Friday, September 20, 2024

සෙලින්කෝ ලයිෆ් ප්‍රණාම වැඩසටහනින් ලබාදුන් මුදල මිලියන 120 ඉක්මවයි

මෙරට ජීවිත රක්ෂණ අංශයේ ප්‍රමුඛයා වන සෙලින්කෝ ලයිෆ් විසින් දක්ෂ දරුවන් හට ශිෂ්‍යත්ව ලබාදෙමින් මෙරට අනාගත නායකයන් වෙනුවෙන් ආයෝජනය කිරීමේ ‘ප්‍රණාම’ ශිෂ්‍යත්ව වැඩසටහනේ 16 වැන්න යටතේ ලබාදුන් ශිෂ්‍යත්ව 160 සමඟින් මේ වන විට ප්‍රදානය කර තිබෙන සමස්ත මුදල් ප්‍රමාණය රුපියල් මිලියන 120 සීමාව ඉක්මවා ගොස් ඇත.

මේ ශිෂ්‍යත්ව ලබා ගැනීම සඳහා දිවයිනේ සෑම දිස්ත්‍රික්කයක්ම නියෝජනය කරන පාසල් දරුවන් තම මවුපියන්, ගුරුවරුන් සමඟ කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ (BMICH) ප්‍රධාන ශාලාවට පසුගිය දා රැස් වූ අතර, මේ ශිෂ්‍යත්ව ප්‍රදානෝත්සවය අති උත්කර්ෂවත් අයුරින් පවත්වන ලදී. මෙහි දී අධ්‍යාපන අංශයේ දී මෙන්ම පාසල් බාහිර ක්‍රියාකාරකම්වල දී දස්කම් දැක් වූ සිසු දරුවන් වෙනුවෙන් ශිෂ්‍යත්ව පිරිනැමුණි.

සෙලින්කෝ ලයිෆ් සමාගම විසින් ප්‍රදානය කළ මේ ශිෂ්‍යත්ව දිනාගත් සිසුන් අතරට 2016 වසරේ දී ශිෂ්‍යත්ව විභාගයෙන් ඉහළින් සමත් වූ සිසු දරුවන් 28 දෙනකු, 2015 අ.පො.ස. (සා/පෙළ) විභාගයෙන් විශිෂ්ට ලකුණු ලැබූ සිසු දරුවන් 24 දෙනකු, 2015 අ.පො.ස. (උ/පෙළ) විභාගයෙන් ඉහළ ලකුණු ලැබූ සිසු දරුවන් 98 දෙනකු සහ ක්‍රීඩා, සංස්කෘතික, කලා, නාට්‍ය හෝ නවෝත්පාදනය අතින් ජාතික හෝ ජාත්‍යන්තර වශයෙන් සම්මානයට පාත්‍ර වූ සිසු දරුවන් 10 දෙනකු ඇතුළත් විය.

මේ උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙසින් සහභාගී වූ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උප කුලපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා මෙසේ අවධාරණය කළේය.

‘ශිෂ්‍යත්වයක් කියන්නේ ජීවිතයක්’ ශිෂ්‍යත්වයක් ලබාදීම තුළින් ජීවිතයක් ධනාත්මකව වෙනස් කිරීමට හැකියාව ලැබෙන නිසා තමන් එසේ පවසන බව මහාචාර්යවරයා සඳහන් කළේය. ඔහු මෙහි දී පැවසුවේ රටක් ඉදිරියට යාමට මනා සෞඛ්‍යයක්, වගාවන් සරුවීමට වර්ෂාව මෙන්ම අධ්‍යාපනයේ ප්‍රගතිය අත්‍යවශ්‍ය බවයි. ‘අපගේ ජනතාව හොඳින් අධ්‍යාපනය ලැබුවොත් අප රට දියුණු කිරීමට ගතවනු ඇත්තේ අවුරුදු පහක් වැනි කාලයක් පමණයි.’ යනුවෙන් මහාචාර්ය අමරතුංග මහතා වැඩිදුරටත් පැවසීය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles