වාහල්කඩ ඉසිවර අරණේ
රත්නපුරේ ධම්මකුසල හිමි
රෝගීන් හාරදාහක් විතර
මේ වන විට සුව කර තිබෙනවා
මේ භූමියේ බලයක් තියෙනවා…
ඒ නිසා හැම තැනකදීම ප්‍රතිකාර කරන්න බෑ
මට කිසිම රාජ්‍ය අනුග්‍රහයක් නෑ
පුළුවන් විදිහට පහසුකම් සලසනවා
කැබිතිගොල්ලෑව වාහල්කඩ ඉසිවර අරණ දැන් ලෝකය පුරා ප්‍රසිද්ධය. එහෙත් එම පුණ්‍ය භූමියේදී ලෙඩ දුක් සුවපත් කරන ස්‌වාමීන් වහන්සේ දැක, කතා බහ කර ඇත්තේ එහි ගිය අය පමණි. වසර හතරකටත් වැඩි කාලයක සිට රෝගී ජනතාව සුවපත් කරන වාහල්කඩ මංගලාරාම විහාරාධිපති ප්‍රසිද්ධියට පැමිණියේ නැත. උන්වහන්සේගේ ඡායාරූපයක් හෝ කිසිදු ජනමාධ්‍යයකින් පළ නොවූහ. ඒ උන්වහන්සේ ප්‍රසිද්ධියට අකැමැති නිසාය. එහෙත් ලෝකවාසී ජනතාවගේ ඉල්ලීමට අනුව වාහල්කඩ මංගලාරාම විහාරාධිපති හිමියන් ‘දිවයින’ට කතා කළහ. ගිහිගෙයින් නික්‌ම ගිය තැන සිට මේ දක්‌වා උන්වහන්සේගේ පැවිදි දිවි පුවත අප සමඟ පැවසූහ. මේ උන්වහන්සේ සමඟ අප කළ සාකච්ඡාවෙන් පසු පෙළගැසෙන කතාවය.
ඔබ වහන්සේගේ නම සඳහන් කළොත්…?
රත්නපුරේ ධම්මකුසල.
එතකොට ඔබ වහන්සේගේ ගම රත්නපුරයද…?
ඔව්. දොඩම්පේ.
දෙමව්පියන්ගේ නම් සඳහන් කළොත්…?
අම්මගෙ නම මල්ලිකා අවු. 65 යි, තාත්තගෙ නම සෝමදාස අවුරුදු 75 යි.
පවුලේ සාමාජිකයන් කී දෙනෙක්‌ද…?
තුන්දෙනයි.
ඔබවහන්සේ පවුලේ කී වැනියද…?
දෙවැන්නා.
ඔබවහන්සේ පැවිදි ජීවිතයට ඇතුළත් වෙන්නේ වයස අවුරුදු කීයෙන්ද…?
අවුරුදු 07 දී.
පැවිදි ජීවිතයට ඇතුළත් වුණේ දෙමව්පියන්ගේ ආශීර්වාදය ඇතිවද…?
ඔව්.
පැවිදි ජීවිතයට ඇතුළත් වුණේ මොන වර්ෂයේද…?
1990 මාර්තු මාසේ 24 වැනිදා.
ශාසනයට ඇතුළත් වූ පන්සල සහ ගුරුදේවයන් වහන්සේගේ නම සඳහන් කළොත්…?
වත්තල හුණුපිටිය ශ්‍රී ධර්මාරාම විහාරස්‌ථානය. ගුරුහරුකම් ලබාදුන්නේ අහංගම ධර්මපාල නායක ස්‌වාමීන් වහන්සේ. අධ්‍යාපන කටයුතු හැදෑරුවේ මීරිගම මිණිඔලුව විද්‍යාවාස පිරිවෙනේ.
ඔබ වහන්සේ ගුරුදේවයන් වහන්සේගේ කී වැනි ගෝලයාද…?
පළමුවැනි ගෝල හිමි.
ගුරුදේවයන් වහන්සේගෙන් වෙන් වෙලා වෙනත් පන්සලකට යන්න අදහස පහළ වුණේ වයස කීයෙදීද…?
අවුරුදු 13 දී.
දුෂ්කර ගමනක් යන්න විශේෂ හේතුවක් තිබුණද…?
කොහොමත් ජීවිතය දුෂ්කර ගමනක්. ඒ දුෂ්කර ගමනේදී නොදියුණු පරිසරයක දුප්පත් මිනිස්‌සු කොට්‌ඨාසයකට ආගමික කටයුතු ඉටු කරගන්න පහසුකම් සලසාදීමට මට අවශ්‍ය වුණා.
වාහල්කඩ වැනි අතිශය දුෂ්කර පළාතකට වැඩම කරන්න පාර හොයාගත්තෙ කොහොමද…?
නුවර පදිංචිකරුවකු වන රාජසේන උපාසක මහත්තයා තමයි වාහල්කඩ ගැන කිව්වේ. පස්‌සෙ කොළඹ කොටුවෙන් පුල්මුඩේ බස් එකකට නැඟලා ඇවිත් මිනිස්‌සුන්ගෙන් අහගෙන පාර හොයාගෙන වාහල්කඩ ගමට ආවා.
ඒ දිනය මතකද…?
ඔව්… 1994 පෙබරවාරි 24 වැනිදා.
ඔබවහන්සේ වාහල්කඩට වැඩම කරන විට මේ ස්‌ථානයේ විහාරස්‌ථානයක් තිබුණද…?
නෑ… මහා කැලෑවක්.
ස්‌වාමීන් වහන්සේ නමක් විදිහට ඔබවහන්සේව මේ ගමේ මිනිස්‌සු පිළිගත්තද…?
කඩාකප්පල්කාරී පිරිස ‘උපසම්පදා නැති සාමණේර හිමි නමක් අපට වැඩක් නෑ’ කියලා විවිධ අවලාද, උපහාසාත්මක කතා කිව්වා. දැන උගත් පිරිස මාව පිළිගෙන මට වැඩ වාසය කරන්න මේ ස්‌ථානයේ ඉලුක්‌වලින් සෙවිළි කරපු කටු මැටි කුටියක් හදලා දුන්නා. පුළුවන් විදිහට දානයත් පිළිගැන්නුවා.
ඊට පස්‌සෙ ගමේ අය විහාරස්‌ථානය ගොඩනැඟීමට උදව් උපකාර කළාද…?
ඔව්… ටිකෙන්, ටික මම ගමේ මිනිස්‌සුන්ට සමීප වුණා. ඊට පස්‌සෙ විහාරස්‌ථානයේ සංවර්ධන වැඩ පටන් ගත්තා. මුලින්ම ස්‌ථීර ආවාස ගෙයකට අත්තිවාරම දැම්මා. වැලි, ගඩොල්, සිමෙන්ති ගමේ මිනිස්‌සු ගෙනත් දුන්නා. මම බාස්‌ලා ගත්තෙ නෑ, ගමේ තරුණ පිරිසකගේ අත්උදව්වෙන් මම තමයි ආවාස ගෙය ගඩොලෙන් බැඳලා වහල ගැහුවෙත්. වයරින් බාස් කෙනෙක්‌වත් ගත්තෙ නෑ. ඒ වැඩත් කරගත්තෙ මමයි. ඊට පස්‌සෙ බෝධි ප්‍රාකාරය නිර්මාණය කෙරුවා. ඒ එක්‌කම ප්‍රදේශයේ ජනතාවට ධර්ම ප්‍රචාරය කරන්න වැඩි කාලයක් කැප කළා. මගේ වැඩපිළිවෙළ දැකලා ප්‍රදේශයේ පොලිසියත් වෙනත් රාජ්‍ය ආයතනවලිනුත් බොහෝ උපකාර කළා. ඒ සෑම කෙනෙකුගේ උදව් ඇතිව කෙටි කාලයකින් වාහල්කඩ මිනිසුන්ගෙන් බහුතරය ආගමට දහමට ලැදි දැහැමි පිරිසක් බවට වෙනස් කරන්න මට පුළුවන් වුණා.
ප්‍රදේශවාසීන් කියන විදිහට ඔබවහන්සේ විචිත්‍ර ධර්ම දේශකයාණන් වහන්සේ නමක්. භාෂා විශාරදයෙක්. විටෙක පෙදරේරුවෙක්, විදුලි කාර්මික ශිල්පියෙක්. මේ සෑම අංශයක් පිළිබඳවම විශේෂ පුහුණුවක් ලබලා තියෙනවද…?
විශේෂ පුහුණුවක් නෑ. ඒ සියලු දේ සහජ හැකියාවන්.
මේ වන විට ඔබවහන්සේ ලෝක ප්‍රසිද්ධ විශ්මකර්ම ඉසිවරයාණන් වහන්සේ නමක්. පිළිකා, වකුගඩු රෝග, ස්‌නායු රෝග ඇතුළු ඕනෑම රෝගයකට ප්‍රතිකාර කරනවා. කොහොමද ප්‍රතිකාර කරන්නේ…?
ඒක මට පත්තිනි මෑණියන් දීපු බෙහෙත් වරමක්.
බෙහෙත් වරම ලැබුණේ කොහොමද…?
මම සෑම මොහොතකම අම්මා කියන නාමයට ගරු කළා. සමාජයෙන් කොන් වූ කාන්තාවන්ට නියමිත ගෞරවය ලබාදීමට දහමට අනුගතව දේශනා පැවැත්වුවා. පුංචි කාලේ ඉඳලා පත්තිනි මෑණියන්ට ගරු කළා. සත්‍ය ජීවිතයේ මගේ ජීවිතයම වූ නිසා මෑණියන් මට ලබාදුන් ආධ්‍යාත්මික, වින්දනීය ත්‍යාගය මෙයයි.
ඒ ත්‍යාගය ලැබුණේ කවදාද…?
2013 අවුරුද්දේ.
එක පාරටම මේ වරම ලැබුණේ කොහොමද… සිහිනෙන්වත් කියූ දෙයක්‌ද…?
සිහින මැවීමක් මෙතැන නෑ. මේක සජීවීව ලබාදුන් අත්දැකීමක්. 2013 අවුරුද්දෙ දවසක මගේ කුකුලේ කටුවක් ඇනිලා අධික වේදනාවක් දැනුණා. පස්‌සෙ මම කටුව ඉවත් කරගන්න පන්සල ආසන්නයේ නිවසකට වැඩම කළා. නිවසට ගොඩවෙන්න වුණේ නෑ, මට ක්‌ලාන්තය දැම්මා. ඊට පහුවෙනිදා උදෑසන සජීවීව මාගේ යටිසිත හා උඩුසිතට කොදුරා කීවේ ලෝකයේ සුවකළ නොහැකි ලෙඩුන් සුව කිරීමට බලය පැවරෙන බවයි.
කාලයෙන් කාලයට මේ වගේ දේවල් මතු වෙනවා. අපිට මතකයි එක ස්‌වාමීන්වහන්සේ නමක් වතුර මතුරලා දීලා ලෙඩ සනීප කළා. තව ස්‌වාමීන් වහන්සේනමක් තැඹිලි මතුරලා දීලා ලෙඩ සනීප කළා. අත තියලා ලෙඩ සනීප කළා. තවම එවැනි දේවල් සිදුකරන ස්‌ථාන තියෙනවා. මේ ස්‌ථානයත් ඒ වගේ තැනක්‌ද…?
ඒ ස්‌ථාන ගැන කතා කරන්න මම කැමති නෑ. මෙතැනින් හොඳ වෙලා යන රෝගීන්ගෙන් මේ ස්‌ථානයේ හාස්‌කම් ගැන අහලා දැන ගන්න පුළුවන්.
ඕනෑම ප්‍රතිකාරයක් කරන ක්‍රමවේදයක් තියෙනවා. ආයුර්වේද, සිංහල බෙහෙත්, බටහිර වෛද්‍ය ක්‍රම. ඔබවහන්සේ ලෙඩ දුක් සුවපත් කරන ප්‍රතිකාර ක්‍රමය මොකක්‌ද…?
සිංහල බෙහෙත් ක්‍රමය.
ඔබවහන්සේ වෙද පරපුරකින් පැවත එන ස්‌වාමීන් වහන්සේනමක්‌ද…?
නෑ…
වෙද පරපුරකින් පැවත එන්නෙ නැතිව බෙහෙත් කරන්නෙ කොහොමද…?
ඔය වෛද්‍යවරු සේරම වෙද පරපුරකින් පැවත එන අයද…
මෙතැනට එන ඕනෑම රෝගියෙක් ප්‍රතිකාර කිරීමෙන් පසු සුවපත් වෙනවාද…?
මෙතැන වෙදකම් කරන්නේ සත්පත්තිනි මෑණියන්ගේ දේව වරමකින්. මුලින්ම බුලත් කොළ නවයක් තියලා ශරීරයේ තියෙන රෝග, ගේ දොර ප්‍රශ්න ගැන මෑණියන්ගෙන් අහන්න ඕනෑ. ඊට පස්‌සේ ශරීරයේ තියෙන රෝගය සුවපත් කරන්න පුළුවන්ද… නැද්ද… කියලා පත්තිනි මෑණියන් තීරණය කරනවා. රෝගීන්ට දෙන බෙහෙත් නියම කරන්නෙත් පත්තිනි මෑණියන්. හොඳ කරන්න පුළුවන් කියන හැම රෝගියෙක්‌ම සුවපත් කරලා තියෙනවා. මෙතැනට එන හැම රෝගියෙක්‌වම භාර ගන්නේ නෑ. ඒ හැම දෙයක්‌ම තීරණය වෙන්නෙ රෝගියාගේ පෙර කළ පින් පව් මත. ආගම් බේද, ජාති බේද මෙතැන නෑ. අසරණ වෙලා මෙතැනට එන ඕනෑම කෙනකුට පිහිට වෙනවා. ජීවිත කාලයටම බුද්ධ රූපයකට වැන්දේ නැති අන්‍ය ආගමිකයන් මේ පූජා භූමියේදී වැඳුම් පිදුම් කරනවා. බෝධි පූජාවලට සම්මාදම් වෙනවා. වෛද්‍යවරු, දේශපාලනඥයෝ, නීතිඥයෝ හැම තරාතිරමක අය මෙතැනට ඇවිත් වෙදකම් කරගෙන ගිහින් තියෙනවා. දැනටත් ප්‍රසිද්ධ දේශපාලනඥයෙක් පිළිකාවකට ප්‍රතිකාර ගන්න ඇවිත් මේ ස්‌ථානයේ නතර වෙලා ඉන්නවා. මෙතැනට ආවට පස්‌සේ උස්, මිටි තරාතිරම් නෑ. හැමෝම මෙතැන පිළිවෙත්වලට ගරු කරගෙන නතර වෙලා බෙහෙත් කර ගන්න ඕනෑ. රෝගය නිට්‌ටාවටම සුවපත් වෙනකම් පන්සලේ නතර වෙලා ඉන්න ඕනෑ. හැමදාම හවසට බෝධි පූජාවට සම්මාදම් වෙන්න ඕනෑ. මෙතැන නතර වෙන්න ආපු දවසේ ඉඳලා පිලී ජාති කන්න බෑ. තමන්ගේ අභිමතය පරිදි උයා පිහාගෙන කන්නත් පුළුවන්. එහෙම කරන්න අපහසු අයට පන්සලේ දෙන දානය ගන්න පුළුවන්.
මේ ස්‌ථානයේ ප්‍රතිකාර ලබන රෝගීන්ගේ වගකීම ගන්නේ කවුද…?
මෙතැන රෝගීන් දෙදහසකට ආසන්න ඉන්නවා. ඒ හැම කෙනෙකුගේ ප්‍රශ්න ගැන හොයා බලන්න මට වේලාවක් නෑ. මම සෑම රෝගියකුටම ප්‍රතිකාර කරනවා. වගකීම තමන් සතුයි.
ගැහැනු, පිරිමි දෙපාර්ශ්වයම මෙතැන නතර වෙලා ඉන්නවා. රෝගීන්ට ආරක්‍ෂාව කොහොමද…?
තම, තමන්ගේ ආරක්‍ෂාව තමන් සතුයි. ඊට අමතරව පොලිස් ආරක්‍ෂාව තියෙනවා.
ඔබවහන්සේ රටේ ජනතාවට විශාල සේවයක් කරනවා. පිළිකා රෝහලට වැඩම කරන්න කියලා ආරාධනාවක් ලැබුණොත් භාරගන්නවද…?
එහෙම කරන්න බෑ. මේ පුණ්‍යභූමියේ වත් පිළිවෙත්, රෝහල්වල සිදු කරන්න බෑ.
ඒ කියන්නේ ශක්‌තිය තියෙන්නෙ මේ භූමියේ…?
ඔව්… භූමියේ බලයක් තියෙනවා.
ඔබවහන්සේ ප්‍රතිකාර කරන සුවිශේෂ රෝග තිබේද…?
වකුගඩු, සියලුම පිළිකා, අංශභාග, මිනිස් සිරුරේ වැළඳෙන ඕනෑම රෝගයකට ප්‍රතිකාර කරනවා.
මේ වන විට කොපමණ රෝගීන් සංඛ්‍යාවක් සුවපත් කරලා තියෙනවද…?
සංඛ්‍යා ලේඛන පවත්වාගෙන ගියේ නෑ. මගේ විශ්වාසයේ හැටියට රෝගීන් හාරදාහක් විතර.
රටේ විවිධ ප්‍රදේශවලින් මෙන්ම විදේශීය රටවල විවිධ තරාතිරම්වල, අධ්‍යාපන මට්‌ටම්වල රෝගීන් දහස් ගාණක් මේ පූජා භූමියේ නේවාසිකව රැඳී ඉන්නවා. ඒ සෑම කෙනෙක්‌ව එකම අරමුණක රඳවා තබාගැනීමට විශේෂ වූ වැඩපිළිවෙළක් තියෙනවද…?
ඔවුන්ගේ භෞතික හා ආධ්‍යාත්මික දියුණුව සඳහා නිතර ධර්ම දේශනා හා භාවනා වැඩසටහන් සිදු කරනවා.
ඔබවහන්සේ කරන ප්‍රතිකාර සඳහා රෝගීන්ගෙන් රුපියලක්‌වත් අය කරන්නේ නෑ කියලා කතාවක් තියෙනවා. මුදල් නැතිව මේ සත්කාරය පවත්වාගෙන යන්නේ කොහොමද…?
මගෙන් සුවපත් වෙලා යන රෝගීන් මේ ස්‌ථානයේ නේවාසිකව ඉන්න රෝගීන්ට දානය දෙනවා. පුණ්‍ය පහසුකම් සපයනවා.
තුන්වේලටම දානය දෙනවා… වතුර, විදුලිය දෙනවා. කිසිම ආදායමක් නැතිව කොහොමද මේවා කරන්නේ…?
තුන්දාහක් හිටියත් තුන් වේලටම මෙතැන දානය වරදින්නෙ නෑ. දානපතියන්, සමිති සමාගමක් ඉදිරිපත් වෙලා දානය දෙනවා. සුවපත් වෙලා යන රෝගීන් දානය දෙනවා. රෝගීන් විදුලි බිලට බර පැන දරනවා. ඒ කිසිම දේකට මාගේ කිසිම මැදිහත්වීමක් නෑ. මම මුදල් පරිහරණයෙන් වැළකිලා ඉන්නෙ.
ඔබවහන්සේගේ මේ සමාජ සත්කාරයට අභියෝග නැද්ද…?
අනන්තයි අප්‍රමාණයි. ඒ සියලු අභියෝග දෙස් දෙවොල් වැඩියෙන්ම ආවේ ගමේ මිනිස්‌සුන්ගෙන්.
ඒ අභියෝග සංවිධානාත්මක අභියෝගද, පුද්ගල අභියෝගද…?
බොහෝවිට සංවිධානාත්මක අභියෝග.
ඒ කියන්නේ ගමේ මිනිස්‌සු මේ සත්කාරයට කැමති නෑ?
පිරිසක් අකමැති වෙලා හිටියා. ඒත් දැන් ඒ මිනිස්‌සු මෙතැන කරන දේ ගැන තේරුම් අරගෙන රෝගීන්ට දානය දෙනවා. විවේකයක් තියෙන වේලාවට ඇවිත් රෝගීන්ට සාත්තු කරනවා. ඒක හොඳ ප්‍රවණතාවයක්.
අපේ රටට බෙහෙත් ගෙන්වීම දැන් මාෆියාවක් බවට පත් වෙලා තියෙනවා. බටහිර වෛද්‍යවරුන් අතරත් තියෙන්නෙ මුදල් ඉපැයීමේ තරගයක්. මේ බටහිර වෛද්‍ය මාෆියාවෙන් ඔබ වහන්සේට තර්ජනයක් නැද්ද…?
නැත්තෙම නෑ. මේ පළාතේ සමහර රෝහල්වල මගෙන් ප්‍රතිකාර අරගෙන යන රෝගීන්ට පරීක්‍ෂණයක්‌වත් කරගන්න ඉඩ දෙන්නෙ නෑ. මෙතනින් ප්‍රතිකාර අරගෙන සුවපත් වෙච්ච රෝගියකුට උණක් හෙම්බිරිස්‌සාවක් හැදුනත් ඒ රෝහල්වලින් බෙහෙත් දෙන්නෙ නෑ. එහෙම සිද්ධි සුලබව වාර්තා වෙනවා. අපේ පන්සලේ නම කියලා රෝගීන් යොමු කරන වෛද්‍යවරුත් ඉන්නවා. බටහිර වෛද්‍යවරු මගෙන් ප්‍රතිකාර අරගෙන සුවපත් වෙලා ගිහිල්ලා තියෙනවා. ඒත් බටහිර වෛද්‍යවරු බහුතරය සිංහල වෙදකම පිළිගන්න කැමති නෑ.
මේ සමාජ සත්කාරයට ආණ්‌ඩුවෙන් මොන වගේ අනුග්‍රහයක්‌ද ලැබිලා තියෙන්නෙ…?
රජයෙන් එහෙම අනුග්‍රහයක් ලබා දීලා නෑ. සුසන්ත පුංචිනිළමේ මහතාගේ මැදිහත්වීමෙන් පොලිස් ආරක්‍ෂාව ලබාදීලා තියෙනවා. කථානායකතුමාගේ දැඩි අවධානයට ලක් වෙලා තියෙනවා.
ඔබ වහන්සේට මේ තියෙන බලයට මේ රට දියුණු කරන්න පුළුවන්. ජාත්‍යන්තරයේ බබළවන්න පුළුවන්. මේ වෛද්‍ය විද්‍යා ක්‍රමය ඉදිරියට ගෙනියන්න වැඩපිළිවෙළක් තියෙනවද…?
එහෙම වැඩපිළිවෙළක් නෑ…
ඔබවහන්සේගෙන් පසුවට මේ ප්‍රතිකාර ක්‍රමය ඉදිරියට පවත්වාගෙන යන්න ගෝලයන් බිහි කරන්න අදහසක් තියෙනවද… ?
මේක පත්තිනි මෑණියන් මට දිපු වරමක්. මගෙන් පස්‌සෙ ඒ වරම ඉවරයි.
රත්නපුරේ ධම්මකුසල ස්‌වාමීන් වහන්සේ මියෑදෙන්නට යන මිනිසුන්ට ජීවිතය ලබා දෙන්නේ කිසිදු ලාභාපේෂවකින් නොවේ කිසිදු අනාගත අරමුණක්‌ද ඒ තුළ නැත. තේරෙන වයසේ සිට මස් මාංස අනුභවයෙන් වැළකී සිටින උන්වහන්සේ, මේ ඝෝර කටුක සංසාරේ බිය දැක මේ ආත්මයේදීම සසර දුකින් එතෙරවීමේ අදිටනින් සාමනේර වයසේ සිට සීලය උතුම් කොට සැලකූ බව ප්‍රදේශවාසීන්ගේ අදහසය. උන්වහන්සේගේ වචනවලින් ද ඒ ගැන කියෑවේ. මේ සිල්වත් බව නිසාම සත්පත්තිනි මෑණියන් උන්වහන්සේට මිනිසුන්ගේ ලෙඩ සුවපත් කිරීමට දේව වරමක් ලබා දී ඇතැයි අපගේ විශ්වාසයයි.