Friday, September 20, 2024

හම්බන්තොට වරායට ඉඩම් ලබාදුන් අයට වන්දි

හම්බන්තොට වරාය සඳහා ඉඩම් ලබා දුන් සියලුම දෙනාටම වන්දි ලබා දීම, ඉදිරි දින කිහිපයේදී සම්පූර්ණ කිරීමට වරාය සහ නාවික අමාත්‍යාංශය පියවර ගනී.

වරාය හා හාවික කටයුතු අමාත්‍ය අර්ජුන රණතුංග මහතා අවධාරණය කළේ, හම්බන්තොට වරාය සංවර්ධනයට ඉඩම් ලබාදුන් සෑම පුද්ගලයකුටම සාධාරණය ඉෂ්ට කිරීම වත්මන් රජයේ අරමුණ වන බවයි. ඉඩම් ලබාදීමෙන් වාසස්ථාන අහිමි වූ පිරිසගේ ජීවන තත්ත්වය නඟා සිටුවීමට ගත හැකි සෑම පියවරක්ම ගන්නා බවද අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පවසයි.

අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ, ඉඩම් අහිමි වූවන්ට වන්දි ලබාදීම සඳහාත් ඔවුන්ගේ ජීවන තත්ත්වය නඟා සිටුවීම සඳහාත් රජය රුපියල් බිලියන 2ක් වෙන් කර ඇති බවයි.එම මුදල් විනිවිදභාවයෙන් යුතුව වැය කරන ලෙසද අමාත්‍ය අර්ජුන රණතුංග මහතා අමාත්‍යාංශ නිලධාරීන්ට උපදෙස් ලබදුන්නේ ය.

හම්බන්තොට වරාය ව්‍යාපෘතියේදී මේ වන විට සම්පූර්ණ කර ඇති අදියර ගණන දෙකකි. එයින් පළමු අදියර සඳහා අත්පත් කරගත් බිම් ප්‍ර‍මාණය හෙක්ටයාර 1115 ක් වේ. ඉඩම් කට්ටි 463 ක් ඊට ඇතුළත් විය. පවරා ගත් එම ඉඩම් සඳහා විකල්ප ඉඩම් ලබා දීම මෙන්ම ඉඩමේ සහ එහි සංවර්ධන වටිනාකම පදනම් කර ගනිමින් වන්දි මුදල් ලබා දීමද මේ වන විට සම්පූර්ණයෙන්ම අවසන් කර තිබේ. ඒ සඳහා වැය වූ රුපියල් මිලියන 511 ක මුදල ශ්‍රී ලංකා වරාය අධිකාරිය විසින් සැපයිණ.

දෙවැනි අදියරයේදී පවරා ගත් ඉඩම් සඳහා වන්දි මුදල් ලබා දෙනුයේ මහා භාණ්ඩාගාරය වරාය සහ නාවික අමාත්‍යාංශයට ලබා දුන් රුපියල් බිලියන 2 ක මූල්‍ය ප්‍ර‍තිපාදන වැය කරමිනි. ශ්‍රී ලංකා වරාය අධිකාරිය සතුව මුල්‍ය ප්‍ර‍තිපාදන නොවීමෙන් එම මුදල මහා භාණ්ඩාගාරයෙන් වරාය සහ නාවික අමාත්‍යාංශයට ලැබිණ. ඒ අමාත්‍ය අර්ජුන රණතුංග මහතා ඉදිරිපත් කළ කැබිනට් සංදේශයකට අනුව වේ.

“මහා භාණ්ඩාගාරයෙන් අපට ලබා දුන් රුපියල් බිලියන දෙකෙන් මේ වන විට ඉඩම් කැබිලි 237කට සම්පූර්ණයෙන්ම ඉඩමට සහ එහි සංවර්ධන වටිනාකමට අදාළ වන්දි මුදල් ගෙවා අවසන් කර තිබෙනවා. තවත් කැබිලි 129කට එකී වන්දි මුදලින් සියයට 75ක් ගෙවා තියෙනවා.

ඒ සඳහා රුපියල් බිලියන දෙකෙන් වැය කර තිබෙන මුදල රු 892 532 701යි ශත 15ක්. ඉතිරි වන්දි මුදල්ද කඩනමින් ලබා දීමට අපි කටයුතු කරනවා. ඒ වගේම ලබා දුන් විකල්ප ඉඩම්වල ප්‍රවේශ මාර්ග සංවර්ධනය කිරීමටත් විදුලි සහ ජල පහසුකම් ලබා දීමටත් අපි කටයුතු කරනවා.

ඒ සඳහා වැය කෙරෙන්නේත් මහා භාණ්ඩාගාරයෙන් අපට ලබා දුන් රුපියල් බිලියන 2කේ මුදල්. හම්බන්තොට වරාය සංවර්ධනයට ඉඩම් ලබා දුන් බහුතරය බොහොම දුප්පත් පිරිසක් සහ අහිංසක මිනිස්සු. නමුත් තමන්ගේ ඉඩම් අහිමි වීමෙන් ඔවුන් විඳින පීඩාව ගැන එතරම් අවධානයක් පසුගිය රජයෙන් යොමු වුණේ නැහැ. ඒ මිනිස්සුන්ගේ ගෙවල් ටික ගත්තත් ඔවුන් රැක බලා ගත්තේ නැහැ. අපි මේ හදන්නේ එදා වුණු වැරැද්ද නිවැරදි කරන්න……”  යැයිද අර්ජුන රණතුංග අමාත්‍යවරයා මෙම රැස්වීමේදී වැඩිදුරටත් කියා සිටියේය.

අමාත්‍යාංශ ලේකම් එල්. පී. ජයම්පති මහතා ඇතුළු රජයේ නියෝජිතයින් රැසක් සහභාගි වූ මෙම රැස්වීම  වරාය අමාත්‍යාංශයේදී අද (02) පැවැත්විණ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles