Sunday, September 22, 2024

රටින් පලායන සරණාගත යුක්රේන ජාතිකයන්ට එක්සත් රාජධානියේ දොර ඇරේ

දැනට එක්සත් රාජධානියේ පදිංචිව සිටින යුක්රේනු ජාතිකයන්ට සිය යැපෙන්නන් හා සමීපතම ඥාතීන් බ්‍රිතාන්‍යය වෙත ගෙන්වා ගැනීම සඳහා වහාම අවසර ලබාදීමට තීරණය කල බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් ප්‍රකාශ කරනවා. බ්‍රිතාන්‍ය යුක්රේන ආසන දෙව්මැදුරක පැවති දේවමෙහෙයකදී එහි රැස්ව සිටි යුක්රේන ජාතිකයන් අමතා අග්‍රාමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා.

යුක්රේන ආක්‍රමණය තරම් හොඳ සහ නරක වෙන්ව හඳුනාගත හැකි ගැටුමක් මින් පෙර තමන් දැක නැතැයි පවසන බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා යුක්රේනයට සිය සහාය අවශ්‍ය මොහොතේ කිසිදු හේතුවක් මත පසුපසට නොයන බව සඳහන් කර සිටියා. යුක්රේනයට අවශ්‍ය මානුෂිය ආධාර සඳහා පවුම් මිලියන 40 ක් වෙන් කර ඇති බව සදහන් කල බොරිස් ජොන්සන් යුක්රේනු ජනතවට ආර්ථික, දේශපාලන, රාජ්‍යතාන්ත්‍රික, මිලිටරි වශයෙන් උදව් කල හැකි සෑම දෙයක්ම කරන බවට ප්‍රතිඥා දුන්නා.

යුක්රේනයෙන් පලායන ජනතාවට කිසිදු සරණාගත වීසා ලබා ගැනීමකින් තොරව වසර තුනක් දක්වා ඕනෑම යුරෝපා රටක ජීවත් වීම සඳහා මේ වන විටත් යුරෝපා සංගමය විසින් නීති සකස් කර තිබෙනවා. ඒ අනුව යමින් බ්‍රිතාන්‍යය ද අසරණ වූ යුක්රේනු ජනතාවට බ්‍රිතාන්‍යයට ඇතුළුවීමට සහ ජීවත් වීමට අවශ්‍ය නීති කඩිනමින් වෙනස් කල යුතු බව බ්‍රිතාන්‍ය රජය ප්‍රකාශ කළේය.
එහි පළමු පියවර ලෙස එක්සත් රාජධානියේ පදිංචි යුක්රේන ජාතිකයන්ට සිය යැපෙන්නන් මෙරටට ගෙන්වා ගැනීමට අවසර දී ඇති අතර අනෙකුත් යුක්රේන ජාතිකයන්ට Working Visa හෝ Student Visa නොවන වෙනත් වීසා ක්‍රමයකින් මෙරටට පැමිණිම සඳහා අවස්ථාව ලබා දීමට රජය කටයුතු කරගෙන යනවා.

තිලාන් ජයසේකර

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles