Sunday, November 17, 2024

හෙළයේ මහා කලා මංගල්‍යය මහනුවර ඇසළ පෙරහර

බුදුරදුන් දේශනා කොට වදාළ සුවාසූ දහසක් ශ්‍රී සද්ධර්මයේ පහස ලද, ශ්‍රී දළදා වහන්සේ බෞද්ධයන්ගේ මුදුන් මල්කඩ ලෙසින් ද, රාජ්‍යත්වයේ සංකේතය ලෙසින් ද ලක් ඉතිහාසයේ කලක් මුළුල්ලේ වැජඹෙති. ජීවමාන බුදු රදුන් හා සම ශ්‍රී දළදා සමිඳුන්ට නිසි පුද සත්කාර කිරීම, ලක් දෙරණේ ආරක්ෂාවට, කලට වැසි ඵල ලැබී රට ස්වයංපෝෂිත වීම‍ට, හේතුවන බව ලක් වැසි දනෝ ඈත අතීතයේ සිටම විශ්වාස කළහ. රට කරවන පාලකයින්ගේ දැහැමි බවේ සංකේතය වන්නේ ද, රාජ්‍ය පාලනයෙහි ඇති උරුමය වන්නේ ද ශ්‍රී දළදා වහන්සේ ය.

ලක්දිව දළදා ඉතිහාසය සිව්වැනි සියවසේ කිත්සිරිමෙවන් රාජ සමය දක්වා දිව යයි. බුදුරදුන්ගේ ශ්‍රී දේහය ආදාහනය කිරිමෙන් පසු ඛේම නම් රහතන් වහන්සේ විසින් ලබා ගන්නා ලද දළදා වහන්සේ කළිඟු රට බ්‍රහ්මදත්ත රජුට බාර විය. රජු රන් මිණි මුවා මණ්ඩපයක දළදා වහන්සේ තැන්පත් කර පුද පූජා පැවැත්වූ බව දාඨා වංශය සඳහන් කරයි. දළදා හිමියන් ලක්දිවට වැඩම කරවන ලද්දේ ගුහසීව රජ දවස හේමමාලා කුමරිය සහ දන්ත කුමරු විසිනි. එකල රාජ්‍ය කළ කිත්සිරිමෙවන් රජු අනුරාධපුරයේ විසිතුරු දාඨා මන්දිරයක් කරවා ගෞරව භක්තියෙන් යුතුව දළදා වහන්සේ එහි වඩා හිඳුවා පුද සත්කාර කරවූ බව දළදා ඉතිහාසය විස්තර කරයි. එ දවස පටන් කලින් කල රජ පැමිණි රජදරුවෝ දළදා වහන්සේට නිසි පුද සත්කාර කරමින් රැක බලා ගත්හ. විදේශීය ආක්‍රමණ පැවති යුගවල පවා දිවි දෙවැනි කොට රැකගත් ශ්‍රී දන්ත ධාතූන් වහන්සේ රාජධානි මාරුවීමත් සමඟ ඒ ඒ රාජධානි වෙත වැඩම කරවන ලද අතර පළමු වැනි විමලධර්මසූරිය රජ දවස පටන් අද දක්වා සෙංකඩගල පුරවරයෙහි ලෝ වැසි බොදු දනන්ගේ ගෞරවාදර පුද සත්කාර ලබමින් වැඩ සිටිති.

මහනුවර ඇසළ පෙරහර මංගල්‍යය ද දළදා හිමියන්ට පූජෝපහාර පිණිස පැවැත්වෙන්නකි. අභිමානය, රණකාමීත්වය සහ වීරත්වය සන්නිවේදනය කළ, ආරම්භයේ දේව පෙරහරක් ලෙස පැවති මහනුවර ඇසළ පෙරහර දළදා පෙරහර බවට පරිවර්තනය වන්නේ වැලිවිට සරණංකර සංඝරාජ මා හිමියන්ගේ අනුශාසනා පරිදි ය. එවක බුදු දහම පිළිබඳ නව ප්‍රබෝධයක් ඇති කරමින් ඇරඹි ආගමික පුනරුද ව්‍යාපාරය යටතේ මෙරට උපසම්පදාව ඇති කරනු පිණිස සියම් දේශයෙන් ප්‍රවර උපාලි තෙරුන් ඇතුළු භික්ෂුන් වහන්සේ මෙරටට වැඩම කළහ. මෙතෙක් පැවති මහනුවර දේව පෙරහර බුද්ධ පෙරහරක්, දළදා පෙරහරක් බවට පත් වන්නේ උන්වහන්සේ ගේ අදහසක් අනුව සඟරජ මාහිමියන්ගේ අනුශාසනා පරිදි ය. මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා පවසන පරිදි දළදා පෙරහර සමාජ සංස්කෘතියේ පැතිකඩකි. සමාජයකට ජනමාධ්‍ය මඟින් සමාජ ඉලක්ක ලබා දෙන බව නූතන සමාජ විද්‍යාඥයින්ගේ පිළි ගැනිම ය. පෙරහර මඟින් මේ ඉලක්ක ලබා දීමේ ක්‍රියාවලිය සිදු වන්නේ එහි චාරිත්‍ර සමඟ ය. ඊට සහභාගී වන කණ්ඩායම් සමඟ ය. දළදා පෙරහර සම්පූර්ණයෙන් මිනිසාගේ සොබා දහම සමඟ තිබෙන විශ්වාස, නිෂ්පාදන ක්‍රමය සමඟ තිබෙන විශ්වාස හා අන්‍යෝන්‍ය සමඟිය පිළිබඳ විශ්වාස දැඩි කරන්නේ ය. ඒ අනුව,

අතීතයේ පටන් පෞරාණික චාරිත්‍ර විධි ඉස්මතු කරමින් පෙරහර මංගල්‍යය අති උත්කර්ෂවත් ලෙස පැවැත්වීම දක්නට ලැබේ‍. එම චාරිත්‍ර බෞද්ධාගමික හා හින්දු ආගමික පුද සිරිත් සමඟ සංකලනය වී ඉස්මතු කරන්නේ සිංහල සංස්කෘතියේ මහාර්ඝත්වයයි. අභිමානයයි. කුරුණෑගල යුගයේ සිව්වන පරාක්‍රමබාහු රාජ සමයෙහි ලියවූ දළදා සිරිතට අනුව වර්තමානයේ දළදා චාරිත්‍ර බොහොමයක් ඉටු කෙරේ. ඒ අනුව පෙරහරට ප්‍රථම සුබ මුහුර්තියෙන් දළදා මැදුර පිරිසිදු කොට වියන් බඳවා නේක පට පිළියෙන් විසිතුරු කෙරේ. ඉන් පසු සත් දිනක් පුරා දළදා වහන්සේ වෙනුවෙන් බත්, මල්, පැන් ආදිය පූජා කළ යුතු ය. ඒ සඳහා රජු , ඇමැති ගණයා මෙන් ම රට වැසියෝද සහභාගි වෙති. සත්වන දින පෙරවරුවේ මල් පහන් පූජා කොට. පස්වරුවේ සුරපුරය මෙන් නගරය සරසා උත්තරමූලායතනයෙහි ප්‍රධානත්වය ගත් මහ තෙරුන් වහන්සේ හා ගණවැසි, කිළිං යන දෙකුලයේ අය සමඟ වැඩ සිටිනා කරඬුව ගන්ධ කුටියෙන් මෑත් කොට , විසිතුරු කොට සැරසූ සුබ ලකුණෙන් යුතු ඇතෙකු යෙදූ රථයෙක් හි උතුම් ආසනයක වඩා හිඳුවති. චාමර හා සේසත් ගත්තෝ රථයෙහි දෙපසින් ගමන් ගත්හ. ඉන් අනතුරුව ගමන් ගත්තේ දළදා ගෙයි ධුරය හා විජ්ජතුන් ය. අනතුරුව සිවුරඟ සෙනඟ හා පිරිවර ඇමතීහු රැකවල්ලා ගමන් ගත්හ. මෙම චාරිත්‍ර විධි බොහොමයක් අන්තර්ගත වර්තමානයේ දළදා පෙරහර සංවිධානය ඉතා සංකීර්ණ ක්‍රියාදාමයක ප්‍රතිඵලයකි.

දළදා පෙරහර ඇරඹෙන්නේ සිව් මහා දේවාල බිමේ කප් සිටුවීමත් සමඟ ය. එය සම්ප්‍රධායික චාරිත්‍රයකි. ඒ සඳහා කොළඹ නුවර පාරේ පිහිටි අලුත් නුවර දේවාලයේ දී පේ කර තබන ලද, පණස වෘක්ෂයක් තෝරා ගැනේ (පල නොදැරූ වියත් තුනක් පමණ කඳෙහි වට ප්‍රමාණය වු ළපටි කොස් ගසක්). ගස අවට බිම පිරිසිදු කර සුවඳ දුම් අල්ලා මල්, පහන් පුදා ගසට අරක් ගත් දෙවියන්ට ගස හැර යන ලෙස ආයාචනය කරිම සිදු කෙරේ. මෙහිදී වැටි නවයකින් දැල්වූ පහනක් ගස පාමුල පුදා මල් වර්ග නවයක්, බුලත් කොළ නවයක් පූජා කිරීමද සිරිතකි. මේ චාරිත්‍ර නිම විමෙන් පසු ය පොරවකින් ගස කපා දැමෙන්නේ. ගස් කපන්නාද ගස කැපීමට ප්‍රථම දෙහි ආලේප කොට ස්නානය කර පිරිසිදු වේ. රියන් හතරක පමණ දිගින් කපා දැමු ‍පණස වෘක්ෂය පිරිසිදු සුදු රෙදි කඩක ඔතා ඇතු පිටින්, කුඩා පෙරහරකින් මහ නුවර මහ දේවාලය ලෙස පිළිගැනෙන විෂ්ණු දේවාලයට වැඩමවීම සිරිත ය. ඉන් පසු රියනක් පමණ වන සේ කප කොටස් හතරකට වෙන් කොට නාථ, විෂ්ණු, කතරගම, හා පත්තිනි යන සිව් මහා දේවාලයන්ට බෙදා දීම සිදු කෙරේ. එහිදී ඒ ඒ දේවාලයට වෙන් වූ කප සුදු රෙද්දකින් ඔතා පෙරහරකින් අදාළ දේවාල භූමි වෙත වැඩමවති. ඉන් අනතුරුවය සුබ මොහොතින් දේවාල භූමියෙහි කප සිටුවීම සිදු කෙරෙන්නේ. සිටවූ කප වටා තිරවලින් ආවරණය කිරීම, උඩින් පියස්සක් සවි කිරීම, අවට ගොක් කොළවලින් හා මල්වලින් සැරසීම ද කෙරේ. කප සිටුවූ දින සිට දේවාභරණ රැගත් කෙටි පෙරහර පහක් කප වටා ප්‍රදක්ෂිණා කිරීම සිදු වේ. එම අභ්‍යන්තර පෙරහර පහට පසු වීදි සංචාරය කෙරෙන්නේ කුඹල් පෙරහරයි. සතර දේවාල පෙරහර සුබ නැකතින් පිටත් වී දළදා මාලිගයේ ප්‍රධාන දොරටුව අසලට පැමිණ මාලිගාවේ පෙරහර හා ඒකාබද්ධව ගමන් කිරීම සිදු වේ. කුඹල් පෙරහර වර්ණවත් බවින් අඩු ය. අලි, ඇතුන්, නැට්ටුවන්, කොඩි, පන්දම් ආදිය ද අඩු ය. දළදා මාලිගාවේ නිල දරන්නන්, දේවාල කපු මහතුන්, කුඹල් පෙරහරට සහභාගී වේ. පළමු කුඹල් පෙරහර නැරඹීමෙන් ගැබිනි මවුවරුන්ගේ හා කුඩා දරුවන්ගේ වස් දොස් දුරු වී සෙත් ශාන්තිය උදා වන බව අතීතයේ සිට පැවත එන මතයෙකි.

කුඹල් පෙරහරින් පසු ආරම්භ වන්නේ රන්දෝලි පෙරහරයි. පෙරහර බුදුන් පෙරදැරිව, දෙවියන් ඊට පසුව යන අනුපිළිවෙළට දළදා මාලිගාවේ පෙරහර පළමුවත්, ඉන්පසු පිළිවෙලින් නාථ, විෂ්ණු, කතරගම, හා පත්තිනි දේවාල පෙරහරත් ගමන් කරයි. දළදා මාලිග පෙරහරට පසු, සිව් මහා දේවාලයන් අතර නාථ දේවාල පෙරහර ප්‍රමුඛ වන්නේ නාථ දෙවියන් මතු බුදුවන මෛත්‍රී බෝසතුන් යන විශ්වාසය පැවතීමයි. ඇසළ පෙරහරේ ඉදිරියෙන් ම ගමන් කරන්නේ කස කරුවන් ය. ඇසළ පෙරහර දළදා සමිඳුන්ට පූජෝපහාර පිණිස පැවැත්වෙන්නේ නිසි කලට වැසි ලැබීමේ පරමාර්ථය ‍ද පෙරදැරි කරගෙන ය. කස පුපුරන හඬින් පෙරහර ළඟ එන බව සන්නිවේදනය කළ අතරම වැස්සට පෙර අහස ගිගිරුම ද නිර්වාචිකව සන්නිවේදනය කරන්නක් විය. මේ ගමන් කරන්නේ බෞද්ධ පෙරහරක් බව සන්නිවේදනය කරමින් කස කරුවන්ට පසුව පෙරහරේ ගමන් කරන්නේ ඇතකු පිට නැඟි බෞද්ධ කොඩියක් අතින් ගත් පුද්ගලයෙකි. ඉන් පසු ඒ ඒ පළාත්වලට හා විහාර දේවාලවලට අයත් කොඩි සේසත් ගත් පිරිස් ගමන් ගනිති. අනතුරුව ඇතකු පිට නැඟි පෙරමුණේ රාළ, දවුල් ,තම්මැට්‍ටම්, හොරණෑ, හක්ගෙඩි, තාලම්පට සහිත හේවිසි කණ්ඩායම, ඇතෙකු පිට නැඟි ගජනායක නිලමේ, පෙරහර සංවිධාන කටයුතු බාර කාරිය කරවන කෝරාළ, නැට්ටුවන් හා බෙර වාදකයින්, දළදා ගුණ ගයමින් යන කවිකාර මඬුව, ගමන් කිරීමත් සමඟ දළදා පෙරහරේ පූජනීයම හා සුවිශේෂීම අංගය වූ දෙපස දෑලේ ඇතුන් දෙදෙනෙකු සමඟ මාලිගාවේ මංගල හස්ති රාජයා මත සධාතුක කරඬුව වැඩම කරවීම සිදු කෙරේ. අනතුරුව වෙස් නැටුම්, බෙර වාදකයෝ, ගමන් කරති. දළදා හිමියන්ගේ ගිහි බාරකරු , දියවඩන නිලමේ මුතු කුඩ යටින් ගමන් කරන්නේ ඉන් පසුව ය. දළදා මාලිගයේ පෙරහර අවසන් වන්නේ දිය වඩන නිලමේ වරයාගෙනි. අනතුරුව නාථ, විෂ්ණු, කතරගම, පත්තිනි දේවාල පෙරහර ගමන් ගන්නා අතර රන්දෝලිය ගෙන යෑමෙන් පෙරහර අවසානය සලකුණු වේ .

මෙසේ ජාතියේ හර පද්ධතීන්, සංස්කෘතිකාංගයන්ගේ අභිමානයන් එළි දක්වමින් දළදා හිමියන්ට පූජෝපහාර කරන ඇසළ පෙරහරේ සමාජමය වටිනාකම තේරුම් ගත යුතු වන්නේ එහි ඵෙතිහාසික වටිනාකමත් සමඟ ය. කෙසේ වුව ද ඵෙතිහාසාක හා වර්තමාන පෙරහර අධ්‍යයනය කිරීමේ දී පෙරහර සංස්කෘතියෙහි විවිධ වෙනස්කම් සිදු ව ඇති බව අවිවාදිත වන බව විද්වතුන්ගේ අදහස ය. සමහර අංග පෙරහරට එක් වී ඇති අතර තවත් සමහර අංග ගිලිහී ගොස් ඇත. වියත් මතය අනුව සමාජයේ වැඩවසම් ක්‍රමය බිඳ වැටී ධනවාදය ව්‍යාප්ත වන යුගයක, කාර්මීකරණය වේගයෙන් පැතිරී යන කාලයක, කුල ක්‍රමය අහෝසි වී යන සමයෙක මේ ජාතික මහා කලා සංස්කෘතික සංදර්ශනය තවදුරටත් ආරක්ෂා කරන්නේ කෙසේද යන ප්‍රශ්නය යම් ප්‍රමාණයකට විවාදාත්මක ය. එසේ වුව ජාතියේ අනන්‍යතාව, සංස්කෘතියේ අභිමානය ලෝකයට සන්නිවේදනය කරන ඇසළ පෙරහර මංගල්‍යය තව දුරටත් ශක්තිමත් කොට අනාගතයට රැක ගැනීම අත්‍යවශ්‍ය ය. ඒ අභියෝගය ජය ගැනීම ජාතියක් ලෙස අප සතු වගකීම වන්නේ ය

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles