Wednesday, September 25, 2024

හරිත අගෝස්තුව

රටේ සෑම පුරවැසියෙකුටම තමන්ගෙ දෑතින් ඉඩ පහසුකම් ඇති තැනක පැළයක් සිටුවන්න කියන ආරාධනය දින කිහිපයක් තිස්සේ ‘අද’ පුවත්පත හරහා Green August කණ්ඩායම ඔබට කියා තිබේ. පසුගිය මාස කිහිපයක අප රටක් වශයෙන් මුහුණදුන් අධික වායුගෝලීය උෂ්ණත්වය ඔබට අමතකව නැතැයි අපේ විශ්වාසයයි. Green August කණ්ඩායමේ අරමුණ එවැනි තත්වයන්ටත් යම් තරමක සුබදායක පිළියමක් වන රුක්රෝපණය සඳහා සියලු පුරවැසියන් තුළ ආකල්පමය පෙළඹවීමක් ඇති කිරීමයි.

එමෙන්ම මීට ඉහත පරපුරකට පෙරගමන්කරුවන් වූ මුතුන් මිත්තන් සිය දෙවුර මත දරා පැමිණි වගකීමක් සේ සලකාලමින් මෙම පොළොව මත රුක්රෝපණය සිදු කළ බැවින් වත්මනෙහි අපටද යන්තමින් හෝ හරිත රටක් උරුමව පවතින බව අප සිහිපත් කළ යුතුම කරුණකි. එම මෙහෙවර අමතක කොට තාක්ෂණය පසුපස තරග වැද සිටින වත්මන් පරපුරට එම අමතක වූ මෙහෙවර යළි සිහිපත් කළ යුතුව ඇත.

මීට දශක කිහිපයකට ඉහත ළමා කාලය ගෙවූවන්ට තුරුලතා ඇසුරෙහි ගත කළ අපූරු අත්දැකීම් ඇතුවා මෙන්ම, ඒ සොබාදහමට සමීපව ගෙවූ කාලය ඇසුරෙන් මානසික සතුටද විඳි බව මතකයේ ඇත. එසේම මාදං, මසං, පලු, වීර ආදී විශාලව වැඩෙන පලතුරු ශාක එවන් ළමා කාලයට ප්‍රබෝධය කැඳවූ බව නොරහසකි. එහෙත් වත්මනෙහි දරුවන්ගේ අත්දැකීම් ඇසුරෙන් ගිලිහී ගොස් ඇති එම සතුට යළි කැඳවා ඔවුන්ගේ සිත් සතන් සොබාදහමට සමීප ආකල්පවලින් පුරවාලිය යුතුමය.

මීට අමතරව ඉහළ යන පරිසර උෂ්ණත්වය අවම කිරීම, පරිසර දූෂණය හා පාංශු ඛාදනය අවම කිරීම, කාබන්ඩයොක්සයිඩ් උරාගැනීම, ජල පෝෂක ප්‍රදේශ සුරැකීම, බෑවුම් ආශ්‍රිත මාර්ගවල ඉවුරු ශක්තිමත් කිරීම, ඇසට ප්‍රියමනාප හරිත වර්ණ පරිසරයක් ඇති කිරීම ආදිය රුක් රෝපණයේ ප්‍රයෝජන කිහිපයක් ලෙස දැක්විය හැක. ‘හරිත අගෝස්තුව’ වැඩසටහනින් අගෝස්තු 07 උදේ 10.00 ට මිහිමඬලට පැළ දායාද කිරීමට වෙහෙසෙන්නේ මෙකී සියලු කාරණා අරමුණු කරගනිමිනි.

රටේ සියලුම පුරවැසියන් එක්ව එකම මොහොතක තම ගෙවත්තේ රුක්රෝපණය කිරීමට අමතරව Green August කණ්ඩායමේ ඉල්ලීම පරිදි එදින දිවයින පුරා රුක්රෝපණ වැඩසටහන් රාශියක් පැවැත්වෙන අතර, ඕනෑම කෙනෙකුට පැළයක් හෝ පැළ කිහිපයක් රැගෙන එම වැඩසටහන්වලට සහභාගි වී සියතින් එම පැළ මිහිමඬලට දායාද කිරීමේ මෙහෙවරට දායක විය හැක. පැළ තවානකින් මිලදී ගත් නිසි පරිදි බඳුන්ගත කළ පැළ රැගෙන ආ යුතු අතර, කොහොඹ, ඇහැළ, නා, මාදං, මසං, වීර, පලු, කුඹුක්, සඳුන්, කරඳ, කළුවර ආදී පරිසර හිතකාමී පැළ ඒ සඳහා සුදුසු වේ.

Green August පරිසර මෙහෙවරට දායක වීමට කැමති ඔබට ඕනෑම වැඩසටහනකට පැළ ලබාදීමෙන් දායක විය හැකි අතර, මුල්ලේරියාව මානසික සෞඛ්‍ය විද්‍යායතනයේ අක්කර 80 ක පමණ භූමි භාගය පුරා පළතුරු පැළ සිටුවීමේ වැඩසටහන ඒ අතරින් විශේෂ එකකි. එමෙන්ම කොට්ටාව ධර්මපාල විද්‍යාලයේ ආදි ශිෂ්‍යභට සංගමයට වසර 18 ක් සපිරීම නිමිත්තෙන් දක්ෂිණ අධිවේගී මාර්ගයේ අතුරුගිරිය-පෝරේ පිවිසුම ආසන්නයේ කරඳ සහ නා පැළ රෝපණයද, ගාලු නගරයේ දඩල්ල මුබාරක් විද්‍යාලය, දක්ෂිණ අධිවේගී මාර්ගයේ පින්නදූව පිවිසුම ආදී ස්ථාන ගණනාවක නා පැළ රෝපණයද එදින සිදුවන වැඩසටහන් අතරින් කිහිපයකි.

මීට අමතරව අකුරැස්ස කන්නෙලිය රක්ෂිතය, මතුගම සිංහරාජ රක්ෂිතය, මාතර මහමෙවුනා අසපුව, ගාල්ල ඔසනගොඩ ජුම්මා මස්ජිදය, ගාල්ල කන්දෙවත්ත මුස්ලිම් විද්‍යාලය, මතුගම කන්නන්ගර මහ විද්‍යාලය, හොරේතුඩුව මුස්ලිම් විද්‍යාලය, රඹුක්කන, වැලිගමුව සහ වලල්ගොඩ මාතෲ සායන, නිට්ටඹුව මහජන ක්‍රීඩාංගණය, අලුත්ගම දර්ගා නගරය, කහටෝවිට ෆෙඩෝ මධ්‍යස්ථානය, කුරුණෑගල රිදීගම, මොණරාගල මූලික රෝහල, මුල්ලේරියාව මානසික රෝහල, අම්පාර හෙද විදුහල, දඹුල්ල ඉනාමලුව 53 සේනාංක කඳවුර, මාතර ශ්‍රී ඉන්ද්‍රාරාමය, අත්තනගල්ල ඉයබොඩපේරුව මහජන පුස්තකාලය, පන්නිපිටිය ධර්මපාල විද්‍යාලය, හෝමාගම මධ්‍ය මහා විද්‍යාලය, මදුරන්කුලිය දොස්තරවත්ත, තොටවත්ත ජුම්මා පල්ලිය, බේරුවල කරදගොඩ, එළුවිල ජුම්මා මස්ජිදය, මහනුවර ගෙළිඔය, පුත්තලම දිස්ත්‍රික්කයේ කරුවලගස්වැව, නවගත්තේගමුව, ආණමඩුව, මුන්දලම, පල්ලම, හලාවත, නාත්තන්ඩිය, මහකුඹුක්කදවල යන කොට්ථාසවල මධ්‍යස්ථාන සියයක, කුඩා ඔය කොමාන්ඩෝ රෙජිමේන්තු කඳවුර, වවුනියාව 03 වැනි විශේෂ බළකා කඳවුර, කිලිනොච්චිය කොමාන්ඩෝ රෙජිමේන්තු කඳවුර, ගනේමුල්ල කොමාන්ඩෝ රෙජිමේන්තු කඳවුර, ඉරණමඩුව විශේෂ බළකා කඳවුර, කිතුල්ගල, යටියන්තොට, බුලත්කොහුපිටිය ආදී ග්‍රාම, මීරිගම සෙත්සෙවණ වැඩිහිටි නිවාසය ආදී ස්ථාන රැසක අගෝස්තු 07 පෙ.ව. 10:00 ට  .හරිත අගෝස්තුව.ට සමගාමීව රුක්රෝපණ වැඩසටහන් සිදුවනු ඇත.

 

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles