Saturday, October 19, 2024

සීයට සියයක් කාබනික වගාවට‍ යොමුවීම තනිව කළ නොහැකියි

රට සීයට සීයක් කාබනික වගාවට රැගෙනයාම තනිව කළ හැකි දෙයක් නොවන බව රජය මේ වන විට ඉතා හොඳින් අවබෝධ කරගෙන ඇතැයි කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්‍ෂ මහතා පැවසීය.

එමෙන්ම ගොවිජන සේවා දෙපාර්තමේන්තු නිලධාරීන්ට හා ගොවිජනතාව මේ පිළිබඳව අවශ්‍ය දැනුම ලබාදීමේදීත් අඩුපාඩු රාශියක් සිදුවූ බව රාජ්‍ය ඇමතිවරයා සඳහන් කළේය.

රාජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසුවේ කොළඹ හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණායතනයේදී පැවති කාබනික වගාව ප්‍රචලිත කිරීමේ වැඩසටහනකට සහභාගී වෙමිනි.

කෙසේ වුවත් ඉදිරි යල කන්නයට මුහුණදීමේදී කාබනික වගාව සාර්ථක කරගැනීමට රජය විශාල උත්සාහයක් දරණ බව කී ශෂීන්ද්‍ර රාජපක්‍ෂ මහතා ඒ සඳහා රාජ්‍ය නොවන ආයතන, පෞද්ගලික ආයතන, රජයේ මේ හා සම්බන්ධ ආයතන මෙන්ම ත්‍රිවිධ හමුදාවත් සම්බන්ධ කරගෙන කටයුතු කරන බව ද ප්‍රකාශ කළේය.

චීන පොහොර නැවක් නැවත එනවා දැයි මෙහිදී මාධ්‍යවේදියෙකු ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා පැවසුවේ රජය චීනයෙන් ඇනවුම් කළේ රටට, පොළවට අහිතකර නොමැති හිතකර පොහොරක් බවත්, එම පොහොර ගුණාත්මයෙන් තොර ඒවා බව මෙරටදීත්, තත්වය හොඳ ඒවා බව සිංගප්පූරුවේදීත් හඳුනාගැනීම විශාල ප්‍රශ්නයක් බවත්ය. ඒ ගැන පරීක්‍ෂණයක් කරන බව ද රාජ්‍ය ඇමතිවරයා පැවසීය.

එම පොහොර නැව ආපසු හරවා යැවූ නමුත්,ගනුදෙනුවේදී එකඟ වූ පරිදි ගුණාත්මක පොහොර ලබාදෙන ලෙස යළි නිර්දේශ කර ඇති බවත්, ඒ අනුව ගුණාත්මක පොහොර නැවත ලැබුණොත් භාරගැනීමට සූදානම් බවත් ශෂීන්ද්‍ර රාජපක්‍ෂ මහතා කීවේය.

ශ්‍රී ලංකාවෙන් ප්‍රතික්‍ෂේප වූ පොහොර භාවිතයට සුදුසු බව සිංගප්පූරුවේදී ඔප්පුවීම තුළ නොදකින ප්‍රශ්න රාශියක් ඇති බවත්, ඒ අනුව යම් වරදක් වී ඇතැයි පෙනෙන බවත් හෙතෙම සඳහන් කළේය.

චීන කාබනික පොහොර නෞකාවේ අහිතකර බැක්ටීරියා අඩංගු නොවන බව සිංගප්පූරුවේ පරීක්ෂණයක් මගින් සනාථ වී ඇති නිසා එය මෙරටදී ප්‍රතික්ෂේප වීම සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකරන බව කාබනික පොහොර රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා පවසයි.

“හිතකර පොහොර අපි සද්භාවයෙන් ඇනවුම් කළා. නමුත් යම් යම් කාරණා අපට අවශ්‍ය විදියට සිදුනොවුණු නිසා තමයි ඒ නැව අපි නැවත හැරෙව්වෙ. අපි වන්දියක් නෙවෙයි, පළවෙනි නැවට ගෙවන්න ඕනෙ මුදල් ප්‍රමාණය තමයි අපි ගෙව්වෙ.

ඇත්තම කතාව, අපි මෙහෙන් ආපහු යවපු නැව තියෙනවානෙ, ඒක හොඳටම සුදුසුයි කියලා සිංගප්පූරුවේදී ඔප්පු වුණා. ප්‍රශ්න ගොඩක් තියෙනවා මේක ඇතුළෙ. අපි නොදකින, ඔබතුමාලාත් ඒක දැන දැනම හොයන්නෙ නැති – ඕනෙකමක් නෑනෙ ? අපි ගැනනෙ හොයන්නෙ ? – ඒක ප්‍රශ්නයක් තියෙනවා. එක පැත්තක වැරැද්දක් වෙලා තියෙනවා. මොකද, මෙහෙදි ඒක නිවැරදි ලෙස හඳුනාගන්නෙ නැතිවෙන්නත් සිංගප්පූරුවෙදි ඒක නිවැරදි පොහොරක් ලෙස හඳුනාගන්නත් ලොකු ප්‍රශ්නයක් තියෙන්න ඕනෙ. අපි ඒ ගැනත් පරීක්ෂණයක් කරනවා මේ වෙනකොට”

චීන පොහොර නැව ආපසු හරවා යැවුනත් ගනුදෙනුවේදී එකඟ වූ පරිදි ගුණාත්මක පොහොර ලබාදෙන ලෙස යළි නිර්දේශ කර ඇති බවත්, ඒ අනුව ගුණාත්මක පොහොර නැවත ලැබුණොත් භාරගැනීමට සූදානම් බවත් ශෂීන්ද්‍ර රාජපක්‍ෂ මහතා පවසනවා.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles