Tuesday, September 24, 2024

සර්පයකු බෝතලයක දමා තරහකාරයාගේ නිවසට දමාගිහින්

පුද්ගලයකු විසින් විෂඝෝර සර්පයකු බෝතලයක්‌ තුළට බහාලාගෙන තරහකරුවකුගේ නිවසට දැමීමේ සිදුවීමක්‌ ඊයේ (25 දා) අලව්ව පොලිස්‌ බල ප්‍රදේශයේ ගම්මානයකින් අලව්ව පොලිසිය වෙත පැමිණිලි කර තිබුණි.

අලව්ව ප්‍රදේශයේ ගම්මාන දෙකක පදිංචිකරුවන් දෙපිරිසක්‌ අතර කාලයක සිට ආරවුලක්‌ තිබිණි. මෙම ආරවුල නිසා දෙපිරිස අතර විවිධ ගැටුම් ඇති වනවා මිස ඒ සඳහා විසඳුමක්‌ නැති තරමට දුරදිග ගොස්‌ තිබේ. ආරවුලට පත් පවුල් දෙක සමගියෙන් එකමුතුව සිටි පවුල් දෙකක්‌ වූ අතර ඔවුන් පුංචි සිදුවීමක්‌ නිසා මෙලෙස අමනාපකම් ඇති කරගෙන තිබේ. පවුල් දෙකේම අරමුණ ඔවුනොවුන් ඔවුනොවුන්ගෙන් පළිගන්නේ කෙසේද යන්නයි. ඒ අනුව ආරවුලට පත් එක්‌ තැනැත්තකු අනෙක්‌ පවුලෙන් පළිගන්නට හොඳම ක්‍රමය මෙය යෑයි සිතා විෂඝෝර සර්පයකු බෝතලයක්‌ තුළට දමා සර්පයා සමඟ බෝතලය ආරවුලට පත් අනෙක්‌ පවුලේ නිවසට ගෙන ගොස්‌ දමා තිබියදී එම නිවැසියන් මේ බව දැක සර්පයා සහිත බෝතලය රැගෙන අලව්ව පොලිසියට පැමිණ සිද්ධිය ගැන පැමිණිලි කර ඇත.

එම පැමිණිල්ලට අනුව අලව්ව පොලිසියේ ස්‌ථානාධිපති පොලිස්‌ පරීක්‍ෂක ටියුඩර් අබේවික්‍රම මහතාගේ උපදෙස්‌ මත උප පොලිස්‌ පරීක්‍ෂක ජයසේකර මහතා ඇතුළු පොලිස්‌ නිලධාරීන් පරීක්‍ෂණ පවත්වන අතර නිශ්චිත වශයෙන් ම සර්පයා හඳුනා ගැනීම සඳහා දෙහිවල සත්ත්ව උද්‍යානයට භාර දී ඇති බව අලව්ව පොලිසිය පැවසීය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles