Wednesday, September 25, 2024

හමුදාව දුර්වල කරන්න තීන්දු ගෙන නෑ

ශ්‍රී ලංකා ජනරජයේ හමුදාව ශක්තිමත් කිරීමට මිස දුර්වල කිරීම වෙනුවෙන් කිසිඳු තීන්දුවක් ගෙන නැතැයි ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (7)අවධාරණය කළේය. පසුගිය කාලයේ දී ආරක්ෂක අංශ වෙනුවෙන් නවතා දමා තිබූ ජාත්‍යන්තර පුහුණුවීම් හා පිළිගැනීම යළි ලබාදීමට කටයුතු කළ බවත් ජනාධිපතිවරයා පැවැසීය.

මෙවර අය-වැයෙන් ආරක්ෂක අංශවලට මුදල් වෙන්කිරීමේ දී නවීන යුද උපකරණ හා තාක්ෂණික දැනුම වෙනුවෙන් විශේෂ අවධානයක් යොමුකළ බවත් පැවසූ ජනාධිපතිවරයා තුවක්කුවෙන් මල්ටි බැරල්වලින් කළහැකි කාර්ය අවම බව ද සඳහන් කළේය.රටේ ජාතික ආරක්ෂාව වෙනුවෙන් අවශ්‍ය උපරිම සහය ලබාදෙන බවත් කිසිඳු අවස්ථාවක ජාතික ආරක්ෂාව දුර්වල කිරීමට රජය කටයුතු කර නොමැති බවත් පැවැසීය.

රටක සංවර්ධනය සඳහා දේශපාලන ස්ථාවර භාවය, බලශක්ති සුරක්ෂිතතාව, පරිසරයේ සුරක්ෂිත බව, මෙන්ම ආර්ථික සුරක්ෂිත බව ද වැදගත් සන්ධිස්ථාන බවත් පෙන්වාදුන් ජනාධිපතිවරයා එට්කා ගිවිසුම සියලු දෙනාගේ එකඟත්වයෙන් ඇතිකර ගන්නා බව ද පැවැසීය.

රටේ අභිවෘද්ධිය වෙනුවෙන් ආණ්ඩුව ගන්නා ක්‍රියාමාර්ග පිළිබඳ වැරදි මත පැතිරවීම වෙනුවෙන් කනගාටුවන බවත් එට්කා ගිවිසුම සම්බන්ධයෙන් අවසන් එකඟතාවකට පැමිණ නොමැති බවත් ජනාධිපතිවරයා පැවැසීය.මෙම ගිවිසුම සම්බන්ධයෙන් කිසිවක් වසන් නොකරන අතර කැබිනට් මණ්ඩලයට, පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සියලු දෙනාගේ එකඟතාව මත අත්සන් කරන බවත් ජනාධිපතිවරයා වැඩිදුරටත් පැවැසීය.ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා මේ බව සඳහන් කළේ ආරක්ෂක අමාත්‍යාංශය පිළිබඳ වැය ශීර්ෂය වෙනුවෙන් පාර්ලිමේන්තුවේ දී ඊයේ (7) අදහස් දක්වමිනි

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles