Sunday, September 22, 2024

හම්බන්තොටට ආ විකිරණ අපද්‍රව්‍ය සහිත නැව වරායෙන් පිටතට…

කාර්මික දෝෂයක් හේතුවෙන් හම්බන්තොට වරායට පැමිණි චීන නෞකාවක් තුල විකිරණශීලි ද්‍රව්‍යක් වන “යුරේනියම්” තිබීම නිසා එම නෞකාව වහාම වරාය පරිශ්‍රයෙන් ඉවත් කර ගන්නා ලෙස දැනුම් දුන් බව පරමාණුක බලශක්ති නියාමන සභාවේ අධ්‍යක්ෂක ජනරාල් එච්.එල්. අනිල් රංජිත් ප්‍රකාශ කර සිටිනවා.

සිදුකළ විමසීමකදී අධ්‍යක්ෂක ජනරාල්වරයා සඳහන් කලේ නෙදර්ලන්තයේ සිට චීනය බලා ගමන් කරමින් තිබු බහාලුම් ප්‍රවාහන නෞකාවක ඇතිවූ හදිසි කාර්මික දෝෂයක් හේතුවෙන් එම නෞකාව අලුත්වැඩියාවට ලක් කිරීමට හම්බන්තොට වරායට ප්‍රවේශ වීම සඳහා මෙරට පිහිටි අදාළ නෞකා සමාගමේ ඒජන්තවරයා විසින් ඉල්ලීමක් සිදුකර ඇති බවත් ඒ අනුව නෞකාවට හම්බන්තොට වරායට පැමිණීමට වරාය අධිකාරිය විසින් අවසර ලබාදී ඇති බවයි.

එලෙස වරායට ඇතුල්වන නෞකාවේ ප්‍රවාහනය කරනු ලබන භාණ්ඩ සහ ද්‍රව්‍ය සම්බන්ධයෙන් කල් තියා දැනුම් දීමක් සිදුකළ යුතුව තිබුනත් අදාළ දේශීය ඒජන්තවරයා විසින් විකිරණශීලි ද්‍රව්‍ය එහි ඇති බවට දැනුම් දීමක් සිදුකර නොමැති බවයි පරමාණුක බලශක්ති නියාමන සභාවේ අධ්‍යක්ෂක ජනරාල් එච්.එල්. අනිල් රංජිත් සඳහන් කලේ.

කෙසේ වුවත් අදාළ නෞකාවේ විකිරණශීලි ද්‍රව්‍ය අඩංගු බවට හම්බන්තොට වරායේ ප්‍රධාන පාලක නිලධාරිවරයා විසින් තොරතුරු අනාවරණය කර ගැනීමෙන් පසුව පරමාණුක බලශක්ති නියාමන සභාව වෙත දැනුම් දුන් බවත්, ඒ අනුව වහාම නෞකාව වරායෙන් ඉවත් කර ගැනීමට දැනුම් දුන් බවයි අධ්‍යක්ෂක ජනරාල්වරයා ප්‍රකාශ කර සිටියේ.

මේ සම්බන්ධයෙන් නාවික හමුදාවේ මාධ්‍ය ප්‍රකාශක කපිතාන් ඉන්දික ද සිල්වා ගෙන් සිදුකළ විමසීමකදී ඔහු සඳහන් කර සිටියේ අදාල නෞකාව මේ වන විට හම්බන්තොට වරායෙන් පිටත නැංගුරම්ලා ඇති බවයි.

මේ අතර විකිරණශීලි ද්‍රව්‍ය අඩංගු නෞකාවක් හම්බන්තොට වරායට පැමිණ ඇති බවට සමාජ මාධ්‍ය වල පළවන වාර්තා සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කිරීමක් සිදුකරන ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ද අද පාර්ලිමේන්තුවේදී රජයෙන් ඉල්ලීමක් සිදුකරනු ලැබුවා.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles