Saturday, September 21, 2024

හිටපු පොලිස් ලොක්කෙකුගෙන් ප්‍රකාශයක් ගන්න යයි

මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග මහතාගේ අබිරහස් ඝාතනය සම්බන්ධව පරීක්ෂණ පවත්වන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හිටපු ජ්‍යෙෂ්ඨ ‍පොලිස් නිලධාරියකුගෙන් ප්‍රකාශ සටහන් කැර ගැනීමට අධිකරණයේ අවසරය ඉල්ලා තිබේ. මේ පොලිස් නිලධාරියා දැනට පොලිස් සේවයේ නොමැති අතර වෙනත් සිද්ධියකට බන්ධනාගාරගතව සිටියි.

ලසන්ත වික්‍රමතුංග මහතාගේ මෘත දේහය තව දින හතරකින් එනම් ලබන 28 වැනිදා යළි ගොඩගෙන පරීක්ෂණ පැවැත්වීමට නියමිතය. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදු කරන පරීක්ෂණවලදී ලසන්ත වික්‍රමතුංග මහතාගේ සිරුර යළි ගොඩගෙන වැඩිදුර පරීක්ෂණ පැවැත්වීමට ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයෙන් අවසර ලබා ගත්තේ පසුගිය සතියේය. එහෙත් ලසන්ත වික්‍රමතුංග මහතාගේ දේහය වළදැමූ ස්ථානයට පොලිස් ආරක්ෂාව යෙදවීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කැර තිබිණි. ඒ අනුව මේ වන විට එම මෘත දේහය වළ දමා තිබූ ස්ථානයට පොලිස් ආරක්ෂාව යොදවා තිබේ. ලසන්ත වික්‍රමතුංග මහතාගේ අබිරහස් ඝාතනය සම්බන්ධයෙන් මේ වන විට හමුදා බුද්ධි අංශ සාමාජිකයකු අත්අඩංගුවට ගෙන ඇත. ඊට අමතරව තවත් කිහිප දෙනකුගෙන් ප්‍රකාශ සටහන් කරගෙන තිබේ. එහිදී ලසන්ත වික්‍රමතුංග මහතාගේ අතුරුදන් වූ දිනපොත පොලිස් භාරයට ගැනීමෙන් පසු එය කා අතට පත්වූයේද ඉන්පසු විනාශ කැර දැමුවේද යන්න හෙළිකැර ගැනීම සඳහා එසේ ප්‍රකාශ සටහන් කරගෙන තිබේ. ලසන්ත වික්‍රමතුංග මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් සිදු කෙරෙමින් පැවැති පරීක්ෂණ 2010 වසරේ නොවැම්බර් වන විට එනම් ඒ මහතා ඝාතනය කර මාස ගණනාවකින් අතරමග නැවතී තිබුණි. ඒ සම්බන්ධයෙන් මීට පෙර හිටපු පොලිස්පතිවරුන් දෙදෙනකුගේද ප්‍රකාශ සටහන් කැරගෙන තිබුණි. ඊට අමතරව එම ඝාතනය සිදුවන අවස්ථාවේ සිද්ධිය ඇසින් දුටුවේ යැයි කියන පුද්ගලයකුගෙන්ද ප්‍රකාශ සටහන් කරගෙන තිබේ. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මීට මාස කිහිපයකට පෙර ලසන්ත වික්‍රමතුංග මහතාගේ ඝාතනය සම්බන්ධව පරීක්ෂණ ආරම්භ කිරීමෙන් පසු වසර හයක් තිස්සේ යටගැසී තිබූ තොරතුරු රාශියක් හෙළි කරගෙන තිබේ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles