Thursday, January 23, 2025

සීනි අර්බුදය ඇති කිරීම පිටුපස පුද්ගලික බැංකු කිහිපයක්

සීනි මිළ මෙන්ම අත්‍යවශ්‍ය භාණ්ඩ මිළ ඉහළයාමට හේතු වුයේ රට තුල පවතින උග්‍ර ඩොලර් හිගය නිසා පුද්ගලික බැංකු ආයතන කිහිපයක් විසින් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන් වෙත ලබා දුන් උපදෙස් මත බව අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ආහාර ආනයනකරුවන්ගේ හා තොග වෙළඳුන්ගේ සංගමයේ ප්‍රකාශකයකු පැවසිය.

සීනි තොග හා අනෙකුත් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය මෙරටට ආනයනය කරන අවස්ථාවේදී ඇමරිකානු ඩොලරය රුපියල් 190ට පැවති අතර එය දිනෙන් දින රුපියල අවප්‍රමාණය වෙමින් ඉහළ අගයක් ගැනීම නිසාත් මෙම අර්බුදය තව දුරටත් වර්ධනය වීම හේතුවෙන් රජය විසින් සීනි තොග පමණක් ආනයනය කිරීම අත්හිටවා තිබුණි.

මේ හේතුව නිසා ත්‍යවශ්‍ය ද්‍රවය ආහාර ආනයනකරුවන් වෙත පුද්ගලික බැංකු ආයතන විසින් ලබා දී ඇති මාස 6ක ණයවර සඳහා රුපියලට සාපේක්ෂව ඩොලරය සඳහා වැඩි මුදලක් ගෙවීමට සිදුවන බවට පෙර දැනුම් දීමක් කර තිබීම නිසා අත්‍යවශ්‍ය ද්‍රවය ආහාර ආනයනකරුවන් විසින් සීනි තොග රැස්කළ බව එම ප්‍රකාශකයා සඳහන් කරයි.

අදාළ පුද්ගලික බැංකු ආයතන විසින් පුරෝකථන කළ ආකාරයට ඩොලරයේ අගය අද වන විට වැඩි වී තිබෙන අතර තම සංගමයේ ආනයනකරුවන් ඩොලරය රුපියල් 190ට පැවති කාලය තුළදී ලබා ගත් ආහාර ද්‍රව්‍ය සඳහා අද වනවිට රුපියල් 236ක මුදලක් ගෙවීමට සිදුවීමත්,සීනි ආනයනය කිරීම අත්හිටුවීමත් නිසා මෙම සීනි අර්බුදය මතු වී තිබුණි.

මෙයට අමතරව කොවිඩ් වසංගතය නිසා ආහාර ද්‍රව්‍ය නිෂ්පාදනය සිමා වීම හේතුවෙන් ලෝක වෙළඳ පොලේ ආහාර මිළ ඉහළ යාමත්,නැව් ගාස්තු ඉහළ යාමත්,දේශීය මෙන්ම ජාත්‍යන්තර වශයෙන් බදු ඉහළ යාමත් මෙම සීනි මිළ ඉහළ යාමට හේතු පාදක වී ඇත.

ජනාධිපතිවරයා විසින් පසුගිය දා නිකුත් කල අත්‍යාවශ්‍ය ආහාර සැපයීම සම්බන්ධයෙන් වූ හදිසී නීති රෙගුලාසි ඇතුළත් ගැසට් නිවේදනය නිසා තම සංගමය විසින් ආනයනය කර ඇති සීනි තොග ගබඩා රජයට පවරා ගැනීම පිළිබඳව තම සංගමය අප්‍රසාදය පළකරන බව එම සංගමය පවසයි.

මෙලෙස රජයට පවරා ගන්නා සීනි තොග සඳහා රජය විසින් මුදල් ගෙවන බවට දැනුම් දී තිබුණත් ඒ සඳහා කොපමණ මුදලක් ගෙවනවද නැද්ද කියලා නිශ්චිත වශයෙන් දැනුම් දීමක් සිදුකර නොමැත.

මෙයට මාස 2කට පෙරදී පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා සමග අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ආහාර ආනයනකරුවන්ගේ හා තොග වෙළඳුන්ගේ සංගමය පැවති සාකච්ඡාවකදී යෝජනා කලේ සීනි සඳහා පාලන මිළක් නියම කරන ලෙසත් නැතිනම් එවකට පවතින සීනි තොග රජයෙන් මිළදී ගෙන සීනි මිල ඉහළ යාම පාලනය කරන ලෙසත්ය.

එම අවස්ථාවේදී එයට එකඟ නොවන බව පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා දැනුම් දී තිබු බව අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ආහාර ආනයනකරුවන්ගේ හා තොග වෙළඳුන්ගේ සංගමයේ ප්‍රකාශක වැඩි දුරටත් සඳහන් කරයි.

මේ සම්බන්ධයෙන් පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතාගෙන් කළ විමසුමකදී ඔහු සඳහන් කළේ එම අවස්ථාවේදී රුපියල් 103 ක මුදලකට දෙන ලෙසට ඉල්ලීමක් කරනු ලැබුවද එයට එකඟ නොවූ බවයි.

තවද මේ වනවිට සඟවා ඇති සීනි තොග සඳහා රජය විසින් මුදල් ලබා දීමට සුදානම් බවත් ඒ සඳහා කොපමණ මුදලක්ද යන්න පිළිබඳව තීරණයක් තවමත් ගෙන නොමැති බව පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා වැඩිදුරටත් පැවසිය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles