Friday, November 15, 2024

සහජීවනයේ ආරක්ෂාවට නීතිය පමණක් නොසෑහේ

ජාතිවාදීව හා ආගම්වාදීව කටයුතු කරමින් සංහිඳියාවට බාධා වන අන්දමින් හැසිරෙන පුද්ගලයන් සම්බන්ධයෙන් රජය හා පොලීසිය නීතිය අකුරටම ක්‍රියාත්මක කළ යුතු බව නීතිඥ සංගමයේ සභාපති යුආර්ඩී සිල්වා මහතා පසුගියදා ප්‍රකාශ කර තිබිණි. මේ ක්‍රියාදාමය සඳහා හේතු වී ඇත්තේ අපේ සමාජය තුළ දිනෙන් දින හිස ඔසවන අන්තවාදී ප්‍රවණතායැයි බැලූ බැල්මට අවබෝධ කරගත හැකිය. මුළුමහත් ලෝකය තුළම ශිෂ්ට සම්පන්න මිනිසුන් අනෙකාගේ නිදහසට හා සංස්කෘතික පැවැත්මට ඉඩ දී ඔවුන් සමඟ සහයෝගයෙන් කල් ගෙවන මොහොතක අප මේ ගමන් කරමින් සිටින්නේ කොතැනකටද යන්න විමසා බැලිය යුතුය.

බෞද්ධ ආගමික පසුබිමක් තුළ වසර දෙදහස් පන්සීයකට අධික කාලයක් තිස්සේ ශිෂ්ටාචාරගත වූවායැයි ලොවටම හඬනඟමින් ප්‍රකාශ කළද අප සමාජය එවැනි ශක්‍යතාවක් ප්‍රකට කරන්නේද යන්න ගැටලුවකි. එසේ නම් වත්මන් ලාංකිකයා ශිෂ්ටසම්පන්න කිරීමට මෙවැනි නීති ගෙන ඒමට අවශ්‍යතාවක් මතු නොවේ. මෙවැනි අවස්ථා උත්පන්න වීම පිළිබඳ සවිඥානකව සිතන්නකු තුළ නම් ඇති වන්නේ ලජ්ජාවකි. මන්ද: මෙමගින් පෙරළා ප්‍රකට වන්නේ අප රට තුළ ශිෂ්ටසම්පන්න ජන සමාජයක් නොපවතින බවයි.

කෙනකු සිවුරු පෙරවාගත් පමණින් හෝ ලෝගුව දමාගත් පමණින් ඔවුන් කිසියම් ආගමක සාරය වෙනුවෙන් කටයුතු කරන පිරිසක්යැයි විශ්වාස කළ නොහැකිය. පසුගිය රජය සමයේ හිස එසවූ එවැනි ආගමික අන්තවාදී ක්‍රියාකාරීන්ගේ හැසිරීම් දකින විට ඒ මහඟු දර්ශනය ලොවට දායාද කළ ශාස්තෘවරයා අමුඅමුවේ ඝාතනය කරන්නේ නොවේදැයි කෙනකු තුළ සංවේගයක් ඇති වේ.

කිසියම් ආගමක් හෝ ජාතියක් නිසා කිසිවකු හෝ කිසියම් කණ්ඩායමක් විසින් හෝ මෙවැනි ක්‍රියා සිදු කිරීම කිසිසේත් අනුමත කළ නොහැකිය. මන්ද: මානවයාගේ බිහි වීම හා එහි පරිණාමය පිළිබඳ දැනට සොයාගෙන තිබෙන විද්‍යාත්මක පර්යේෂණ අනුව වර්ගයා බෝ කිරීම හා ලිංගිකත්වය හැරුණු කල අනෙක් සියලු කාරණා ද්විතීයික කාරණාය. ඒවා පසුව මානවයා විසින් සිතාමතාම නිර්මාණය කරගත් දෑය. එනිසා ඒ මත තබා මනුෂ්‍යත්වය කෙෙලසීමට කෙනකු කටයුතු කරන්නේ නම් එය මානව විරෝධීය.

ස්වාර්ථය ආත්මලාභය කොට සලකන ඒ මත මුළුමහත් ජාතියම ව්‍යසනයට ඇදමන චීවර වේශධාරීන් පිළිබඳ කුමාරතුංග මුනිදාස මහතා ‘ඉළ පත’ කතු වැකියක් මඟින් දැක්වූ අදහසක් උපුටා දැක්වීම මෙහිදී යෝග්‍ය වේ.‍

“සමගිය බලය කරන්නට දරන උත්සාහය ඉතා අසීරු කරන්නෝ සමහර භික්ෂූහු ය. සමගියෙන් තොර වීම ජාතියෙක නැඟීම නො වේ. අද ඉන්දියාව වැනි රටකට ස්වීය ආණ්ඩුව තරමක් අමාරු කාරණයක් ව තිබෙන්නේ එක එක ජාතීන් අතර තිබෙන සම්බන්ධකම අඩු බැවිනි. මේ සම්බන්ධකම් හීන කරන්නට උගුල් අටවන පිරිසක් එහි ම වෙයි. එ මෙන් ම ලංකාවේ ද සමගිය ඇති කරන්නට ද පුළුවන් එක ම මඟකිනි. එය අප දෙකට නැමී ගරු බුහුමන් කරන සමහර ස්වාමීන්ගෙනි. එහෙත් අද ඔහු ම සමගිය බිඳ හෙළන පිරිසක් වීම රටේ අභාග්‍ය නිසාම විය හැකි.

“සියල්ලනට ම සමාන වූ බුද්ධ ශාසනයෙහි උස් පහත් වශයෙන් භේද නො විය යුතු ය. කුලය පමණක් සලකා ළමයින් මහණ කරන භික්ෂූහු සිටිති. එක් නිකායක භික්ෂුවක් තවත් නිකායක භික්ෂුවක හා දනට නො වඩී; නො වළඳයි. අප හදන්නට, නිසි මඟ යවන්නට, අපට බණ දෙසන්නට, අප සුඛිත කරන්නට සැරසෙන මේ භික්ෂූන් එබඳු දේ කිරීමෙන් වැදෙන පහරෙහි ඉලක්කය වන්නේ මුළු ජාතියත්, රටත් ය. සාමාන්‍ය ජනයා තුළ කුලයට නිකායට ළැදිකම් පහළ කරන මේ ස්වාමීහු ඉන් රටට වන අයහපත ටිකක් වත් සිතා දැ යි කාට නම් වැටහේ ද?

“අප ස්වාමීන් තුළ තිබෙන නිකාය භේද ආදි දහස් ගණන් භේද ඉතිරි කරගෙන වත් මහ ජනයාට හිරිහැර වන අදහස් නතර කරගත්තොත් එයින් අපට වන සෙත ඉතා මහත් බව නො කීවාට කම් නැහැ නො වේ ද?

“අප ස්වාමීන්ගෙන් බලාපොරොත්තු වන්නේ අපේ ඉතා උසස් යහපත් ගිහියාගේ උසස් ගතිවලටත් වඩා උසස් ගුණයකි. එහෙත් ඛේදය නම් පහළ පන්තියේ ම ගිහියාගෙන් ලැබෙන තරම් වත් සෙතක් අපට සමහර ස්වාමීන්ගෙන් නො ලැබීම යි.”

‘ඉළ පත’ (1936-11-21)

එසේම කුමාරතුංග මහතාගේ ‘හෙළ මීයැසියෙහි’ පෙනෙන මේ දෑ විමසා බලනු මැනවි:

පිට රටට සුර පුරට බඹ ලොවට අපගෙ ළය

දෙවන බණ දියුණුවට හිණ දවන ගිනි මැළය

වතු කුඹුරු හෙළ මුතුන් ලෙස වවමු ඉහ මොළය

කන අපගෙ බත සමඟ පවිටු ගණ මරු මුළය

(හෙළ මීයැසිය; පි.103)

මෙමඟින් ඔහු අදහස් කරන්නේ කුමක් ද? දියුණුවෙන් දියුණුවට යැම පිණිස පවතින හිණිමඟ පුලුස්සා දමන ගින්න වනාහි ආගම බව ය. එය ලංකාවටත් සෙසු මනුෂ්‍ය ලෝකයටත් නොව පරලොවට පමණක් යහපත් වන්නේය. එපමණක් නොව, මොවුහු අපගේ ‘බත’ පමණක් නොව ඉහ මොළත් කන පාපිෂ්ඨ මාරයෝ ය.’

පර ලොවට මැ සිත හැරවීමට මහ උගත්කමෙක්, මහ සමත්කමෙක් අවැසි නො වේ. උගතුන් සමතුන් ඇතිවැ, මිනිසුන්ගේ ඇස් හැයෙන, මොළ ඉඳෙන, බල වැඩෙන මං පෑදුණ හොත්, බඩ බරුවනට වනුයේ මහ විපතකි.

හෙළ මීයැසිය; පි.03

අපගේ දියුණුව වනසන ගින්න පරලොවක් පෙන්නා මිනිසුන් මුළා කරන අන්ධ භක්තියයි. පූජකයන්ට මාරයන්, පාපිෂ්ටයින්, බඩ බරුවන් ආදී නාමයෙන් හැඳින් විමෙන්ම පෙනෙන්නේ එකල සිට මේ දුස්ශීලයින් වැඩී ආ බව නොවේද?

රට, ජාතිය, ආගම වෙනුවට දෙස, බස, රැස ලෙස ඉදිරියට ගෙන ජාතික සටන මෙහෙයවීමේදී එතුමා ආගම යන්න අත් හැර ක්‍රියා කර ඇත්තේ ඇයිද යන්න වැටහී යා යුතුය. ඔහු එයට භාෂාව යන්න ඇතුළත් කළේද මානව වර්ගයා හඳුනාගැනීමේ සලකුණක් ලෙස නොව, කිසියම් ජන සමාජයක සංස්කෘතික සංඥාර්ථයක් වශයෙනි. සිංහල සංස්කෘතියේ සංකේතය ලෙස භාෂාව යොදාගත්තේ එනිසාය. ඒ බව හෙළ මීයැසියෙහිම තැනක එන මේ සටහන නිරීක්ෂණය කරනු මැනවි,

‘රට ජාතිය වවන්නට නම් බැහැරින් අපට එකතු වන්නට එන්නවුන් අප විසින් ආදරයෙන් ඇදැ බදා වැලැඳ ගත යුත්තේ යැ. එහෙත් එකකට වග බලා ගත යුත්තේයැ. සිංහල භාවය ඒ පර භාවයෙහි ගිල්වා දමන්නට යැ‘

(හෙළ මීයැසිය; 1. පි. 1)

මෙම ලිපියෙහි තැනෙක දක්වන කරුණු අනුව, එකල ‘සිලෝනිස්‘ නම් වූ ලාංකිකයන්ට ‘සිංහල‘ ජනසමාජයක් ලෙස එකට එකතු වීමට ඉඩ නොදී ම ගැන ඔහු දුක් වෙයි. එනම්: ඔහුගේ අදහස වී ඇත්තේ සිංහල මුස්ලිමුන් හා සිංහල දෙමළුන් යැයි හැඳින්වීම උචිත වන බවය. මෙයින් පැහැදිලි වන්නේ ඔහු ගේ අවශ්‍යතාව පැවතුණේ සිංහල නාමය තුළට සියලු ජාතීන් අවශෝෂණය කර එකම සිංහල ජාතියක් ගොඩනැගීමට විනා බෙදා වෙන් කිරීමට නොවන බවය.

මිනිසුන් ජාතිවාදීව හා ආගම්වාදීව කිසියම් පටු දේශපාලන අරමුණක් උදෙසා භේද භින්න කිරීම නිවටකමක් මෙන් ම මුග්ධ කමකි. ඒ මුග්ධභාවයේ තරම දැනගැනීමට එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක මහතාට අත්වූ ඉරණම කදිම සාක්ෂියකි.

එස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායක මහතා එකල නැඟෙමින් තිබුණු අධිරාජ්‍ය විරෝධී සටන සිය දේශපාලන අවශ්‍යතාව මත සඟ, වෙද, ගුරු, ගොවි, කම්කරු පංචමහා බලවේගයක් ලෙස ඉදිරියට ගෙන දේශපාලනිකව ජයග්‍රහණය කළද, ඒ දැමූ ජාතිවාදී පදනම විසින් වැදගත් දේශපාලන තීන්දු තීරණ ගැනීමට තිබූ ඉඩ වළකා ලනු ලැබීය. එතුමා දක්ෂ රාජ්‍ය තාන්ත්‍රිකයකු හා ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදියකු ලෙස ඉතා දූරදර්ශීව බලය බෙදාදෙමින් (මෙය බණ්ඩාරනායක චෙල්වනායගම් ගිවිසුම ලෙස ප්‍රකට විය) රටේ ඒකීය භාවය ඛණ්ඩනය නොවී රැකගැනීමට අපේක්ෂා කළද ඔහු විසින් කිරි පොවා වැඩූ එම ජාතිවාදී බලවේගය විසින්ම ඔහු ඝාතනය කළේය. නමුත් එදා එසේ වුණි නම්, තිස්වසරක යුද්ධයක් තබා අපේ රට මේතරම් ආගාධයකට නොවැටෙන්නට බෙහෙවින් ඉඩ තිබිණි. එකල සිංගප්පූරුව ලංකාව ආදර්ශයට ගනිමින් යාපනයේ දෙමළ බුද්ධිමතකු සමග මහතීර් මොහොමඩ් සිංගප්පූරුව ගොඩනගා සමෘද්ධීමත් රටක් බවට පත් කළේය. එනමුත් අප පටු ජාතිවාදී ආකල්පවලට යට වී මුග්ධභාවයේ ගිලී තිස් වසරකට අධික සාපලත් යුද්ධයක කොටස්කරුවන් වීමු. එනිසා මුළු මහත් ලාංකීය ප්‍රජාවම විශාල ආත්මීය වන්දියක් ගෙවා මේ ඇති කරගත් සාමකාමී පරිසරය පටු දේශපාලන වුවමණාවන්ට, ජාතිවාදී බලවේගවලට ගොදුරු වීමට ඉඩ නොතැබිය යුතුය. එනිසා වත්මන් රජයේ වගකීම වන්නේ නැවත එවැනි ව්‍යසනකාරී වටපිටාවක් ඇති නොවන ආකාරයට කටයුතු කිරීමය. එසේ කිරීමේදී සිවිල් නීතියට යටත්ව කටයුතු කිරීමට ප්‍රයත්න දැරීම බෙහෙවින් උචිතය. එය රජය ගත් නිවැරදි ක්‍රියා මාර්ගයකි.

මෙවැනි අදහසක් සමාජගත කිරීමට හේතුව කුමක්දැයි විමසූ විට නීතිඥ සංගමයේ සභාපති යූආර්ඩී සිල්වා මහතා අප සමග පවසා සිටියේ,

“මෑතදී ඇති වූ සිදුවීම්වලට පෙර සිට අවස්ථා ගණනාවකදී ජාතිවාදීව හා ආගම්වාදීව ජනතාවගේ සාමය සංහිදියාව කඩ වන අන්දමින් ඇතැමුන් ක්‍රියා කරනවා. මේ සිදු වීම් ඇති වෙනවා, යට යනවා, ආයේ මතු වෙනවා අපි දැක්කා. එය රටේ යහපැවැත්මට, ප්‍රගමනයට හා මානවීය ක්‍රියාකාරිත්වයට බාධාවක්. අපේ රටේ නීතිඥ සංගම් ගණනාවක් තිබෙනවා, ඒ නීතිඥ සංගම්වල නියේජිතයො සෑම මාසයකම රැස් වෙනවා. එහිදී අපි දැක්කා නීතිඥ වෘත්තිකයන් හැටියට මේ තත්ත්වය වැළැක්වීම සඳහා ඔවුන් අතර විශාල උනන්දුවක් පවතින බව. ඒ අනුව අපි සකච්ඡා කර එකඟත්වයකට ආවා මේ වෙනුවෙන් කිසියම් ක්‍රියාමාර්ගයක් ගත යුතුයි කියල.

එහිදී ඔවුන් කියා සිටියේ අපි කිසියම් දේශපාලනයකට හෝ වෙනත් කල්ලි කණ්ඩායම්වලට පක්ෂපාතී නොවී, නීතිඥ වෘත්තිකයන් ලෙස කටයුතු කළ යුතු බවයි. ප්‍රබල සංවිධානයක් ලෙස අපේ යුතුකම තමයි නීතියට අදාළව මේ වෙනුවෙන් කටයුතු කිරීම. ඒ නිසා මේ නීතිය පිළිබඳ මහජනතාව දැනුවත් කිරීම අපේ යුතුකමක්. මේ පිළිබඳ දැන දැනම ඉදිරියේදී මෙවැනි ක්‍රියාවන්වල ජනතාව නිරත වුව හොත් රජයට හා පොලීසියට මේ සම්බන්ධයෙන් ක්‍රියා කරන්න හැකියාවක් තිබෙනවා. නීතිය නොදැනීම සමාවට හේතුවක් නොවුණා වුණත්, හැමෝගෙම වගකීම වන්නේ මෙවැනි ක්‍රියාවන්ගෙන් ඈත්ව සිටීමයි. ඒ වගේම අපි නීතිය මේ ආකාරයට සමාජගත කළාට පස්සෙ එහෙම නැත් නම්, මේ අදහස් ජනතාව අතරට ගියාට පස්සෙ ඒ නීතිය ගණන් නොගෙන පැත්තකට වීසිකරල දාලා ඒ පිළිබඳව නොසැලකිලිමත්ව ක්‍රියා කරනවා නම් සමාවක් දෙන්න බැහැ. ඒ සඳහා අපි මේ අය දැනුවත් කරන්නේ කොහොමද යන්න සලකා බැලීමේදී අපට ඒත්තු ගියා ජනමාධ්‍ය මේ පිළිබඳව ඉතාම වගකීමකින් කටයුතු කරන්න ඕනය කියලා. ජනමාධ්‍යත් තමන්ගේ වගකීම නිවැරදිව අවබෝධ කර ගත යුතුයි. හුදෙක් සිදු වන මරණ සහ වෙනත් අපරාධ සම්බන්ධව හුවා දක්වමින් පුවත් වාර්තා කරනවා වෙනුවට ජනතාවට දැනුමක් ලබාදිය හැක්කේ කෙසේද යන්න ඔවුන්ගේ අවධානය යොමු විය යුතුව තිබෙනවා. ජන සමාජයේ පවතින අසමගිකම් නැති කර සමගිය වර්ධනය වන ආකාරයට මාධ්‍ය ක්‍රියා කළ යුතු වනවා. ඒ අනුව මින් ඉදිරියට අදාළ නීතියට පටහැනිව කිසිවකු ක්‍රියා කරන්නේ නම් ඔවුන්ගේ තරාතිරම නොබලා අපක්ෂපාතීව කටයුතු කරන ලෙස රජයටත් පොලීසියටත් අප දැනුම් දීමක් කළා. මෙහි මූලික අරමුණ වුණේ වඩා යහපත් සමජයක් නිර්මාණය කරගැනීමට තිබෙන බාධා අවම කරගැනීමයි. මෙවැනි අන්තර්ජාතික නෛතික රාමුවකට අනුව කටයුතු කළොත් ඉදිරියේදී එය අපේ රටට වාසිසහගත තත්ත්වයක් වේවි.

“මේ නීති මුලින්ම ක්‍රියාත්මක වුණේ ත්‍රස්ත ක්‍රියා සමයේ යම් යම් පිරිස් වර්ගවාදී ලෙස කටයුතු කිරීම නිසායි. එනිසා මේ දේවල් වැළැක්වීම සඳහා ප්‍රතිපාදන දණ්ඩ නීති සංග්‍රහයේ පෙර සිටම පැවතුණා. දණ්ඩ නීති සංග්‍රහය අපේ රටේ පවතින ඉපැරණිම නීතියක්. ඒ කාලෙදි පවා වර්ගවාදී ක්‍රියා කරන පුද්ගලයින් සම්බන්ධව නීතිමය වශයෙන් කටයුතු කිරීමේ අවශ්‍යතාව දැඩිව දැනී තිබුණා. එනිසා ව්‍යවස්ථදායකය විසින් ඒ පිළිබඳව ක්‍රියමාර්ග සකස් කර දණ්ඩ නීති සංග්‍රහයට ඇතුළත් කරා. 71-89 කාලවලදී ජනතා විමුක්ති පෙරමුණ අනුගමනය කළ රාජ්‍ය විරෝධී ක්‍රියාවසහ පසුව එල්ටීටීඊ ත්‍රස්තවාදී ක්‍රියා සම්බන්ධයෙන් මහජන අරක්ෂක පනත යටතේ අදිසි අවස්ථා රෙගුලාසි ගොනුු කරනු ලැබුවා. ඒ හැරෙන්න වෙනත් හැසිරීම් හා ප්‍රකෝප ගැන්වීම් හමුවේ මෙම නීතිය ක්‍රියාත්මක වූයේ නැහැ.

නමුත් මින් ඉදිරියට සංඥා මර්ගයකින් හෝ ජාතිවාදීව ආගම්වාදීව මිනිසුන් භේද භින්න වන ආකාරයට හැසිරීම, ක්‍රියා කිරීම අධිකරණය ඉදිරියේ දඩුවම් ලැබිය හැකි වරදක් වනවා,” යනුවෙනි.

මේ සාමකාමී වාතාවරණය උදා කරගැනීම සඳහා හුදු පුද්ගලයකු හෝ දේශපාලන කණ්ඩායමක් හෝ නොව, මුළු මහත් ශ්‍රී ලංකේය ප්‍රජාවම ඒ සඳහා ආත්මීය වශයෙන් වන්දි ගෙවා ඇත. එනිසා මේ සාමකාමී වාතාවරණය රැකගැනීම අප සැමගේද යුතු කමකි.

එසේම මින් ඉදිරියට ජනමාධ්‍ය වෘත්තිකයෙන් හා මාධ්‍ය ආයතන විශාල වගකීමකින් යුතුව කටයුතු කළ යුත්තේය. ඒ අනුව ජාතිවාදී ක්‍රියා සිදු කරන පුද්ගලයන්, හුදු ආයතනයේ ජනප්‍රියත්වය උදෙසා හෝ ඔවුන්ගේ පවිටු අදහස් හුවා දැක්වීම, සමාජගත කිරීම, ඊට අනුබලදීමක් ලෙස පෙනී ගිය හොත් දඬුවම් ලැබිය හැකි වරදක් බවට පත් වේ. එමෙන්ම මෙය කිසි ලෙසකින් වත් මාධ්‍ය වාරණය කිරීමේ අරමුණැතිව සිදු කරන කටයුත්තක් නොවන බවත්, මාධ්‍යයේ වගකීම වන්නේ මහජන සාමය ආරක්ෂා වන අන්දමින් ක්‍රියා කිරීම හා ජාතීන් අතර සුහදතාව වර්ධනය වන ආකාරයේ වැඩසටහන් ප්‍රචාරය කිරීම බවත් නීතාඥ සංගමයේ අදහස වී තිබේ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles