Monday, January 20, 2025

සුදුළුෑණු වංචාව හෙළිකළ තුෂාන්වත් සැකකරු කර නඩු දාලා! – ඒ ගැන තමන් දන්නෙත් එයාර්පෝට් එකෙන්ලු

ව්‍යාපාරික කටයුත්තක් සඳහා ඇමරිකා එක්සත් ජනපදයට යාමට තමා උත්සාහ කළ නමුත් ඒ සඳහා අවස්ථාව හිමි නොවූ බව පාරිභෝගික අධිකාරියේ හිටපු විධායක අධ්‍යක්ෂ තුෂාන් ගුණවර්ධන මහතා පවසනවා. ඇමරිකාව බලා පිටත්ව යාමට සූදානම් වූ තමා ආගමන විගමන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් රඳවාගත් බව ගුණවර්ධන මහතා සඳහන් කරයි.

ඊට හේතුව ලෙස නිළධාරීන් සඳහන් කර තිබෙන්නේ තුෂාන් ගුණවර්ධන මහතා, වැලිසර මහේස්ත්‍රාත් අධිකරණයේ ක්‍රියාත්මක වන නඩුවක සැකකරුවෙකු ලෙස නම්කර ඇති බවයි. කෙසේ නමුත් ගුණවර්ධන මහතා පවසන්නේ ඒ සම්බන්ධයෙන් මේ දක්වා තමාව දැනුවත් කර නොමැති බවයි.

ඔහු වැඩිදුරටත් පවසන්නේ තමා විසින් රටට හෙළිකළ සුදුලූණු වංචාවේම සැකකරුවෙකු ලෙස තමා නම්කර ඇති බවයි. එය බරපතල ගැටලුවක් බවද ඔහු පවසනවා.

තමාට එරෙහිව කිසිදු චෝදනාවක් අධිකරණය හමුවේ විභාග නොවන බවත් එසේ තිබියදී අධිකරණ නියෝගයක් ගත්තේ කෙසේද යන්න ජනාධිපතිවරයා, පොලිසිය භාර ඇමැතිවරයා සහ පොලිස්පතිවරයා වහාම සොයා බැලීමක් කළ යුතු බවත් ඒ මහතා සඳහන් කර සිටියේය. තමාගෙන් සැකකරුවකු ලෙස කටඋත්තරයක් හෝ ගෙන නැතැයිද විදෙස් ගමන් තහනමක් පනවා ඇති බවට දන්වා නැතැයිද ඔහු කීවේය. මෙය කාගේ අවශ්‍යතාවයට පොලිසිය සිදු කළේද යන්න වහාම හෙළි කළ යුතු බවද ඔහු කීවේය.

තමා සැකකරුවකු ලෙස නම්කර ඇත්නම් ආගමන විගමන නිලධාරීන් අත්අඩංගුවට ගෙන නීතිමය කටයුතු කළ යුතුව තිබූ බවත් එසේ නොකර තමා මුදාහරිනු ලැබුවේ තමා වරදක් කර නැතැයි එම නිලධාරීන් තේරුම්ගෙන තිබූ නිසා බවට තමා විශ්වාස කරන බවත් ගුණවර්ධන මහතා කීවේය.

තමා පාරිභෝගික අධිකාරියේ රාජකාරි කරන වකවානුවේ ලංකා සතොස ආයතනයේ සිදුවූ සුදු ලූනු වංචාව සම්බන්ධයෙන් සැකකරුවන් හෙළිකර නීතිය හමුවට පැමිණවීමට කටයුතු කළ බවත් එහි ඇතැම් සැකකරුවන් ඇප ලබා නැවත එම ආයතනයේ සේවය කරන තත්ත්වයක් තුළ තමා සැකකරුවකු වූයේ කෙසේද යන්න සිතා ගැනීමටද අපහසු බවත් ඔහු කීය.

මෙවැනි සිද්ධීන් හරහා රාජ්‍ය නිලධාරීන්ට ලොකු පණිවුඩයක් ලබාදී ඇති බවත් එක්කො හොරු සමග එකතුවී හොරකම් කිරීම හෝ නැත්නම් හොරකම් දැක නොදැක සිටීමේ ප‍්‍රතිපත්තියක් අනුගමනය කරන ලෙසට සිටින්න යැයි යන්න එම පණිවිඩය බවත් ඔහු කීවේය.

සුදු ළුෑණු සිද්ධියෙන් පසු තමාට එල්ලවූ මරණ තර්ජන සම්බන්ධයෙන් දුරකථන අංක සියලූ විස්තර ඇතුළත් සවිස්තර වාර්තාවක් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට තමා ලබාදුන්නත් ඒ සම්බන්ධයෙන් නිසි විමර්ශනයක් සිදුකර නැතැයිද ඔහු කීවේය. එවැනි පසුබිමක් තිබියදී තමා සැකකරුවකු කළේ කුමන අරමුණක් සඳහාද යන්න පොලිසිය ප‍්‍රකාශ කළ යුතු බවත්, එසේ තමාට එරෙහිව අධිකරණ නියෝග ලබාගත් සියලූම දෙනාට එරෙහිව නීතිමය පියවර ගන්නා බවත් ඒ මහතා වැඩිදුරටත් පැවසීය. මෙහිදී නීතිඥ සේනක පෙරේරා මහතාද අදහස් දැක්වීය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles