Friday, January 10, 2025

හරිත ප්‍රතිපත්තියෙන් මගේ නම කැත වුණා තමයි . ඒත් ඒක ක්‍රියාත්මක කරන්න කැපවෙනවා

කෙතරම් අභියෝග ආවත් හරිත කෘෂිකර්ම ප්‍රතිපත්තිය රජයෙන් ගනු ලැබූ ඉතා හොඳ තීරණයක් නිසා රජයත්, ජනාධිපතිවරයාත් සමඟ එම ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන්න කැපවන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා සඳහන් කරයි.

මේ නිසා තමන්ගේ දේශපාලන ප්‍රතිරූපයට බරපතල ලෙස හානි සිදු වුවත් මෙමඟින් රටට සහ ජනතාවට වන යහපත ගැන සිතා මෙම ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමට නොසැලි රාජ්‍ය නායකයා සමඟ සිට ගන්නා බවද අමාත්‍යවරයා කීවේය.

තමන් මීට පෙර අමාත්‍යාංශ කිහිපයක අමාත්‍ය ධුර හොබවා ඇතත් කෘෂිකර්ම අමාත්‍යාංශය ඒ හැමටම වඩා මාෆියාවන් ක්‍රියාත්මක වන තැනක් බවද පොහොර, වී වැනි ක්ෂේත්‍ර ඒ අතර ප්‍රධාන තැනක් ගන්නා බව ද අමාත්‍යවරයා පෙන්වා දෙන්නේය.

කෘෂිකර්ම අමාත්‍යාංශයට පත්ව ඇති නව ලේකම්වරයා හා අමාත්‍යාංශයේ ඉහළ නිලධාරීන් සමඟ අද (31) පැවැති සාකච්ඡාවකදී අමාත්‍යවරයා මේ කරුණු අනාවරණය කළේය.

“මේ අමාත්‍යාංශයේ ඉතා දක්ෂ අවංක හොඳ නිලධාරීන් රැසක් ඉන්නවා. නමුත් ඒ අයට වැඩ කරන්න නොදී ඔවුන්ගේ ඔළුව නරක් කරන පිරිසක් ඉන්නවා. බාහිරව උපදේශකයින් ලෙස පෙනී සිටින එවැනි පුද්ගලයින් නිසා තමයි මේ අමාත්‍යාංශයට පත්ව ආ දක්ෂ ලේකම්වරුන්ටත් අමාත්‍යාංශය අතහැර යන්න සිද්ධ වුණේ. මහාචාර්ය උදිත් ජයසිංහ ලේකම්වරයාත් ඉතා හොඳ දක්ෂයෙක්. ඔහු රජයේ හරිත කෘෂිකර්ම ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන්න කැමැත්තෙන් කටයුතු කළා. ඒක කරන්න ඉඩ නොදී ඔහුව සම්පූර්ණයෙන්ම වෙනස් කළේ පිට ඉඳන් බලපෑම් කරන උපදේශකවරුන් යැයි කියා ගන්න කණ්ඩායමක්. මේ අදිසි හස්තය ගැන අපි කල්පනාකාරී වෙන්න ඕන.” යැයි ද අමාත්‍යවරයා කීවේය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles