සර්ව පාක්ෂික සමුළු යෝජනාව හරහා බැසිල් රාජපක්ෂ විසින් එක ගලෙන් කුරුල්ලන් 5 දෙනෙකු මරා දැමීමට සූදානම් වන බව වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.
ඔහු මේ අදහස් ප්‍රකාශ කළේ අද කොළඹ පැවති මාධ්‍ය හමුවතට එක් වෙමින්.
එහිදී වැඩිදුරටත් අදහස් දක්වූ වසන්ත බණාඩර මහතා මෙසේද පැවසීය.
“ඉන්දියාව ප්රමුඛ බෙදුම්වාදී බලවේග සහ දෙමළ ඩයස්පෝරාව බලපෑම් කරමින් ඉන්නවා සර්ව පාක්ෂික ආණ්ඩුවක් හදන්න. ඊට පස්සේ 13 වැනි ව්‍යවස්ථා සංශෝදනය සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක කරන්න කියන දැඩි පීඩනය ආණ්ඩුවට එල්ල කරමින් තියෙනවා. මේක නිකන් රික්තකයක තියෙන දෙයක් නෙවෙයි. මේ බලපෑම ඇතුලේ මේ යෝජනා එනකොට තමයි අපිට සැක උපදින්නේ. මේ අතරේ බැසිල් රාජපක්ෂ මහතා හදනවා මේ හරහා ඔහුගේ දුෂ්ඨ අරමුණු 5ක් ඉටුකරගන්න. ඒ් කියන්නේ එක ගලෙන් කුරුල්ලන් 5 දෙනෙක් මරා ගන්න.
පළමු අරමුණ තමයි සර්ව පාක්ෂික සමුළුව හරහා අර කියන ජාතික ආණ්ඩුව පිහිටුවීම. ඒතකොට ඒක ආණ්ඩුවේ යෝජනාවක් නෙවෙයි සර්ව පාක්ෂික සමුළුවේ යෝජනාවක්. ඒ් ආණ්ඩුව ඇතුලේ ඉන්නේ කවුද රාජිත සේනාරත්නලා රිෂාඩ් බදුර්දීන්ලා වගේ අය. ඒක ජනවරමට සම්පූර්ණයෙන්ම පටහැනි ක්‍රියාවලියක්. මේ දුෂ්ඨ ක්‍රියාවලියට ගොදුරැ වෙන්න ඒපා කියලා අපි මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගෙන් ඉල්ලා සිටිනවා.
දෙවැනි අරමුණ තමයි මේ මොහොතේ මතුවෙලා තියෙන ආණ්ඩු විරෝධය සමනය කර ගැනීම. ඒක සමනය කරගන්නේ කොහොමද මහජනයා තුළ සර්ව පාක්ෂික සමුළුව හරහා සුබවාදී හැගීමක් ඇතිකිරීමෙන්. දැන් එළුවගේ අහවල් ඒක වැටෙයි කියා මහජනයා ඒ් දෙස බලා ඉන්නවාත ඒක බැසිල්ගේ මනෝවිද්‍යාත්මක උපක්‍රමයක්.
තුන්වන අරමුණ තමයි අයි.එම්.එෆ් වාර්තාවට සර්ව පාක්ෂික සමුළුවේ අනුමැතිය ලබාගැනීම. දැනුත් අයි.එම්.එෆ් යෝජනා තමයි ක්‍රියාත්මක කරමින් ඉන්නේ. පාර්ලිමේන්තුවේ අනුමැතියකින් තොරව, කැබිනට් මණ්ඩලේ අනුමැතියකින් තොර මුදල් ඇමති බැසිල් රාජපක්ෂ මහත්තයාගේ තීරණය කරනවා රුපියල පා කරන්න. ඒ් අනුව බඩුමිල ඉහළ යනවා. ඔහු මේ යෝජනා ක්‍රියාත්මක කරලා රටේ ආර්ථිකය තවත් අමාරු අඩියකට ගෙනත් තියෙනවා. මේ සියල්ලේ උරුමය සර්ව පාක්ෂික සමුළුව මත පටවා අත පිස ගැනීම තමයි ඔහුගේ තුන්වන අරමුණ.
හතරවන අරමුණ තමයි දැනට මේ ආණ්ඩුවේ මග නිවැරදි කරන්න කියලා දේශපාලන පක්ෂ 11ක් එකතුවෙලා සමගි සන්ධානයක් හදාගෙන තියෙනවා. ඒක ඇතුලේ අර්බුද නිර්මාණය කිරීම තමයි හතරවන උවමනාව. ඒක දුර්වල කරන්න, ඒක බිදවට්ටන්න තමයි ඔහුගේ හතරවන අරමුණ
පස්වන අරමුණ තමයි එම පක්ෂ විසින් ඉදිරිපත් කරා තියෙන මුළු රටම හරි මගට කියන යෝජනාවලිය පිළිබඳ සමාජයේ මතුවෙලා තියෙන සංවාදය යටපත් කිරීම. ”