දරුවෝ තුන් දෙනෙක් ඉන්නවා නම් තුන් දෙනාට කාඩ් දාන්න ඕන. තුන් වේල වෙනුවට දෙවේලක් කන තරමට ආර්ථිකය වට්ටලා තියෙන රටක ඔන්ලයින් තියා ඉස්කෝලේක උගන්නන්නවත් මේ ආණ්ඩුවට වැඩපිළිවෙළක් නැහැ. පොත් ටික නිල ඇදුම් ටික දෙන්න වැඩපිළිවෙළක් නෑ. පොඩි එකාට ත්‍රිපෝෂ ටික, ගොවියට පොහොර ටික හරියට දෙන්න බැරි වෙලා. ආණ්ඩුව අසාර්ථකයි කියන්නේ දවසින් දවස ජන ජීවිතයත් අසාර්ථක කරමින් ඉන්නේ.

එස්.ජී.විජේරත්න – කටුගස්තොට සමූහ

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles