භික්ෂූනට පහර දීම, ලේ සෙලවීම පමණක් නො ව; උන් වහන්සේට පරිභව කිරීම පවා බරපතළ පාපකර්ම ලෙස දහමේ සඳහන් ය. ශාසනය අර්බුදයට ලක් වන ඕනෑ ම අවස්ථාවක දී ද, කසාවත පීඩනයන්ට ලක් වන ඕනෑ ම අවස්ථාවකදී ද බෞද්ධ සමාජය නැඟී සිටී. මෙබඳු ආස්ථානයක් පසුගිය දා ද දැකගන්නට ලැබිණි. එක අතෙකින් දකුණේ බෞද්ධ ප්‍රජාව කසාවතට අත නොතබනු යනුවෙන් විරෝධතා දැක්වූහ. තව අතෙකින් අපේ උත්තරීතර සභාව හෙවත් පාර්ලිමේන්තුවේ දී ඒ ගැන උණුසුම් වාද – විවාද ඇති විය.
චීවරය යනු හුදු ආගමික සංකේතයක් පමණක් නො ව ; එය මිනිස් සමාජයේ ගෞරවයට හා භක්තියට හේතු – සාධක වූ සංකල්පයක් යැයි කීම වඩා නිවැරැදි ය. එහෙත් පසුගිය හත්වන දා අම්බලන්තොට දී දැකගන්නට ලැබුණු සිද්ධි දාමය අපට කියන්නේ චීවරය ද, භික්ෂූන් වහන්සේ ද යම් තරමකින් ප්‍රශ්න කිරීමකට ලක් වී ඇති බව ය.
එක් අතෙකින් මහ සෙනඟ මැද භික්ෂූන් වහන්සේ පීඩනයට ලක්වන බවක් දැකගන්නට ලැබිණි. තව අතෙකින් භික්ෂූන් වහන්සේ ද ප්‍රචණ්ඩ ලෙස හැසිරෙන බවක් දක්නට ලැබිණි. කෝටියක් සංවර ශීලය ආරක්ෂා කළ යුතු භික්ෂූන් වියරු ලෙස හැසිරීම කෙතරම් අභාග්‍යයක් ද?
එදා පැවැති සංදර්ශනයට අදාළ ඇත්ත – නැත්ත විමර්ශනය සඳහා මූලික සිද්ධිය වෙත නැවත ගමන් කළ යුතු ය. විරෝධතා මතු වන්නේ රුහුණු සංවර්ධන සැලැසුම ආරම්භ කළ දිනයේ ය. එම සංවර්ධන සැලැසුම ආරම්භ කිරීම සඳහා ශ්‍රී ලංකාවේ චීන තානාපති ඇතුළු විදේශීය නියෝජිත පිරිසක් ද පැමිණ සිටියහ. විරෝධතා කරුවන්ගේ ඉලක්කය වී තිබුණේ අදාළ උත්සවය මුළුමනින් ම කඩාකප්පල් කිරීම ය. එසේ වූවා නම් රජය අන්තර්ජාතික වශයෙන් විශාල අපකීර්තියකට ලක්වන අතර ම අනාගත ආර්ථික සැලැසුම් ද කඩාකප්පල් වනු ඇත. එහි පාඩුව විඳගත යුත්තේ සමස්ත ජනතාව ය.
ශ්‍රී ලංකාව යනු ණයභරිත ආර්ථිකයක් සහිත රාජ්‍යයෙකි. රට ඉදිරියට ගෙන යෑම සඳහා අත්‍යවශ්‍ය සාධකයක් ලෙස විෙද්ශීය ආයෝජනය යන්න පුරෝකථනය වී ඇත. හිටපු ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන මහතා වරක් කියා සිටියේ රටක් දියුණු වීම යනු ඒ රටේ ජනතාවට වැඩි – වැඩියෙන් රැකියා සැපයීම බව ය. එය අදටත් ගැළපෙන අපූරු ප්‍රකාශයකි. වැඩියෙන් රැකියා සැපයීමට නම්; වැඩියෙන් නිෂ්පාදන කර්මාන්ත ඇති කළ යුතු ය. කර්මාන්ත ඇති කිරීමට අවශ්‍ය ප්‍රාග්ධනය අපට නැත. එය විදේශයන් වෙතින් සපයාගත යුතු ය. රජය එම උපාය මාර්ගය අනුගමනය කරමින් හම්බන්තොටට කර්මාන්ත පුරයක් ඇති කිරීමට යයි. විරෝධතාකරුවන් සටන් කරන ලද්දේ ඊට එරෙහිව ය. දැන හෝ නො දැන භික්ෂූහු එහි පෙරමුණ ගත් හ.
බුදුන්ගේ ඉගැන්වීමට අනුව බුද්ධ පුත්‍රයා දුක පිළිබඳ යථාර්ථය වටහාගෙන එයින් නික්ම යෑමේ මාර්ගය සොයා ගත යුතු ය. දුක දෙයාකාර වේ. එක සමාජ දුක පිළිබඳ සත්‍යය යි. දෙක පුද්ගල දුක හෙවත් සාංසාරික දුක පිළිබඳ සත්‍යය යි. මේ සිද්ධියෙන් පෙනී යන්නේ සමාජ දුක පිළිබඳ සත්‍යය ඇතැම් භික්ෂූන් වටහාගෙන නැති බව ය.
හම්බන්තොට කලාපය අතිශය දුෂ්කර ශුෂ්ක ප්‍රදේශයක් ලෙස හඳුනාගෙන තිබේ. වරායක්, ගුවන් තොටක්, අන්තර්ජාතික ක්‍රිකට් පිටියක් තිබුණ ද එහි ජීවත්වන තරුණ ප්‍රජාවට රැකියා නැත. රැකියා සම්පාදනය අතින් අඩු ම ප්‍රතිලාභ ලබන දිස්ත්‍රික්කයක් ලෙස හම්බන්තොට හැඳින්වීම නිවැරැදි ය. එම ප්‍රදේශය තුළ දහස් ගණනකට රැකියා සපයන කර්මාන්ත පුරයක් ඇති කිරීම දහමට අනුව පුණ්‍ය කර්මයකි. එහෙත් භික්ෂූන් එය වටහා ගත්තේ නැත.
මේ විරෝධතාව තුළ භික්ෂූන් ගේ හැසිරීම දුටු බෞද්ධයෝ කම්පා වූහ. ඇතැම් චීවරධාරියෝ සිවුර ගලවමින් ද, නැවත හදමින් ද පරුෂ වචන කියන්නට වූ හ. ඇතැම්හු ගල්මුල් රැගෙන පොලීසියට පහර දෙන්නට වූ හ. මේ භික්ෂූන් වෙතින් කුමන ආකාරයක හෝ සංවරයක් දැකගන්නට නො ලැබිණි. සමහරුන්ගේ මතය වූයේ මේ සැබෑ භික්ෂූන් නො වන බව ය. එක් මන්ත්‍රීවරයෙක් කියා සිටියේ මෙය ශාසනය විනාශ කිරීම සඳහා සැලැසුම් කළ කුමන්ත්‍රණයක් බව ය. මේ මඟින් බෞද්ධ භික්ෂුවත් බුදු දහමත් විවේචනයට ලක් විය.
ඒකාබද්ධ විපක්ෂය මේ අවස්ථාව විග්‍රහ කරන්නේ වෙනත් ආකාරයකට ය. ඩලස් අලහප්පෙරුම මන්ත්‍රීවරයා චෝදනා කරන්නේ විරෝධතාකරුවනට කරණීය මෙත්ත සූත්‍රය සජ්ඣායනා කිරීමට වත් අවස්ථාව නොදුන් බව ය. සූත්‍ර දේශනාවලට යන අය මහ පාරේ ටයර් සෑයවල් හැදිය යුතු ද? අම්බලන‍්තොට නගරයේ සිට නෝනගම හන්දිය තෙක් මහ පාරේ ටයර් ගොඩවල් දමා පුළුස්සා තිබිණි. කතරගම ප්‍රධාන මාර්ගයේ වාහන ධාවනය පැය අටක් තිස්සේ නැවතී තිබිණි. පොලිස් ජීප් රථ දෙකකට ද ශ්‍රීලංගම බස් රථයකට ද පහර දී පොඩි පට්ටම් කර තිබිණි. ඉතින් එය සාමකාමී විරෝධතාවක් වන්නේ කෙසේ ?
සංදර්ශනය නැරඹූ අයට දැකගන්නට ලැබුණේ පොලිස් නිලධාරීන් සමඟ හරි – හරියට මල්ලව පොර තරගවල යෙදෙන භික්ෂූන් වහන්සේ ය. උන්වහන්සේලා කුපිත වී සිටි බව ද, දේශපාලන උගුලක සිරකරුවන් වී සිටි බව ද ඉතා පැහැදිලිය. මෙබඳු අවස්ථාවක පොලීසිය අසරණ බව ද කිව යුතු ය. එක අතෙකින් මානව හිමිකම් තිබේ. එක අතෙකින් වගකීම් ඉටු කළ යුතු රාජකාරිය තිබේ. ඔවුන් රාජ්‍ය දේපොළ මෙන් ම මහජනයා ද ආරක්ෂා කළ යුතු ය. එහෙත් විරෝධතාකරුවන්ට පහර දීම නොකළ යුතු ය. විරෝධතාකරුවන්ගේ පහරකෑම්වලට ලක්වන පොලිස් නිලධාරීන් තුවාල සහිතව බිම වැටෙන අයුරු කැමරා කාචවල සටහන් වී තිබේ.
පොලීසිය මේ අවස්ථාවේ ක්‍රියා කළ අන්දම ගැන විවේචන තිබෙන්නට පුළුවන. එහෙත් මිනිස් ඝාතනයකින් තොරව ගැටලුව නිරාකරණය කර ගැනීමට පොලීසිය සමත් වී තිබේ. එය ජයග්‍රහණයෙකි. මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ පොලීසිය රතුපස්වල දී ක්‍රියා කළේ මේ අන්දමට නො වේ. ගෝඨාභය රාජපක්ෂ කොළඹ වතු ජනාවාසවල ඉඩම් අත්පත් කර ගැනීමේ දී ක්‍රියා කළේ මේ අයුරින් නො වේ. ගෝඨාභය කොම්පඤ්ඤවීදියේ වතු ඉඩම් අත්පත් කර ගත්තේ එහි ජනපදවාසින්ට පැය කිහිපයක් පමණක් කල් ලබා දෙමින් ය. එම ඉඩම් ඉන්දියානු හා පාකිස්ථානු සමාගම්වලට ලබා දී ඇති අතර ඇතැම් නිවැසියන්ට අදටත් වන්දි ලැබී නැත.
අම්බලන්තොට සිද්ධියේ දී ආරක්ෂක අංශ නියමා’කාරයෙන් ක්‍රියාත්මක වී නැතැ’යි චෝදනාවක් එල්ල වී ඇත. එහි අදහස වන්නේ විරෝධතාකරුවන් මීට කලින් මර්දනය කළ යුතුව තිබිණි යන්න ය. ඒ පිළිබඳ විමර්ශනයක් ද ආරම්භ වී ඇත. එහෙත් අපගේ මතය වන්නේ පොලීසිය වඩාත් සාධාරණව ක්‍රියා කර ඇති බව ය. කඳුළු ගෑස් හා ජල ප්‍රහාර එල්ල කිරීමට පවා පොලීසිය කාලයක් ගත්තේ ය. පොලීසියේ උත්සාහය වූයේ ගැටුමකින් තොරව විරෝධතාකරුවන් විසිරුවා හැරීම ය. එහෙත් ඊට ඉඩක් ලැබුණේ නැත. ප්‍රහාර ආරම්භ කරන්නේ ද, ගැටුමට මුල පුරන්නේ ද විරෝධතාකරුවන් ය.
මේ ගැටුමට පෙර උද්ඝෝෂණ හා පෙළපාළි තහනම් කරමින් උසාවි නියෝගයක් පනවා තිබිණි. එම උසාවි නියෝගය පුවත්පත් ඇතුළු ජනමාධ්‍ය විසින් පළ කරන ලදි. ඒ හැරෙන්නට ශබ්ද විකාශන යන්ත්‍ර යොදවා ප්‍රදේශය පුරා ප්‍රචාරය කරන ලදි. උසාවි නියෝගයේ පුද්ගල නාම 26ක් සදහන් අතර එම පිරිසට නිශ්චිත කාල සීමාවක් තුළ හම්බන්තොට මිරිජ්ජවිල ප්‍රදේශය තහනම් කර තිබිණි. මහජනයාට උද්ඝෝෂණ තහනම් කර තිබිණි. විරෝධතාකරුවන් උපාය මාර්ගිකව වෙනත් ස්ථානවලට රැස් වී අදාළ ස්ථානයට එකවර කඩා වැදීමට සැලැසුම් කර තිබිණි. එහෙත් එය අසාර්ථක වූයේ ආරක්ෂක අංශ බුද්ධිමත් ලෙස ක්‍රියාත්මක වූ නිසා ය.
විරෝධතාකරුවන්ගේ මූලික තර්ක දෙකක් තිබිණි. පළමුවැන්න පෞද්ගලික ඉඩම් පවරා ගැනීම ගැන ය. දෙවැන්න හම්බන්තොට ඉඩම් විදේශීය සමාගම්වලට විකිණීම ගැන ය. ආණ්ඩුව කියන ලෙස මේ අදහස් දෙක ම වැරැදි ය. පෞද්ගලික ඉඩම් ලබා ගන්නේ අයිතිකරුවන්ගේ කැමැත්ත මත ප්‍රමාණවත් වන්දි ලබා දීමෙන් ය. මෙසේ ලබා ගන්නා ඉඩම් කර්මාන්ත පුරයේ ප්‍රයෝජනයට යොදා ගන්නවා මිස විදේශීය සමාගම්වලට විකිණීමක් සිදුවන්නේ නැත. කිසිදු විදේශීය සමාගමක නිලධාරීන්ට ශ්‍රී ලංකාවේ ස්ථිර පදිංචිය සඳහා නෛතික ප්‍රතිපාදන ලබා දෙන්නේ ද නැත.
මේ සිද්ධියට අදාළ දේශපාලන කියැවීම් විග්‍රහ කරන විට පැහැදිලි වන්නේ වෙනත් අර්ථයකි. එනම්; මහින්ද රාජපක්ෂ ආණ්ඩුවට හම්බන්තොට ඉඩම් ලබා ගැනීමට හැකියාව තිබේ. එම ආණ්ඩුව වරාය හැදුවේ ය. ගුවන් තොටුපොළ හැදුවේ ය. ඒ අනුව ඉඩම් ලබා ගත්ත ද, ඒවා විදේශීය සමාගම්වලට අලෙවි කළ ද විරෝධතාවක් නැත. මුළු මාගම්පුරය ම රාජපක්ෂලාගේ වැනි හැඟීමක් එයින් මතු වේ. සිද්ධ වන්නේ ද ඒ ටිකම ය. රාජපක්ෂ ආණ්ඩුව වරාය සඳහා අක්කර සිය ගණනක් ලබා ගෙන තිබිණි. තවත් ඉඩම් අක්කර දහස් ගණනක් ලබා ගැනීමට සැලැසුම් කර තිබිණි.
ජනාධිපතිවරයා මේ විරෝධතාව හැඳින්වූයේ කැරැල්ලක් හැටියට ය. එය සත්‍යයෙකි. විරෝධතාකරුවන් ක්‍රියාත්මක වූයේ රජයට එරෙහි කැරැල්ලක් ක්‍රියාත්මක කරන ආකාරයෙන් ය. කැරැල්ලේ අරමුණ හම්බන්තොට වරාය දියුණු කිරීම හා ඒ ආශ්‍රිතව කර්මාන්ත පුරයක් පිහිටුවීම මුළුමනින් ම නැවැත්වීම ය. කුමන දේශපාලන පක්ෂයක් බලයේ සිටිය ද මෙබඳු සංවර්ධන ව්‍යාපෘතියක් නවතන්නේ නැත. එසේ නවත්වන්නේ නම්; එය රජයේ බරපතළ පරාජයකි.
මේ සිද්ධියේ දී මතු විය යුතු ඇත්ත සංවාදය යට ගොස් ව්‍යාජ සංවාදයක් උඩට මතු වූයේ යැයි අපට සිතේ. ඇත්ත සංවාදය වන්නේ හම්බන්තොට දිස්ත්‍රික්කය දියුණු කිරීමට හා එම කලාපයේ තරුණ පිරිසට රැකියා සම්පාදනය කිරීමට විරුද්ධ වන්නෝ කවරහු ද? ඊට ඇත්ත හේතුව කුමක් ද යන්න ය. එහෙත් සංවාදය මතු වූයේ භික්ෂූන්ට පහර දීමක් ගැන ය. එය දේශපාලන සැලැසුමක ප්‍රතිඵලයක් ද? නැතහොත් අහම්බයෙන් සිදුවූවක් ද යන්න පැහැදිලි නැත. කුමක් වුව ඇත්ත වෙනුවට බොරුව මතු වී ඇති බවක් පෙනෙන්නට තිබේ.
භික්ෂූන් බොහෝ විට හෑල්ලුවට හා අපහාසයට ලක් වන්නේ දේශපාලන අත කොළු බවට පත් වීමෙන් පසුව යැයි කියන්නට පුළුවන. භික්ෂුවට දේශපාලනය කැප ද / අකැප ද යනුවෙන් සංවාදයක් මීට කලකට පෙර පැවැතිණි. එදා වැඩි දෙනකුගේ මතය වූයේ භික්ෂුව ශාසනික සේවයට පමණක් කැප විය යුතු බව ය. අද වුව එම අදහසෙහි වෙනසක් ඇතැ’යි සිතිය නො හැකි ය.
සිද්ධිය සම්බන්ධයෙන් ගොඩනැඟුණු තවත් තර්කයක් වූයේ සත්‍යග්‍රහයක් සඳහා වැඩ කළ භික්ෂූන් වහන්සේට හා විරෝධතාකරුවනට ප්‍රහාරයක් එල්ල වූ බව ය. සත්‍යග්‍රහ පැවැත්වීමට එන පිරිස මේ අයුරින් ප්‍රචණ්ඩ ලෙස හැසිරෙන්නේ මන්ද යනු ගැටලුවෙකි. සමස්ත සිදුවීම් දාමය දෙස බලන විට අපට ප්‍රශ්නයක් මතු වේ. එනම් මේ අරගලයේ දී හාමුදුරුවන්ට ගැහුවා ද? හාමුදුරුවන් ගැහුවා ද යන්න ය.