Saturday, September 21, 2024

සෑම මසකම ගෑස් මිල වෙනස් කරමින් ලාෆ් සභාපති වෑගපිටියගෙන් මිල සුත්‍රයක්!

ගෑස් සඳහා පනවා තිබූ පාලන මිල ඉවත් කිරීමත් සමඟ වෙළෙඳපොළ හැසිරීම අනුව ඉදිරියේදී සෑම මසකම ගෑස් මිල වෙනස් වන අතර ඒ සඳහා විනිවිදභාවයකින් යුතු මිල සූත්‍රයක් හඳුන්වා දෙන බව ලාෆ් ගෑස් සමාගමේ සභාපති ඩබ්ලිව්.කේ.එච්.වෑගපිටිය මහතා පැවසුවේය. 

ඒ, ඊයේ (11) කොළඹදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

පෙරේදා (10) මධ්‍යම රාත්‍රියේ සිට ලාෆ් ගෑස් මිල ඉහළ දැමීමට සිදු වුණේ ලෝක වෙළෙඳපොළේ ගෘහස්ත ගෑස් මිල ඉහළ යාම සහ රුපියල අවප්‍රමාණය වීම නිසා බවයි වෑගපිටිය මහතා සඳහන් කළේ. 

වැඩි වූ මිල ගණන් අනුව 12.5kg  ගෘහස්ත ගෑස් සිලින්ඩරයක නව මිල රු. 2840ක් වන අතර කිලෝ ග්‍රෑම් 05ක් ගෑස් සිලින්ඩරය රු. 1136ක් දක්වා ඉහළ ගොස් තිබේ.

මේ වන විට ලෝක වෙළෙඳපොල තුළ ගෘහස්ත ගෑස් මෙට්‍රික් ටොන් එකක් ඩොලර් 895ක් දක්වා ඉහළ ගොස් තිබෙන අතර එය ඩොලර් 1000 ඉක්මවනු ඇති බවයි වෑගපිටිය මහතා සඳහන් කළේ.

මේ අතර කොවිඩ් තත්ත්වය නිසා ප්‍රවාහනයේ ප්‍රශ්නද මතු වූ බැවින් සමාගම් පිරිවැය ඉහළ ගිය බවද ඔහු කියා සිටියේය.

”පිරිවැය ඉහළ ගියත් සිල්ලර මිල වැඩි කිරීමට අවස්ථාව ලැබුණේ නැහැ. පාරිභෝගික අධිකාරියෙන් එයට ඉඩ දුන්නේ නැහැ. මේ තත්ත්වය මත ගෑස් සමාගම් විශාල අලාභයක් ලැබුවා. වෙළෙඳපොළ ප්‍රවාහයට අනුව මිල ගණන් වෙනස් කිරීමට ඉඩ දුන්නේ නැහැ. ලෝක වෙළෙඳපොළේ මිල ගණන් ඉහළ,පහළ යාම අනුව තමයි රට තුළ මිල වෙනස් වෙන්නෙත්. මේ වෙද්දී ශීත සෘතුව ආරම්භ වෙලා තියෙන්නේ. නමුත්, ලබන ජනවාරි, පෙබරවාරි වෙද්දී ශීත සෘතුව අවසන් වීමත් සමඟ මිල ගණන් අඩුවෙයි. පසුගිය කාලයේ අවස්ථා 08කදී මිල ගණන් අඩු වුණා. අවස්ථා 03කදී පමණයි වැඩි වුණේ. අධික අලාභයක් ලබමින් තිබුණ නිසා තවදුරටත් සමාගම් පවත්වාගෙන යාමේ අර්බුදයක තිබුනේ.නමුත් පාලන මිල ඉවත් කරලා වෙළෙඳපොළ හැසිරීම අනුව මිල තීරණය කිරීමේ ප්‍රයෝගික වැඩපිළිවෙල සඳහා ඉඩ ලබා දුන් ජනාධිපතිතුමාට,මුදල් ඇමතිතුමාට මෙන්ම පාරිභෝගික කටයුතු ඇමතිතුමාට විශාල ලෙස ස්තුතිවන්ත වෙනවා.මේ වැඩිකර තිබෙන මිල ගණන් අනුව සමාගම් ලාභ ලබන්නේත් නැහැ. අලභයකුත් නැහැ. පසුගිය  වසර තුන තුළ කුඩා ප්‍රමාණයෙන් ගෑස් මිල වැඩි කිරීමට ඉල්ලුවත් එයට ඉඩක් ලැබුණේ නැහැ. එදා එයට ඉඩ ලැබුණා නම් අද මේ තරම් මුදලකින් වැඩි වෙන්නෙත් නැහැ.”

ගෑස් හිඟය ඇති වෙන්න ප්‍රධාන හේතුව වූයේ ද්‍රවශීලතාව සහ ණයවර ලිපි විවෘත කිරීමට ඩොලර් නැතිකම බවද වෑගපිටිය මහතා ප්‍රකාශ කරන ලදී

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles