හිතට නිදහසක් ගෙනෙන එකම තැන නිවහනයි. එහිදී අපි හැමෝම අසම්පූර්ණ මිනිසුන් වේ. ලෝකයා ඉදිරියේ සම්පූර්ණ වීමට අපි උත්සාහ කරත් එය කිසියම් මොහොතක අසාර්ථක වූ කල අපට එය වටහා දෙන්නේ නිවැසියන් පමණක් ම බව අපට අවබෝධ වන්නේ යම් දැනෙන දෙයක් ජීවිතයේ සිදුවූ තැනය. බොහෝ මිනිසුන් කිසියම් සිනමාවකට සමීප වන්නේ එහි තමාගේ ප්‍රියතම නළුවා හෝ නිළිය රංගනයෙන් දායක වන හේතුව නිසාමය. නමුත් එසේ නොවන සමහර සිනමා නිර්මාණ පුදුමාකාර විදියට අපේ ජීවිත හා සමීප වන්නේ එමඟින් අපේ නොවන අපේම කතාව ඉස්මතු වීම තුළිනි. මෙවැනි සිනමා නිර්මාණ පුදුමාකාර අන්දමින් මිනිසුන්ගේ සිත් සංවේදී කිරීමට සමර්ථ වේ. “Home’ යනු එවන් වූ සිතැඟි සංවේදී කර වූ මලයාලම් සිනමා නිර්මාණයකි. මේ තුළ ඇත්තෙන්ම ඉදිරිපත් වන්නේ මගේ ගෙදර මගේ කතාවම බව රසවිඳින්නාට එය නැරඹූ තැන පසක් වේ.
“මම පරිපූර්ණ පුද්ගලයෙක් නොවේ. මමත් සාමාන්‍ය මනුස්සයෙක්. මම විවෘතව දෙයක් කතා කරන්නේ මට නිදහස තියනවා කියලා මම විශ්වාස කරන තැන. ඒ මගේ ගෙදර… එහේ ඉන්න මිනිස්සු කෝප වෙන්නේ නෑ. මම වැරැද්දක් කළොත් මට විහිළු කරන්න හරි ශාප කරන්න එන්නේ නෑ. ඒ වෙනුවට එයාලා ඒ වැරැද්ද නිවැරදි කරනවා. ඒ නිසා මම හැමවෙලේදිම මගේ ගෙදරදි අසම්පූර්ණයි.”
– ඇන්තනී ඔලිවර් ට්විස්ට් –
“Home” සිනමා නිර්මාණය රසවිඳි එම කාලය පුරාවටම මා මාගේ පවුලේ අය හා අත්විඳි අත්දැකීම් නැවත මගේ මතකයට ආවර්ජනය වූවාදෝයි විටෙක මට දැනුනාක් මෙන්ම මෙය රසවිඳි ඔබට ද සමීප වන්නට ඇත.
සමාජයක් තුළදී විවිධ වූ තරාතිරම් සහිත පුද්ගලයන් අපට දක්නට ලැබේ. එහිදී කෙනකු සමාජයේ ඉහළ තනතුරක් දරන විට තවත් කෙනකු එසේ නොවන්නට පුළුවන. කෙසේ නමුත් මේ කිනම් ආකාරයේ අයකු වුවද ඔවුන් සියල්ලෝම තම නිවෙස තුළදී සාමාන්‍ය මිනිසකුම බවට පත්වේ. නිවසින් පිටතදී වචනයක් වුවද සිතාමතාම පිටකරන අප නිවෙස තුළදී එසේ නොකරනුයේ නිවෙස යනු අපට එතරම්ම නිදහසක් ගෙනෙන තැනක් වන හෙයිනි. බොහෝ මිනිසුන් නිවෙසින් පිටතට තම නිදහස සොයා ගියද ඔවුන් යළි පැමිණෙනුයේ හති වැටීමෙනි. මන්දයත් ඔවුන් සොයන සැබෑ නිදහස පවතින්නේ ඔවුන් ජීවත් වන නිවෙසේ මිස ඉන් පිටත නොවන හෙයිනි. කෙසේ නමුදු සමාජය ඉදිරියේ නොයකුත් පුද්ගල ප්‍රතිරූප ආරෝපණය කර ගැනීමට තමා උත්සාහ දැරුවත් ඒ කිසිවකින් තමා නිරූපණය නොවන අතර නිවෙසේදීම පමණක් අපි අපිම වීමට වගබලා ගැනීමෙනි.
පවුලක දරුවන් වයසින් වැඩෙද්දී, ඔවුන් ලෝකය සමඟ ගනුදෙනු කරද්දී මව්පියන් දන්නේ මොනවාද යන්න කෙනකුට සිතෙන්නට පුළුවන. මීට හේතුව නම් මව්පියන් ඔවුන් මෙන් තාක්ෂණය නොදැන සිටීම විය හැකිය. කෙසේ නමුදු අප තාක්ෂණය සමඟ කාර්යබහුල වෙද්දී තත්පරයකට හෝ අපට අපගේ පවුල මඟහැරීම වළක්වාලිය නොහැකිය. මව්පියන්ට නම් තම දරුවන් වයසින් මුහුකුරා ගියද හැමදාමත් ඔවුන් දරුවන්මය. එබැවින් දරුවන් ඔවුන් වෙනුවෙන් යම් ස්වල්ප කාලයක් හෝ වැය කරනු ඇතැයි ඔවුන් අපේක්ෂා කරන අතරම ඔවුන් ඒ වෙනුවෙන් බලා හිඳීමට තරම් උත්සුක වේ. කෙසේ නමුදු සමාජ යථාර්ථයට අනුව තාක්ෂණය හා ගැටීමට ඔවුන්ට අවස්ථාව නොලැබුණත් සිනමා නිර්මාණයට අනුව ඔවුන් තමාට හැකි පමණින් තාක්ෂණය හා ගැටීමට උත්සාහ දරනුයේ බිඳී යන පවුල් සබදතාව තාක්ෂණය ඔස්සේ හෝ පවත්වා ගැනීමටය. එය “Home” සිනමා නිර්මාණයේ ඔලිවර් ට්විස්ට් නම් පියාගේ චරිතය තුළින් මනාව නිරූපණය වේ.
තවද දරුවන් තම නිවෙසින් මිදී සමාජය හා ගනුදෙනු කරන කල මෙන්ම නව සබඳතා ආරම්භ කරන කල එකී සබඳකම් හමුවේ තම මව්පියන් ඊට නොගැළපේ යැයි සිතෙන්නට පුළුවන. එසේම අනෙකා හා ඔවුන් සැසඳීමට පුළුවන. නමුත් ඔවුන් නොදන්නා දෙය නම් තමාට යම් දෙයක් වූ කල තමාව ආදරයෙන් රැකබලා ගැනීමට හෝ ලෝකයා ඉදිරියේ ගනුදෙනු කිරීමට පාර සකසා දුන්නේ මව්පියන් මිස වෙන අන් කිසිකෙනකු නොවන බවයි. එබැවින් අප නොසිතා කරන යම් දෙයක් වුවද මව්පියන්ගේ සිත පෑරීමට තරම් හේතු වේ. එය මෙම සිනමා නිර්මාණය නැරඹීම තුළින් මනාව පසක් වේ. එබැවින් නිවෙස යනු අපට බොහෝ අර්ථකථනයන් දිය හැකි ස්ථානයකි. එසේම නිවෙස යනු අප ජීවත්වන තැන, අපව ජීවත් කරවන තැන, සිතට සැනසිල්ල ගෙනදෙන තැන, දුක සතුට බෙදා හදා ගන්නා තැන, හදවතේ රැඳුණු මෙන්ම අප සියල්ලන්ටම ආරක්ෂාව තිබෙන තැන වේ. එසේම මේ නිර්මාණයට අනුව කිසියම් අවස්ථාවකදී අපේ ඇත්ත තත්ත්වය නිවැසින් ඉදිරියට ආවත් ඔවුන් කිසිවිටෙකත් අපිව ප්‍රතික්ෂේප නොකරන බව තහවුරු කරයි. කෙසේ නමුදු මේ කතාව තුළ විටෙක ඔබට ඔබව හමුවෙනු නිසැකය. ඊට හේතුව නම් මහ පොළොවේ වූ අව්‍යාජවත් යථාර්ථය “Home” තුළින් මනාව ඉස්මතු වන හෙයිනි. අතිශය සංවේදී කතා තේමාවකින් යුත් මේ මලයාලම් සිනමා නිර්මාණය සමාජය තුළ කතාබහට ලක් නොවන එක්තරා ප්‍රශ්නයක් ලෙසින් ද අර්ථකථනය කළ හැකිය. තාක්ෂණය යන මාතෘකාව කොතෙකුත් නම් සබඳතා කෙරෙහි බලපෑම් කරන්නේ ද යන්න මේ නිර්මාණය තුළින් මනාව පසක් වේ. එබැවින් “Home” නම් මලයාලම් සිනමා නිර්මාණය වනාහි ඔබට ඔබගේම කතාව අත්විඳිය හැකි තවත් එක් නිර්මාණයක් වන අතර මුළු පවුලටම එකට එක් වී සිනා සෙමින් සතුටු වීමටත් දුක් වෙමින් කඳුළු සැලීමටත් නිදහස ඇති එකම ස්ථානය වනු නොඅනුමානය.