Friday, January 17, 2025

සර්ව පාක්ෂිකයන් එක්කර ජාතික ආණ්ඩුවක් හැදීමේ සූදානම් වෙද්දී රනිල්ට ජාතික ආණ්ඩුව ගැන අනතුරු ඇඟවීමක් !

පවතින අර්බුදකාරී තත්වය පසුබිමෙහි රජයේ සහ විපක්ෂයේ සියලුම දේශපාලන පක්ෂ නියෝජනය වන ආකාරයේ ජාතික ආණ්ඩුවක් පිහිටුවීම පිළිබඳ සාකච්ඡා තවදුරටත් පැවැත්වෙන බව රජයේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.

ජාතික ආණ්ඩුවක් පිහිටුවීමේ මූලික කරුණු පිළිබඳව මේ වන විට සාකච්ඡා වෙමින් පවතින අතර ලබන මාර්තු මස 23 වැනි දා පැවැත්වීමට නියමිත සර්ව පාක්ෂික සමුළුවෙන් පසු එහිදී ඉදිරිපත් වන යෝජනා ද සලකා බලා එහි ඉදිරිය පිළිබඳව පිළිබඳව කටයුතු කිරීමට සැලසුම් සකස් කරමින් පවතින බව එම ආරංචි මාර්ග තවදුරටත් සඳහන් කරයි.

මෙම ජාතික ආණ්ඩුව පවතින ආර්ථික අර්බුදය හමුවේ රටක් ලෙස ගත යුතු පොදු පියවර පිළිබඳව කටයුතු කිරීමට නියමිත අතර එවැනි රජයක් පිහිටුවීම සම්බන්ධයෙන් ජාත්‍යන්තර වශයෙන් ද යම් යම් අදහස් යෝජනා ඉදිරිපත් ව ඇති බව එම ආරංචි මාර්ග තවදුරටත් සඳහන් කළේ ය.

මෙම පාලන ආකෘතිය සම්බන්ධයෙන් මේ වන විට රජයේ ඉහළ ස්ථර අතර එකගතාවයක් නිර්මාණය වී ඇතත් ඇතැම් අමාත්‍යවරුන් සහ රජයේ පසුපෙළ මන්ත්‍රීවරුන් මේ සම්බන්ධයෙන් වෙනස් මතයක සිටින බව ද දැනගන්නට ඇත.

කෙසේ වුවද මෙවැනි භාරකාර රජයක් පිහිටුවීම හා හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා එහි අග්‍රාමාත්‍යවරයා ලෙස පත් කිරීම සම්බන්ධයෙන් පසුගිය දා පළමු ප්‍රචාරයන්ට ප්‍රතිචාර දක්වමින් රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කර තිබුණේ තමන් එවැනි කිසිදු සාකච්ඡාවකට සහභාගී නොවූ අතර ඒ පිළිබඳව යන ප්‍රචාර තමන් ප්‍රතික්ෂේප කරන බවයි.

මේ අතර රජයේ ප්‍රබල අමාත්‍යවරයෙකු ද සඳහන් කලේ තමන්ට මේ පිළිබඳව කිසිදු දෙයක් ප්‍රකාශ කළ නොහැකි බවයි .

මේ පිළිබඳව සිදු කල විමසීමක දී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා දැක්වුයේ මෙවන් ප්‍රතිචාරයක්,

“සමගි ජන බලවේගයේ ඉන්න එක්කෙනෙකුටවත් දේශපාලනිකව සියදිවි හානිකරගන්න වුවමනාවක් නෑ. ඒ නිසා සහතික වෙන්න පුළුවන් ඔවැනි ජාතික ආණ්ඩුවකට අපේ එක්කෙනෙක්වත් යන්නෙ නෑ ”

මෙි අතර ඉදිරියේදී බිහිකිරීමට නියමිත ජාතික ආණ්ඩුව භයානක දේශපාලන සූදුවක් විය හැකි බවට තදබල අනතුරු හැඟවීමක් එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාට, ඒ මහතාගේ සමීප දේශපාලන සගයින් කිහිපදෙනෙකුගෙන් ලැබී ඇති බව වාර්තා වේ.

ඉතාම නිශ්චිතව රටේ ආර්ථික තත්වය පිළිබඳ සංඛ්‍යා දත්ත නොමැතිව, ජාතික ආණ්ඩුවක කාර්යභාරය පිළිබඳව හා වගකීම් බෙදීයාම පිළිබඳව පූර්ණ එකඟතාවක් හා එම එකඟතාව ක්‍රියාත්මක කිරීමේ පැහැදිලි යාන්ත්‍රණයක් නොමැතිව මෙන්ම ජාත්‍යන්තරයෙන් ලැබෙන සහයෝගය පිළිබඳව ඉතාම නිශ්චිත තොරතුරු නොමැතිව මෙවැන්නකට ගියහොත් එහි ප්‍රතිඵල ඉතාම දරුණු විය හැකි බව ඔවුන් වික්‍රමසිංහ මහතාට පෙන්වා දී ඇති බව සඳහන්.

රටේ මෙතෙක් පැවති මෙවැනි උත්සාහයන් පිළිබඳ සිහිපත් කිරීමේදී මෙයත් තවත් එක ආඬි හත්දෙනාගේ කැඳ හැළියක් වීමේ සම්භාවිතා ඉහළ බව එම සමීප හිතවතුන් වික්‍රමසිංහ මහතාට පවසා ඇති අතර එවැන්නක් වුවහොත් ඊට සහභාගී වූ අයගේ දේශපාලනික ඉරණම ඛේදජනක විය හැකි බවට අනතුරු හඟවා ඇති බවත් ආරංචිමාර්ග ප්‍රකාශ කළේය.

ඒ අනුව රනිල් වික්‍රමසිංහ මහතා ද මේ වනවිට අගමැති ධුරයට කුරුමානම් අල්ලමින් සිටිනවා පමණක් බවයි ආරංචිමාර්ග සඳහන් කළේ.

කෙසේවෙතත් අප මීට පෙර ද වාර්තා කළ ආකාරයට ඉදිරි සතිය තුළ මෙතෙක් නොවූ විරූ අන්දමින් ආර්ථික අර්බුදය ජන ජීවිතයට බලපෑම් කිරීම ආරම්භ වනු ඇති අතර රටේ කිසිදු පාර්ශ්වයකට ඒ සම්බන්ධයෙන් තනි තනිව ලබාදිය හැකි කිසිදු විසඳුමක් ද නැත. රටේ සාමාන්‍ය ජනතාව අන්ත දුෂ්කරතාවන්ට මුහුණ දීම හා රට බංකොළොත්වීම වළක්වා ගැනීමට හැකිවනු ඇත්තේ සියලු දේශපාලන පක්ෂ පොදු එකඟතාවකින් යුතුව, තමතමන්ගේ කෙටි කාලීන බල අරමුණු පසෙකලා එකමුතු වුවහොත් පමණි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles