Tuesday, September 24, 2024

සියලුම සරසවි රජයේ වෙන්න ඔින නෑ.රාජ්‍ය නොවන විශ්ව විද්‍යාල සදහා නීති වහා නීති සෑදිය යුතුයි – ජනපති

අපේ රටේ අධ්‍යාපන ක්‍රමය වර්තමාන ලෝකයට අනුගත වී නොමැති අතර විශේෂයෙන් තෘතීයික අධ්‍යාපන ක්‍රමයේ ප්‍රතිසංස්කරණ රැසක් අවශ්‍ය බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පෙන්වා දෙයි.

කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ ඊයේ (09) පස්වරුවේ පැවති ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ 2021 උපාධි ප්‍රදානෝත්සවයට එක් වෙමින් ජනාධිපතිතුමා මේ බව සඳහන් කළේය.

විශ්වවිද්‍යාල සිසුන් කුමන උපාධි පාඨමාලාවක් හැදෑරුව ද ඔවුන් සියලුදෙනාම අවම වශයෙන් තොරතුරු තාක්ෂණය පිළිබඳ යම් ප්‍රවීණතාවයක් ලබා තිබිය යුතු අතර වර්තමාන ලෝකය ජය ගැනීමට අවශ්‍ය අනෙකුත් නිපුණතාවලින් ද සමන්විත විය යුතු බව ජනාධිපතිතුමා පැවසීය.

නව ප්‍රතිසංස්කරණවලින් කිහිපයක් දැනටමත් අපගේ විශ්වවිද්‍යාල විසින් ක්‍රියාවට නංවා තිබේ. දිවයින පුරා විශ්වවිද්‍යාලවලට ඇතුළත්කර ගන්නා සිසුන් ප්‍රමාණය දස දහසකින් වැඩිකිරීම වත්මන් රජය ලැබූ එවැනිම ජයග්‍රහණයක් බව ද ජනාධිපතිතුමා සඳහන් කරනු ලැබීය.

මෙම වැඩිවීමෙන් වුව ද උසස් පෙළ සමත්ව ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාල අධ්‍යාපනයට ප්‍රවේශ විය නොහැකි සිසුන් දහස් ගණනක් තවමත් සිටී. මෙයට හේතුව රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතිය තුළ සුදුසුකම් ලබන සිසුන්ට අවස්ථාව ලබාදීමට ප්‍රමාණවත් ධාරිතාවක් නොමැතිවීමයි. අපේ තරුණ තරුණියන්ට ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාලවල ඉගෙනීමට වැඩි අවස්ථා නිර්මාණය කළයුතුය. මෙම විශ්වවිද්‍යාල රාජ්‍ය විශ්වවිද්‍යාල පමණක් වීමට කිසිසේත් හේතුවක් නැති බව පෙන්වා දුන් ජනාධිපතිතුමා ලෝකයේ හොඳම විශ්වවිද්‍යාල සියල්ලම පාහේ රාජ්‍ය විශ්වවිද්‍යාල නොවන බව ද පෙන්වා දුන්නේය. ඒවා බොහොමයක් ස්වාධීන ස්වයං-පාලන ආයතන, පුණ්‍ය ආයතන හෝ අධ්‍යාපනය කෙරෙහි අවධානය යොමු කරන ලාභ නොලබන සංවිධාන ලෙස ව්‍යුහගත කර ඇති අතර එවැනි ආයතන ශ්‍රී ලංකාව තුළ ස්ථාපනය නොකිරීමට කිසිඳු හේතුවක් නැති බවත්, මෙය සිදු කිරීමට නීතිමය රාමුව වෙනස් කළ යුතු නම් එය ද සිදුකළ හැකි බවත් ජනාධිපතිතුමා පැවසීය.

රාජ්‍ය විශ්වවිද්‍යාලවලින් පරිබාහිර උසස් අධ්‍යාපනය ලබාදෙන ආයතන උපාධි විකුණන අධ්‍යාපන කඩ බවට පවතින පැරණි විරෝධතාවල කිසිඳු අර්ථයක් නැති අතර උපාධිය ලැබීමෙන් පසු රැකියා වෙළඳපොළේ අවස්ථා ලබාදීමට හැකියාවක් නොමැති විශ්වවිද්‍යාල සිසුන් විසින් තෝරා නොගනු ඇති බව ද ජනාධිපතිතුමා සඳහන් කළේය.

රට තුළ තෘතියික අධ්‍යාපනය සඳහා වඩාත් නිදහස් පරිසරයක් ඇති කිරීම තුළින් ජාත්‍යන්තර මට්ටමේ ප්‍රමිතියෙන් යුතු කලාපීය උසස් අධ්‍යාපන ආයතන ශ්‍රී ලංකාවට ආකර්ශනය කර ගැනීමට හැකි වන අතර, එමඟින් මෙරටදී පිරිනැමෙන අධ්‍යාපනයේ ගුණාත්මකභාවය තවදුරටත් ඉහළ නංවා ගත හැකිය. ඒ අනුව කාලයත් සමග ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය ආර්ථිකයට විදේශ විනිමය ලබාදෙන ආදායම් උත්පාදකයක් බවට පරිවර්තනය කෙරෙනු ඇති බවට විශ්වාසය පළ කළ ජනාධිපතිතුමා රට ශීඝ්‍රයෙන් දියුණු වී අනාගතයේ සමෘද්ධිමත් ජාතියක් බවට පත්වීමට නම්, ශ්‍රී ලංකාවට අවශ්‍ය වන්නේ එහි උසස් අධ්‍යාපන ව්‍යුහයේ මෙම පුළුල් වෙනස් සිදු කිරීම බවද පැවසීය.

ඊයේ පැවතියේ ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ 32 වන උපාධි ප්‍රදානෝත්සවය යි.

ආරක්ෂක අධ්‍යනය, කළමනාකරණ, ව්‍යාපාර කළමනාකරණ, නීති, වෛද්‍ය, ඉංජිනේරු ප්‍රවර්ධන කළමනාකරණ, කාර්මික විද්‍යාව, සමාජ විද්‍යාව, සම සෞඛ්‍ය විද්‍යාව සහ නිර්මිත පරිසර හා අවකාශ විද්‍යාව යන විෂය ක්ෂේත්‍ර ආවරණය කරමින් විද්‍යාර්ථයින් 1408 දෙනෙකු සඳහා උපාධි පිරිනැමින. ආචාර්ය උපාධිධාරියෙකු, පශ්චාත් උපාධි සහ පශ්චාත් උපාධි ඩිප්ලෝමාධාරීන් මේ අතර වෙති. ප්‍රථම උපාධිධාරීන් ගණන 1180කි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles