පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට දඬුවම් දිය යුතු බවත් ඒ පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තමා කැඳවුවහොත් ප්‍රකාශයක් දෙන්න සූදානම් බවත් සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග පැවැසීය.
මෙම ප්‍රහාරය සම්බන්ධව මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයාට දඬුවම් දිය යුතු බව තමන් අදටත් දරන ස්ථාවරය බවත්, පාස්කු ප්‍රහාරයට වගකිව යුත්තන් කොහේ සිටියත්, කුමන තරාතිරමක වුව ත් ඔවුන්ට දඬුවම් දිය යුතු බව ත් රණතුංග මහතා අවධාරණය කළේය.
ඔහු පෙන්වා දෙන්නේ ඔවුන් අද ආණ්ඩුවේ සිටියත්, විපක්ෂයේ සිටියත්, සන්ධානයේ සිටියත් ඔවුන් කර ඇත්තේ සමාව දිය නොහැකි වරදක් බව ත් මේ ප්‍රහාරයට වගකිව යුතු අය අද සිටින තැන අනුව වරදේ බරපතළකම වෙනස් නොවන බවත් ඔහු අවධාරණය කළේය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,
“පාස්කු ප්‍රහාරයෙන් පසුව පසුගිය ආණ්ඩුව විසින් පත්කළ ජනාධිපති කොමිෂන් සභා වාර්තාවෙන් ප්‍රහාරයට වගකිව යුතු අය, එම ප්‍රහාරයේ වගකීම භාර ගත යුතු අය ගැන සඳහන් වෙනවා. හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා, සේනාධිනායකයා, ආරක්ෂක අමාත්‍යවරයා හැටියට මෙහි වගකීම භාරගත යුතුයි.
දැනුවත්ව හෝ නොදැනුවත්ව ඒ තොරතුරු වසන් කර ප්‍රහාරය සිදුවෙන්නට ඉඩහැරීම අපරාධයක්. ප්‍රහාරයෙන් පසුව ප්‍රහාරය සම්බන්ධ පරීක්ෂණවල පැවැති ගැටලු හා පාර්ලිමේන්තුවේ තමන්ගේ ම අය සම්බන්ධ කරගෙන සිද්ධිය යට ගැසීමට දරපු උත්සාහය ගැන මම එදත් විරුද්ධයි. අදත් විරුද්ධයි. ඒක මම කවදත් ප්‍රසිද්ධියේ කිව්වා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට මාව කැඳවුවත් මගේ ස්ථාවරයේ වෙනසක් නැහැ. ජනාධිපති කොමිෂන් සභා වාර්තාවේ නිර්දේශ අනුව නීතිපතිවරයා සිද්ධිය සම්බන්ධයෙන් ක්‍රියා යුතුයි.”
අමාත්‍යවරයා මෙසේ පැවසුවේ ඊයේ (දෙසැ. 12) මිනුවන්ගොඩ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමිනි.
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වගකිවයුතු බවටත් ඒ අනුව ඒ මහතාට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගතයුතු බවටත් අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පසුගියදා සිදුකළ ප්‍රකාශයක් පිළිබඳව වහාම විමර්ශනයක් ආරම්භ කරන්නැයි ඉල්ලමින් කතෝලික සභාවේ ජන සන්නිවේදන අධ්යක්ෂ සහ මාධ්‍ය සම්බන්ධීකාරක ජූඩ් ක්‍රිෂාන්ත පියතුමා පසුගිය (10) වනදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් කළේය.
ඒ පියතුමා එහිදී පැවසුවේ පසුගිය දිනවල කතෝලික පියතුමන්ලා කිහිපදෙනෙකු කළ සුළු සුළු ප්‍රකාශ සම්බන්ධයෙන් ඔවුන්ව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවා පැය ගණන්, දින ගණන් ප්‍රකාශ සටහන් කරගනිමින් විමර්ශන සිදුකළ ආකාරයෙන්ම තමන් කරන මේ පැමිණිල්ලට අදාළව ද මැති ඇමතිවරුන් කැඳවා දින ගණනක් තිස්සේ ප්‍රශ්න කරමින් විමර්ශන කරනු ඇතැයි තමන් බලාපොරොත්තු වන බවයි.