Friday, January 24, 2025

සයිටම් අර්බුදය නිසා රටට වෛද්‍යවරුන් බිහිවීම නැවතිලා

සයිටම් අර්බුදයට විසඳුම් ඉල්ලා මාස නවයක්‌ තිස්‌සේ වෛද්‍ය පීඨ සිසුන් අටදහසක්‌ පන්ති වර්ජනය කර තිබීමෙන් වෛද්‍යවරුන් බිහිවීම නැවතීම හා ප්‍රමාදවීම පිළිබඳ වගකියන්නේ කවුරුන්දැයි විපක්‍ෂයේ ප්‍රධාන සංවිධායක අනුර කුමාර දිසානායක මහතා ඊයේ (17 දා) පාර්ලිමේන්තුවේදී ආණ්‌ඩුවෙන් ප්‍රශ්න කර සිටියේය.

අනුර කුමාර දිසානායක මහතාගේ මෙම ප්‍රශ්නයට පිළිතුරු දීම සඳහා උසස්‌ අධ්‍යාපන ඇමැතිවරයා පැමිණ නොසිටි අතර හෙතෙම රෝගී තත්ත්වයෙන් පසුවන බව කථානායක කරු ජයසූරිය මහතා දැනුම් දුන්නේය.

එසේ නම් පෞද්ගලික අධ්‍යාපන ආයතනයක ප්‍රධාන හිsමිකරුවකු වන උසස්‌ අධ්‍යාපන රාජ්‍ය ඇමැතිවරයාගෙන් පිළිතුරු අපේක්‍ෂා කරන බව පැවසූ දිසානායක මහතා එහිදී වැඩිදුරටත් මෙසේ ද කීවේය.

මාලබේ සයිටම් පෞද්ගලික වෛද්‍ය අධ්‍යාපන ආයතනය හේතුවෙන් ලංකාවේ වෛද්‍ය අධ්‍යාපන ක්‍ෂේත්‍රයේ මතුවී ඇති ගැටලුකාරී තත්ත්වය පිළිබඳව මෙම සභාවේ අවධානය යොමු කරනු කැමැත්තෙමි.

මේ වන විට වෛද්‍ය පීඨ 08 ක වෛද්‍ය සිසුන් 8000 ක්‌ පමණ මාස 09 කට අධික කාලයක්‌ පන්ති වර්ජනය කර තිබෙනවා. සීමාවාසික පත්වීම් අපේක්‍ෂිත වෛද්‍ය උපාධිධාරීන් ප්‍රකාශ කරන්නේ සයිටම් ආයතනය අහෝසි කරනතුරු පත්වීම් භාර නොගන්නා බවයි. වෛද්‍ය අධ්‍යාපනයට සම්බන්ධ ප්‍රවීණයන් වන වෛද්‍ය පීඨාධිපතිවරුන්, වෛද්‍ය පීඨ ආචාර්යවරුන්, විශේෂඥ වෛද්‍යවරුන් හා රජයේ වෛද්‍යවරුන් ඉදිරිපත් කළ යෝජනා පිළිබඳව ආණ්‌ඩුව කිසිදු සැලකිල්ලක්‌ නොදක්‌වමින් සහ දරදඬු පිළිවෙතක්‌ අනුගමනය කරමින් සිටීම හේතුවෙන් රටේ උසස්‌ අධ්‍යාපන ක්‍ෂේත්‍රය බරපතළ ලෙස බිඳවැටී තිබෙනවා. ආණ්‌ඩුව රටේ මුළු මහත් වෛද්‍ය අධ්‍යාපනය අර්බුදයට යවමින් කෙසේ හෝ සයිටම් ආයතනය රැකගැනීමට උත්සාහ කරමින් සිටින බවට සෑම ක්‍ෂේත්‍රයකින්ම ආණ්‌ඩුවට චෝදනා එල්ල වෙනවා.

රටක වෛද්‍ය වෘත්තිකයන් බිහි කළ යුත්තේ මහජනතාවගේ සෞඛ්‍යය උසස්‌ තත්ත්වයකින් පවත්වා ගැනීමේ පරම ෙච්තනාවෙන් විනා හුදෙක්‌ වත්පොහොසත්කම් හෝ පාලනයට සම්බන්ධ වූවන්ගේ හෝ කූට ව්‍යාපාරිකයන්ගේ පෞද්ගලික අවශ්‍යතා ඉටුකිරීමට නෙමෙයි. වෛද්‍ය වෘත්තියට අදාළ පුහුණුව සහ බඳවාගැනීම් ආදී සියල්ල සම්බන්ධයෙන් ප්‍රතිපත්ති තීරණ ගත යුත්තේ පොදු ජනතාවගේ සෞඛ්‍ය අවශ්‍යතාව එමගින් කොතෙක්‌ දුරට ඉටුවේද යන පදනමිනුයි. ශිෂ්ට සම්පන්න සියලු රටවල සිදුවන්නේ එයයි. එමෙන්ම, යම් ශිෂ්‍යයකුගේ උපාධි පාඨමාලාව තීරණය කළ යුත්තේ ඔහුගේ හෝ ඇයගේ දක්‍ෂතාව මත විනා අනෙකුත් සමාජ හෝ ආර්ථික සාධක මත නෙමෙයි. එයින් අධ්‍යාපනයේ සම අයිතියත් සමාජ සාධාරණත්වයත් උල්ලංඝනය වන බව අමුතුවෙන් කිව යුතු නැහැ.

පැවති ආණ්‌ඩුවේ උසස්‌ අධ්‍යාපන ඇමැතිවරයා විසින් සිය බලතල අත්තනෝමතික ලෙස පාවිච්චි කරමින් ගැටලුකාරී පෞද්ගලික අධ්‍යාපන ආයතනය නීත්‍යනුකූල කිරීමට උත්සාහ ගෙන තිබුණ ද අද වන විට එය අනීතික ක්‍රියාමාර්ගයක්‌ බව අනාවරණය වී තිබියදී වර්තමාන උසස්‌ අධ්‍යාපන අමාත්‍යවරයා ද තවමත් ප්‍රසිද්ධියට පත් නොවූ හේතුවක්‌ නිසා මෙම නීති විරෝධී ආයතනය වෙනුවෙන් දිගින් දිගට පෙනී සිටින බවට වෛද්‍ය සිසුන් චෝදනා කරනවා. අනෙක්‌ අතට අද මෙම ගැටලුව හුදු වෛද්‍ය සිසුන්ගේ හෝ ඔවුන්ගේ දෙමවුපියන්ගේ ගැටලුවක්‌ පමණක්‌ නෙමෙයි. මෙය රටට නව වෛද්‍යවරුන් බිහි නොවීම පිළිබඳ ගැටලුවක්‌. මුළු මහත් ජනතාවගේම ගැටලුවක්‌.

සයිටම් ආයතනය වෙනුවෙන් විවිධ අවස්‌ථාවන්හි ප්‍රසිද්ධියේ පෙනී සිටියවුන් මෙම නීති විරෝධී ආයතනය පවත්වා ගැනීමට නිර්දේශ ඉදිරිපත් කරන්නේ. අප රටේ වෛද්‍ය අධ්‍යාපනයේ විද්වතුන්ගේ හා වෛද්‍ය සභාවේ නිර්දේශයන් හා යෝජනා නොසලකා හරිමිනුයි. ඔවුන් විසින් ඉදිරිපත් කරනු ලබන යෝජනා නොසලකා හරිමින් ආණ්‌ඩුව මෙම ගැටලුකාරී ආයතනය සම්බන්ධ ප්‍රශ්නය නොවිස¹ සමස්‌ත උසස්‌ අධ්‍යාපන ක්‍ෂේත්‍රයම අර්බුදයෙන් අර්බුදයට තල්ලු කරමින් සිටින බවට වෛද්‍ය පීඨ සිසුන්ගෙන් දෙමවුපියන්ගෙන් සහ වෛද්‍ය පීඨ ආචාර්යවරුන්ගෙන් ඇතුළු සියලු මහජනතාවගෙන් ආණ්‌ඩුවට එල්ල වෙමින් තිබෙන්නේ බරපතළ චෝදනාවක්‌. මේ තත්ත්වය තුළ පැනනඟින පහත ගැටලුවලට පිළිතුරු අදාළ අමාත්‍යවරයා විසින් සභාව හමුවේ තබනු ඇතැයි අපේක්‍ෂා කරනවා.

උසස්‌ අධ්‍යාපන ක්‍ෂේත්‍රයේ වෛද්‍ය පීඨයන්හි සිසු සිසුවියන් 8000 ක්‌ විශාලතම ශිෂ්‍ය වර්ජනයක්‌ මාස 09 කට අධික කාලයක්‌ සිදුවෙමින් තිබීම ආණ්‌ඩුව ගැටලුවක්‌ ලෙස හඳුනා නොගන්නේද? මේ හේතුවෙන් අනාගතයේ වෛද්‍යවරුන් බිහිවීම නැවතීම හා ප්‍රමාදවීම හේතුවෙන් ජාතිකමය වශයෙන් සිදුවන පාඩුවට වගකියනු ලබන්නේ කවුරුන්ද? ගැටලුව විසඳීම සඳහා ආණ්‌ඩුවට වගකීමක්‌ ඇති බව තේරුම් ගන්නේද? වෛද්‍ය අධ්‍යාපන ක්‍ෂේත්‍රයේ ප්‍රවීණයන්ගේ සහ මහජනතාවගේ යෝජනා ක්‍රියාත්මක කර මෙම ගැටලුව විසඳීමට පියවර නොගන්නේ මන්ද? උසස්‌ අධ්‍යාපන ක්‍ෂේත්‍රයේ මෙම අර්බුදකාරී තත්ත්වය සම්බන්ධයෙන් ආණ්‌ඩුව සතු වැඩපිළිවෙළ කුමක්‌ද?

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles