Monday, November 25, 2024

සුළු පරිමාණ ව්‍යාපාර නංවන්නේ කොහොම ද?

දෙවන ලෝක යුද්ධයෙන් පසු ලෝක ආර්ථිකය මුහුණ දෙන විශාලතම ආර්ථික අර්බුදයට මේ වන විට මුහුණ දෙමින් සිටින අතර, දේශීය හා ලෝක ආර්ථිකයේ ජීවනාලිය වන සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර නැවත පණ ගැන්වීම හා දිරි ගැන්වීමේ දීර්ඝකාලීන ක්‍රියාවලියක් ගැන දේශීය හා ජගත් ආර්ථික විද්‍යාඥයෝ සාකච්ඡා කරමින් සිටිති. මෙම ලිපියේ අරමුණ වන්නේ දේශීයව හා අන්තර්ජාතිකව සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරවල වැදගත්කම හා එය නැවත ආර්ථික ප්‍රතිසන්ධාන ක්‍රියාවලියට ඇඳෑගන්නා උපාය මාර්ගය හඳුනා ගැනීමයි.

ලෝක ආර්ථික අර්බුදය හමුවේ පුද්ගලයන්ට හා ව්‍යාපාරයන් ශක්තිමත් කිරීමට රජයන් විසින් විවිධාකාර ක්‍රියාමාර්ග අනුගමනය කර තිබේ. මේවායේ ප්‍රධාන අරමුණ වී ඇත්තේ ව්‍යාපාරිකයන්ට කෙටිකාලීනව අවශ්‍ය අරමුදල් දී ද්‍රවශීලතා ගැටලුවලට පිළියම් කිරීමයි. මෙම ක්‍රියාමාර්ග අත්‍යවශ්‍ය වන නමුත් ඒවායේ ධනාත්මක බලපෑම උපරිම කිරීමට කරුණු හතරක් ඉවහල් වේ. රජයේ උපකාර ගැනීමට සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්ට ඇති අවස්ථා පහසු කිරීම, ව්‍යාපාරයන්ට දෙන උපකාරයන්ගෙන් වන බලපෑම ගැන විශ්ලේෂණය කර ඒවායේ වෙනස් විය යුතු ස්ථාන පිළිබඳව ප්‍රතිපත්ති සම්පාදකයන්ට ප්‍රතිපෝෂණයක් කිරීමට කේන්ද්‍රයක් පිහිටුවා එම ක්‍රියාවලියේ බලපෑම වැඩි දියුණු කිරීම දීර්ඝකාලීන විසඳුම් හා ඔරොත්තු දීමේ හැකියාව කෙරේ ඇති අවධානය වැඩි කිරීම මෙන්ම නව සාමාන්‍ය සැලසුම් සකස් කිරීම මේවා වේ.

අර්බුදයෙන් පසු ආර්ථික පිබිදීමේ ගාමක බලවේගය වීමේ හැකියාව සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරයන්ට ඇති නමුත් එය කාර්යක්ෂම වීම සඳහා ඵලදායි රාජ්‍ය ප්‍රතිපත්තීන් අත්‍යවශ්‍ය වේ. ආර්ථිකය ප්‍රකෘතිමත් වීමේ හැකියාව ඒ මත රඳා පවතී.

මෙම අර්බුදයෙන් අනෙකුත් ව්‍යාපාරයන්ට වඩා සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරයන් බිඳ වැටීමට වැඩි ඉඩකඩක් පවතී. විශාල සමාගම්වලට සාපේක්ෂව සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරයන්ට අර්බුදයෙන් වන හානියන් විශාල වීමට කරුණු තුනක් බලපායි.

අඩු වන ඉල්ලුම හා ද්‍රවශීලතා ප්‍රශ්නවල බලපෑම අර්බුදයේ ආරම්භයට සාපේක්ෂව අඩු වී ඇති නමුත් ඒවායේ බලපෑම තවමත් සැලකිය යුතු මට්ටමකින් පවතී. සංවර්ධිත රටවල කරන ලද සමීක්ෂණ 15ක ප්‍රතිඵල අනුව සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරවලින් 50%කට වැඩි ප්‍රමාණයක් නිෂ්පාදනය අඩාළ වී ඇති අතර 25%ක ප්‍රමාණයක් දැනටමත් වැසී ඇත. චීනයේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරයන්ගෙන් 2/3 අර්බුදය ආරම්භයේදී මාස දෙකක පමණ කාරක ප්‍රාග්ධන අවශ්‍යතා සපුරාලිය හැකි මට්ටමක පැවතුණි. එක්සත් ජනපදයේ එය දින 27ක ප්‍රාග්ධන අවශ්‍යතාවකට සීමා වී තිබුණි. ඉල්ලුම අඩු වීම හා කාරක ප්‍රාග්ධන දුර්වලතා සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරයන් අනෙක් මහා පරිමාණ කර්මාන්තවලට සාපේක්ෂව කලින්ම අර්බුදයට ගොදුරු වීමේ වැඩි ඉඩකඩක් පවතී.

නම්‍යශීලී නොවන සැපයුම් වක්‍ර හා නිෂ්පාදන ක්‍රියාවලි සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත අර්බුදයෙන් වැඩි හානියට ලක් වීමට තවත් හේතුවකි. අර්බුදයේ හේතුවක් ලෙස ඉල්ලුමේ අඩු වීමට සාපේක්ෂව අමුද්‍රව්‍ය ලබාගැනීම හා නිෂ්පාදන ක්‍රියාවලිය සකසා ගත නොහැකි වන්නේ සුළු හා මධ්‍ය පරිමාණ අමුද්‍රව්‍ය සපයා ගන්නා සැපයුම් දාම ඉතා දිගු වීමත්, සංකීර්ණ වීම හා අවසානයේ අන්තර්ජාතික වෙළෙඳාම මත ක්‍රියාත්මක වීම නිසාත්ය. අර්බුදය හේතුවෙන් අන්තර්ජාතික වෙළෙඳාමට වන බාධා මුලින්ම දැනෙන්නේ සුළු හා මධ්‍ය පරිමාණ නිෂ්පාදකයන්ටය. සමාජ දුරස්ථාභාව වැනි රෝග පැතිරයෑම වළක්වා ගැනීමේ පියවර අනුගමනය කිරීමට සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තවල නිෂ්පාදන ක්‍රියාවලියට එකතු කිරීම අපහසු වන්නේ එම ක්‍රියාවලි ඒ සඳහා පෙර සැලසුම් සමඟ සකසා නොමැති වීමත්, ඉඩ කඩ ප්‍රශ්නත් නිසාවෙනි.

අර්බුදයේ බලපෑම

තවද සමහර කර්මාන්තවලට අර්බුදයෙන් වන හානිය අනෙක් අංශවලට වන හානියට වඩා වැඩි වන්නේ එම අංශවල ඉල්ලුම හා සැපයුමට අර්බුදයේ බලපෑම දීර්ඝකාලීන වන නිසාය. එම අංශ අතර සිල්ලර වෙළෙඳාම, සංචාරක හා හෝටල්, ආහාර සැපයීම්, විනෝදාත්මක අංශ හා ඉදිකිරීම් ක්ෂේත්‍රයි. මෙම ක්ෂේත්‍ර සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරයන්ගේ එකතුවෙන් වැඩි ප්‍රමාණයක් නියෝජනය වන්නේ මේවායේ ඉල්ලුම අවට ප්‍රදේශයන්ගෙන්ම සිදුවීමත් කර්මාන්තය ඇරඹීමට ඇති බාධක අවම වීමත් නිසාය. උදාහරණයක් ලෙස ආසියාන් සඟරාවටම අනුව ආසියාවේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරයන්ගෙන් 60% – 70% අතර මෙම ක්ෂේත්‍රයන්හි විහිදී පවතී.

සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර ඕනෑම ආර්ථිකයක් තුළ වඩා වැදගත් වන්නේ ඔවුන් සේවා යෝජකයන් වන නිසා පමණක් නොව සැපයුම් දාමයන් තුළ විශාල සමාගම්වල පාරිභෝගිකයන් ලෙස ද කටයුතු කරන නිසාය. ඔවුන් අර්බුදයේ නරකම කාලවලදී නොනැසී පසුව ඉක්මනින් නැවතත් ආරම්භ කරන වේගය ආර්ථිකයේ නැවත නැඟිටීමේ ජීවනාලියයි.

සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර පිබිදෙන ආර්ථික රටවල සේවා නියුක්තියෙන් 45%ක් පමණ ද සංවර්ධිත රටවල සේවා නියුක්තියෙන් 70%ක් පමණ ද සලසාලයි. මෙම ආයතන හදිසියේ වසා දැමීමෙන් රට තුළ උග්‍ර සේවා වියුක්තියක් ඇති කළ හැකි අතර ඇමරිකා එක්සත් ජනපදයේ සුළු හා මධ්‍යපරිමාණ කර්මාන්තවලින් 50%ක් දැනටමත් තම සේවකයන් සේවයෙන් පහ කර ඇත.

සැපයුම් දාම අනෙක් පසින් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරවල විශාල සමාගම්වල ඉල්ලුම් දාමයේ කොටස්කාරයන් බැවින් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර ආරක්ෂා කිරීම සමස්ත ආර්ථිකයේ ඉදිරි ගමනට රුකුලක් වනු ඇත. සමස්ත ක්‍රියාවලියේ රැකුමට ප්‍රාදේශීය මට්ටමෙන් කුඩා ව්‍යවසායකයන් ආරක්ෂා කිරීම කළ යුත්තේ එසේ නොවුණ හොත් ප්‍රාදේශීය හෝ ග්‍රාමීය දියුණුව අත්කර ගැනීම දුෂ්කර වන අතරම මහා පරිමාණ කර්මාන්තවල දීර්ඝකාලීන පැවැත්මට ද බලපෑම් වන නිසාය.

ලෝකය පුරා රජයන් ගණනාවක් නොයෙකුත් ක්ෂණික අරමුදල් ප්‍රතිලාභ මෙන්ම දීර්ඝකාලීන ශේෂ පත්‍ර ආරක්ෂා කිරීමේ වැඩපිළිවෙ‍ෙල් ද (ණය වගවීම් මඟින්) සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර නඟාසිටුවීමට ක්‍රියාත්මක කර ඇත. තවත් රජයන් මේ සඳහා තව තවත් සහන දීමට සැලසුම් කරමින් සිටී. රජය විසින් දෙන සහයෝගයෙන් උපරිම ඵල ගැනීමට පනතේ සඳහන් කරුණු කෙරෙහි ද අවධානය යොමු කිරීම වටී.

විෂමාචාර ක්‍රියා

බොහෝ ආණ්ඩු සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ට දුන් ආධාර බිම් මට්ටම දක්වා ළඟා වීමේ ක්‍රියාවලියේ නොයෙකුත් විෂමාචාර ක්‍රියා නිසා අනුමැතිය ප්‍රමාද වීම් අවසාන මොහොතේ අයදුම් ක්‍රමවල වෙනස්වීම් හා සුදුසුකම් ලැබීම පිළිබඳ විවිධාකාර අර්ථදැක්වීම්වලට භාජනය විය හැකිය.

ආධාර දීමේ වැඩපිළිවෙළ අවශ්‍ය පාර්ශ්ව සියල්ලේම ඒකාබද්ධ ක්‍රියාවලියකට යටත් නොවීම නිසා ආධාර ක්‍රමවේදවල අරමුණු අතර ගැටුම් හටගනී. ප්‍රතිපත්ති සම්පාදකයන්, මූල්‍ය ආයතන, ‍පෞද්ගලික හා රාජ්‍ය තාක්ෂණික සහාය දෙන්නන්, රාජ්‍ය නොවන ආයතන හා විදේශ ආධාර දෙන ආයතන අතර මනා ඒකාබද්ධ වැඩපිළිවෙළක අවශ්‍යතාවය සුළු හා මධ්‍ය ව්‍යාපාරිකයන්ට මේ අවස්ථාවේ වෙනත් කිසිදු ලෙසකට නොවන ලෙස අත්‍යවශ්‍ය වී තිබේ.

රජයේ ආධාර වැඩපිළිවෙළ මේ අවස්ථාවේ අර්බුදයන් ඇති ආයතන සඳහා කෙටිකාලීන පැවැත්ම සඳහා ආධාර දෙමින් ඇත. මෙම ආධාර අතර ණය වාරික ගෙවීම් පමා කිරීම ආයතනවලට අගයන් බැර කිරීම (වැටුප් ගෙවීම් හා රාජ්‍ය ගෙවීම් අඩු කිරීම තුළින්) හා ශේෂ පත්‍ර තුලනය කිරීම් (ණය සඳහා වගවීම් තුළින්) වේ. කෙසේ වෙතත් රාජ්‍ය ආධාර අවසන් වන අවස්ථාවලදී සමස්ත ඉල්ලුම අඩුවීමකට හෝ නව සාමාන්‍යයට මුහුණ දීමට අවශ්‍ය පරිදි දීර්ඝකාලීන උපායමාර්ගික ආධාර දීමට අවධානය යොමු වී ඇත්තේ ඉතා සීමිත වශයෙනි. මේ නිසා සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර නව යථාර්ථයට මුහුණ දීමේ දීර්ඝකාලීන සැලසුම් සඳහා අවධානය යොමු කිරීම වටනේය.

දැනට පවතින සහනාධාරයන්ගේ ධනාත්මක බලපෑම උපරිම කිරීම සඳහා ප්‍රධාන ක්‍රියාමාර්ග හතරක් ඉතා වැදගත් වේ. එයින් දෙකක් අර්බුදයේ බලපෑම අවම කිරීම සඳහා හදිසි ක්‍රියාමාර්ග වන අතර අනෙක් දෙක සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරවල දීර්ඝකාලීනව ශක්තිමත් කිරීමට ඉවහල් වේ.

ඉන් පළමු ක්‍රියාමාර්ගය වන්නේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්ට ආධාර ලබා ගැනීම පහසු කිරීම සඳහා ප්‍රතිපත්ති සම්පාදකයින් සමඟ ඍජුව වැඩ කිරීමට අවස්ථාව දීමයි. එමඟින් ඔවුන්ට සුදුසු ආධාර පැකේජය තෝරා ගැනීම අයදුම්පත් අනුමත කරවා ගැනීම හා ආධාර ගැනීමේ වැඩපිළිවෙළට ඍජුව සම්බන්ධ විය හැකිය. මෙවැනි රාජ්‍ය මැදිහත්වීම් සාර්ථකව ක්‍රියාත්මක කර ඇති රටවල් ඍජු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සමඟ සම්බන්ධ වීමට එක් ආයතනයක් නම් කර ඇති අතර අනෙකුත් සියලු ආයතන මෙම ආයතනය සමඟ සම්බන්ධ වේ. මෙය ඍජු රාජ්‍ය මැදිහත් වීමයි.

අවශ්‍ය සහනාධාර පැකේජය තෝරා ගත් පසු සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරවලට පහසුවෙන් ආධාර ගත හැකි විය යුතුයි. සුළු පරිමාණ ණය, අරමුදල් හා ණය සඳහා වගවීම් දීර්ඝ අයදුම් ක්‍රියාවලියක් හරහා නොගොස් අවම තෝරතුරු මත ලබා දිය යුතුයි. මෙම ව්‍යාපාර සතුව විශාල සේවකයන් හා සම්පත් නොවන බැවින් දීර්ඝ ඇගයීම් ක්‍රියාවලි සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර ආධාර අවශ්‍ය අවස්ථාවක එය නොගැනීමට ඉවහල් විය හැකියි. රජය මේ සම්බන්ධයෙන් ධනාත්මක පියවර කිහිප විටක් රැගෙන ඇති බව පසුගිය වසර ගැන අවධානය යොමු කළ විට වැටහේ.

ව්‍යාපාර කේන්ද්‍ර

මේ සහනාධාර ක්‍රියාවලියේ බලපෑම උපරිම කිරීමට ව්‍යාපාර හා රජය අතර සම්බන්ධීකරණය සඳහා සුළු හා මහා පරිමාණ ව්‍යාපාර කේන්ද්‍රයන් පිහිටුවිය යුතුයි. ප්‍රතිපත්ති සම්පාදනයන්ට අවශ්‍ය ආධාර සම්බන්ධ ප්‍රතිපත්තිවල බලපෑම ගැන ප්‍රතිපෝෂණයක් ලබා දී අවශ්‍ය අවස්ථාවල ප්‍රතිපත්ති හෝ ක්‍රියාවලිවල වෙනස්කම් සිදු කිරීමට මෙන්ම සියලු උපකාර ආයතනවල ක්‍රියාවලි සම්බන්ධීකරණය කර සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර යළි නඟා සිටුවීමේ යන්ත්‍රණය වීම මෙම කේන්ද්‍රය පිහිටුවීමේ අරමුණයි.

කර්මාන්ත අංශ වශයෙන් මෙන්ම ප්‍රාදේශීය වශයෙන් ද සුළු මධ්‍ය පරිමාණ කර්මාන්ත පිළිබඳ තොරතුරු මෙමඟින් මෙම කේන්ද්‍රය තුළ එක් රැස් වේ. අවශ්‍ය ව්‍යාපාරික පරිසරය නිර්මාණය කිරීමේදී මෙම තොරතුරු ඉතා වැදගත් වේ.

අර්බුදයෙන් පසු ආර්ථිකය නව සාමාන්‍යය කරා වේගයෙන් රැගෙන යෑම තීරණය වන්නේ සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත අර්බුදය තුළ හා ඉන් ඔබ්බට ව්‍යාපාරික ලෝකය තුළ රක්ෂිත වී ඉන් පසු ලෝක වෙළෙඳාමේ තරගකාරිත්වය තුළට අවතීරණ වන වේගය මතය. මේ වේගය තීරණය කළ හැකි කරුණු තුනක් අවධාරණය කළ යුතුයි.

රාජ්‍ය මිලට ගැනුම්වලින් අල්ප මාත්‍රයක් පමණක් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්ට අවස්ථාව ලැබේ. ඉන් අති බහුතරය රාජ්‍ය ආයතන හෝ මහා පරිමාණ ව්‍යාපාරිකයන් මඟින් සිදු වේ. පරිපාලන සීමා අඩු කරමින් රාජ්‍ය මිලදී ගැනුම් ක්‍රියාවලියට සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් අද්දවා ගැනීම ඔවුන්ගේ දීර්ඝකාලීන ප්‍රගතිය සඳහා වේ.

සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්ගෙන් උපරිමය රටේ ආර්ථිකය තුළට ලැබෙන්නේ ලෝක සැපයුම් දාම වලට ඔවුන් සම්බන්ධ වීම තුළය. වසංගතය අන්තර්ජාතික වෙළෙඳාම හා සැපයුම් දාමවලට හානිකර ඇති අවස්ථාවක ආයතන තුළින්ම අන්තර්ජාතික සැපයුම් දාමවලට සම්බන්ධ වීමට නැත. මෙනිසා ජාතික අපනයන ක්‍රියාවලියේ මධ්‍යයටම සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර තල්ලු කිරීමෙන් ඔවුන්ගේ අඛණ්ඩ සහභාගිත්වය සාක්ෂාත් වේ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles