Saturday, September 21, 2024


සිරිල් ගාමිණී පියතුමන් අත්අඩංගුවට ගැනීමක් සිදු නොකරන බව, CIDය නීතිපති දෙපාර්තමේන්තුව මාර්ගයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට දන්වයි

සිරිල් ගාමිණී පියතුමන් මේ මොහොතේ අත්අඩංගුවට ගැනීමක් සිදු නොකරන බව නීතිපති ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී තිබෙනවා.

අන්තර්ජාල සංවාදයකදී සිදුකල ප්‍රකාශයක් පදනම් කරගනිමින් තමන් අත්අඩංගුවට ගැනීමේ සූදානමක් පවතින බවත් එය වළක්වන අතුරු නියෝගයක් ලබාදෙන ලෙසත් සිරිල් ගාමිණී පියතුමන් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනුකල මූලික අයිතිවාසිකම් පෙත්සම අද සලකා බැලුණා.

ඒ විජිත් මලල්ගොඩ – පී පද්මන් සූරසේන සහ එල් ටී බී දෙහිදෙණිය යන විනිසුරු මඩුල්ල ඉදිරියේයි.

පාස්කු ප්‍රහාරයට අදාළව සිදු කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් රාජ්‍ය බුද්ධි සේවාවේ අධ්‍යක්ෂ ජනරාල් සුරේෂ් සලේ විසින් සිදු කරන ලද පැමිණිල්ලේ විමර්ශන අනුව තමන් අත්අඩංගුවට ගැනීම වළක්වන ලෙසට පසුගිය 03 වැනිදින සිරිල් ගාමිණී පියතුමන් විසින් අධිකරණයෙන් ඉල්ලීමක් සිදු කළා.

ඒ අනුව මෙම පෙත්සම අද දිනයේදී සලකා බැලුණේ, ශ්‍රේෂ්ඨාධිකරණය විසින්.

මෙම පැමිණිල්ලට අදාළව ප්‍රකාශයක් ලබාදීමට පැමිණෙන ලෙස සිරිල් ගාමිණී පියතුමන්ට පසුගියදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් දැනුම්දීමක් සිදු කර තිබුණ ද, උන්වහන්සේ ඒ සඳහා සතියක කාලයක් ලබාදෙන ලෙස ඉල්ලීමක් සිදු කළා.

ඒ අනුව පසුගිය 03 වැනි දිනයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත සිය නීතිඥවරුන් මාර්ගයෙන් ලිපියක් යොමු කරමින් දැනුම් දී ඇත්තේ, මේ වන විට තමන් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සමක් ගොනු කර ඇති බැවින්, ප්‍රකාශයක් ලබාදීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත එදින නොපැමිණෙන බවයි.

ඒ අනුව ශ්‍රේෂ්ඨාධිකරණයට යොමු කරන ලද අදාළ පෙත්සම සම්බන්ධයෙන් නීතිපතිවරයා අද අධිකරණය වෙත දැනුම් දුන්නේ, සිරිල් ගාමිණී පියතුමන් මේ මොහොතේදී අත්අඩංගුවට ගැනීමක් සිදු නොකරන බවයි.

පෙත්සම වැඩිදුර සලකා බැලීම ලබන වසරේ අප්‍රේල් 07 වනදා සිදුකිරීමට නියමිතයි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles